දේශීය

සතොසේ සිනි වාංචාවක්

ලංකා සීනි සමාගමෙන් සතොස ආයතනයට සීනි මිලදී ගෙන පාරිභෝගිකයන්ට අඩු මිලට ලබාදීමේ මුවාවෙන් මිලට ගන්නා එම සීනි පෞද්ගලික ව්‍යාපාරයකට විකිණීමේ ජාවාරමක් ගැන පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් පරීක්ෂණයක් සිදු කරගෙන යන බව රාවයට දැනගන්නට ඇත.

2016 වර්ෂයේදී වානිජ කටයුතු අමාත්‍යංශයෙන් මේ පිළිබඳ සාකච්ඡාවක් පවත්වා තිබෙන අතර ඒ අනුව ලංකා සිනි සමාගමේ පැලවත්ත හා සෙවනගල කර්මාන්ත ශාලාවල තිබු සීනි මෙටි්‍රක් ටොන් 525ක්, කිලෝ එකක් රුපියල් 80කට ලංකා සතොසට මුදා හැරීමට එකඟතාවක් ඇති කරගෙන ඇත.

මේ අනුව 2016 ජනවාරි 20 දින සීනි මෙ.ටොන් 200ක් මුලින් මුදාහැරීමට එකඟතාවකට පැමිණියද ඒ සඳහා ගෙවීමට ලංකා සතොස ආයතනය සතුව මුදල් තිබී නැත.

මෙහිදී මේ වන විට ලංකා සතොස ආයතනයේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරන, එවකට ආයතනයේ සේවයේ යෙදී නොසිටි සේගු මොහොමඞ් රටීස් නමැත්තා විවිධ අයගේ නම්වලට ව්‍යාපාර පහක් ලියාපදිංචි කර එම ආයතන වලින් ලිපිගොනුවලට පමණක් සීමා වූ ටෙන්ඩර් කැඳවා සතොස ආයතනයෙන් සීනි කිලෝ ග්‍රෑමයක් රුපියල් 80.50කට තමාගේ නමින් වූ කොමන් වෙල්ත් නම් සමාගමට විකුණා ඇත.

අනතුරුව එම සීනි මෙටි්‍රක් ටොන් 200 හෙම්මාතගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 84.50 විකුණා ඇති අතර ඔහු විසින් එම තොගය එවකට පැවති තොග මිල වූ කිලෝ ග්‍රෑමයක් රුපියල් 88 බැගින් විවෘත වෙළඳපළට අලෙවිකර තිබේ.

මේ අනුව පාරිභෝගිකයින්ට සහන සැලසීමේ අරමුණු ව්‍යර්ථ වී ඇති අතර අතරමැදියන් පිරිසක් විශාල ලාභයක් උපයාගෙන තිබේ. සතොස ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා මෙම ගනුදෙනුවට මුලසිටම විරුද්ධ වී සිට ඇති බවත් ඔහු මෙම අවස්ථාව වන විට විදේශගතව සිට ඇති බවත් කියවේ.

කෙසේ වුවත් මේ වන විට සතොස ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා සේවයේ නැති අතර දුෂිත ටෙන්ඩරය අනුමත කළ සභාපතිවරයා තවමත් සේවයේ යෙදෙන බවත් දූෂණයට සම්බන්ධ වූ සේගු මොහොමඞ් රම්ස් නමැත්තාද නව අධ්‍යක්ෂ මණ්ඩලයේ කටයුතු කරන බවත් දැනගන්නට ඇත. මේ පිළිබඳ සතොස සභාපති මොහොමඞ් රිස්වාගෙන් විමසූ විට පැවසුවේ තමන්ට මාධ්‍යයට කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවය.


නිමල් අබේසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button