සමාජ

ඥාණසාර චීවරධාරී තැනගේ නීති විරෝධී සහ සංඝ විරෝධී ක්‍රියා මතක් කර සිටීමයි

මෑතදී දේශපාලනඥයන්, ඇතැම් ආගමික නායකයන් සහ මාධ්‍ය විසින් කරන ප්‍රකාශ කරන කාරණා අනුව පෙනී යන්නේ එන පෙබරවාරි 4 වැනිදා දැනට සිරගත වී සිටින ඥාණසාර හිමි නිදහස් කිරීමට ජනපති සිරිසේනගේ සූදානමක් ඇති බවයි. ජනපති නොව ඥාණසාර හිමිට සමාව දිය යුතු වන්නේ ඔහුගේ කටයුතු හේතුවෙන් පීඩාවට පත් වූ වින්දිතයන්ය.

තවද ඥාණසාර හිමි නිදහස් කරන්නේ නම්, ජනපති සිරිසේන එයට හේතුවන සාධාරණ කාරණා රටට හෙළි කළ යුතු වේ. ලබාදුන් දඩුවමෙන් අඩක්වත් ගෙවීමෙන් පසු, බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් යහපත් කල් ක්‍රියාව බලා තීරණය කරන, නිදහස් දින සිරකරුවන් නිදහස් කිරීමේ සම්ප්‍රදායෙන් ලිස්සා යෑමට ජනපති සිරිසේනට නොහැකිය.

කරුණු ඉදිරිපත් කළද, තම සිතැඟි පරිදි අධිකරණය විසින් දඩුවම් ලබා දී ඇති පුද්ගලයෙකු නිදහස් කිරීමට බලය හිමි වීම මෙරට විධායක ජනාධිපතිදූරයේ එක් ඒකාධිපති ලක්ෂණයකි. රටක සැමට පොදු නීතිය එරට සියලු ජනයාට වලංගු වේ. එසේ නම්, එම නීතිය ක්‍රියාත්මක කර අධිකරණය විසින් දඩුවම් ලබා දුන් චූදිතයෙකුට නිදහස ලබා දීමට එක් පුද්ගලයෙකුට ඇති අයිතිය කුමක්ද? එම නීතිය අධිකරණය විසින් දඩුවම් ලබා දුන් අනෙක් සිරකරුවන්ට අදාළ වන්නේද? සිරිත් පරිදි නිදහස දිනය වෙනුවෙන් සිරකරුවන් නිදහස් කිරීමේ මුවාවෙන් තම පෞද්ගලික වුවමනාවන්ට අවශ්‍ය පරිදි අධිකරණය විසින් දඩුවම් ලබා දුන් කෙනෙකු නිදහස් කිරීමට තනි පුද්ගලයෙකු වන ජනාධිපතිට ඇති සදාචාරාත්මක අයිතිය කුමක්ද?

මේ අතර බොහෝ ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍යවලට ඥාණසාර හිමිගේ නීති විරෝධී සහ සංඝ විරෝධී ක්‍රියා අමතක වී ඇති බැවින් මේ වීඩියෝවෙන් අපි ඒ ගැන මතක් කර දෙමු.

නිදහස් දිනය තවමත් නිදහස් නැති බව අපේ අදහසයි. නිදහස් වෙන්නට නම් තව බොහෝ දේවල් විය යුතුව ඇත. තවම මේ රටෙහි නිදහස ඇත්තේ 1948 පෙබරවාරි 04 නිදහස ලැබූ දින ‘තෝරා ගත්’ කිසියම් පන්තියක අයට පමණි.

මේ කාරණය සම්බන්ධයෙන් ජනපති ඇතුළුව බොහෝ දේශපාලඥයන් ද, ඥාණසාර හිමි ඇතුළුව, මල්වතු, අස්ගිරි නායක හිමිවරු ඇතුළුව බොහෝ දෙනා වගකීමෙන් යුතුව කටයුතු කරනු ඇතැයි අපගේ අදහසයි. ඥාණසාර හිමි සිරගත කර ඇත්තේ ඔහු විසින් ඔහුගේ මතය ප්‍රකාශ කිරීම නිසා නොව මෙරට නීතිය කඩ කිරීම නිසාය. එහෙත් ඔහුගේ මතද ජනතාව ප්‍රකෝප කරවන හා වාර්ගික ගැටුම්වලට ඍජුවම සම්බන්ධ බවට බොහෝ සාධක ඇත. එනිසා ඥාණසාර හිමි නිදහස් කරන්නේ නම්, අතීතයේ සිදු වූ දේවල්වලට මෙන්ම, මේ හිමිනම විසින් අනාගතයේ දී සුපුරුදු පරිදි අපරාධ සිදු කරන්නේ නම් සිදු කිරීමට නියමිත දේවල් සම්බන්ධයෙන් ද වගකීම භාර ගන්නට ප්‍රධාන වශයෙන්ම නිදහස් කරන අයට මෙන්ම ඒ සඳහා අනුබල දෙන ගිහි පැවිදි සියලු දෙනාටම සිදු වෙනු ඇත.


අපි බලා සිටිමු.
දේදුනු සංවාද

දේදුනු සංවාද facebook page

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button