දේශීය

‘සේනා’ පිටුපස ඇමරිකානු සමාගමක්

‘සේනා’ දළඹු උවදුර බීජ මගින් ව්‍යාප්ත වූ බවට තවමත් පැහැදිලි සාක්ෂි නැතත් ඒ පිටුපස ජාන තාක්ෂණය මගින් බීජ නිපදවන ඇමරිකානු සමාගමක් වන Mosanto සමාගම සිටිය හැකි බව කෘෂි විද්‍යාඥයෝ සැක පළ කරති.

කෘෂි විද්‍යාඥයෝ පවසන පරිදි Armyworm හෙවත් ‘සේනා’ නම් වූ පලිබෝධ වසංගතයට ඔරොත්තු දිය හැකි එකම බඩ ඉරිඟු බීජ ප්‍රභේදය වන්නේ Mosanto සමාගම විසින් නිපදවනු ලබන BT Corn නමින් හඳුන්වන ජාන තාක්ෂණය මගින් නිපදවන බීජ ප්‍රභේදයයි.

BT Corn යනු Bacillur Thuringiensis බැක්ටීරීයාවේ ජාන ඇතුළත් කර නිපදවනු ලබන බඩ ඉරිඟු විශේෂයක් වන අතර මෙම Bacillur Thuringiensis  බැක්ටීරියාව මගින් නිපදවන විෂක් හේතුවෙන් එම බඩ ඉරිඟු කරල් ආහාරයට ගන්නා සේනා දළඹුවන් විනාශයට පත් වේ.

Bacillus Thuringiensis බැක්ටීරියාවේ ජාන ඇතුළත් කර BT Corn  නිපදවන ලෝකයේ එකම කෘෂි බීජ නිශ්පාදන සමාගම වන්නේ Mosanto සමාගම වන අතර ඒ පිළිබඳ පූර්ණ තාක්ෂණය පවතින්නේද ඔවුන් සතුවය. එසේම BT Corn  පසට එකතු වීමෙන් පසෙහි සිටින හිතකර ජීවීන් විනාශ වන බවටත් එම බීජ මිනිස් සිරුරට අහිතකර වීමට ඉඩ ඇති බවටත් කෘෂි විශේෂඥයන් අතර සංවාදයක් පවතී.

කෙසේ වෙතත් Mosanto සමාගම රටවල් 34ක ක්‍රියාත්මක වන අතර උතුරු, මධ්‍යම ඇමරිකානු රටවල් 4ක් දකුණු ඇමරිකානු රටවල් 6ක් යුරෝපයේ රටවල් 12ක් අප්‍රිකාවේ රටවල් 4ක් සහ අසියානු පැසිපික් කලාපයේ ඉන්දියාව ඇතුළුව රටවල් 8ක්ද ඒ අතර තිබේ.

මේ පිළිබඳ කළ විමසුමකදී සබරගමුව විශ්ව විද්‍යාලයේ පාරිසරික කෘෂි විද්‍යාව පිළිබඳ මහාචාර්ය අයි. පී. යාපා පැවසුවේ ජාන තාක්ෂණය මගින් නිපදවන බෝග වල අනාරක්ෂිත බව නිසා ලෝකයේ බොහෝ රටවල් ඒවා ප්‍රතික්ෂේප කරන බවයි. එසේම 2016දී සේනා දළඹුවා අප්‍රිකාවේ රටවල් 30ක පමණ බඩ ඉරිඟු වාගාව විනාශ කළ අවස්ථාවේදී, එම රටවලට Mosanto සමාගම විසින් BT Corn  බඩ ඉරිඟු ප්‍රභේදය හඳුන්වා දීමට උත්සාහ කළ බවත්, ඊට එරට කෘෂි විද්‍යාඥයන් විරෝධය පළ කළද ගොවි ජනතාව එම ප්‍රභේදය භාවිත කිරීමට පෙළඹි ඇති බවත් විදෙස් වාර්තාවල සඳහන් වේ. කෙසේ වෙතත් දකුණු ඇමරිකාව නිජ භූමි වන ‘සේනා’ දළඹුවා විනාශ කිරීමට දකුණු ඇමරිකාවේ ඕනෑ තරම් විලෝපීන් සිටින බවත් ඒ ආශ්‍රයෙන් මෙරට ‘සේනා’ පාලනය කිරීමේ හැකියාවන් ඇති බවත් මාහාචාර්ය අයි. පී. යාපා. වැඩිදුරටත් පැවසීය.

කෘෂි  විද්‍යාඥ ජේ. එම්. සුරවීර පැවසුවේ ‘සේනා’ දළඹුවා විවිධ භෝග විශේෂ 80කට අධික ප්‍රමාණයක හා පැළැටි වර්ග 125ක් මත යැපෙන බවයි. එසේම ‘සේනා’ දළඹුවා පාලනය කිරීම සඳහා මේ මොහොතේ සිදු කළ හැකි වඩාත් ඵලදායීම ක්‍රියාමාර්ගය නම් සේනා දළඹුවා සීඝ්‍රයෙන් පැතිර යාමට හේතුවන බඩ ඉරිඟු වගාව සිදු කරන සියලු වගා භූමි සඳහා වන්දි මුදල් ගෙවා, හමුදාව යොදවා සම්පූර්ණයෙන්ම එම භූමි විනාශ කර දැමීම බවද ඔහු කීය. එවැනි ක්‍රියාමාර්ගයක් නොගතහොත් ‘සේනා’ දළඹුවා නිසා මෙරට කෘෂි කාර්මික පද්ධතියම අකර්මන්‍ය වීමට වැඩි ඉඩක් ඇති බවත් ඕනෑම කෘමි නාශක වර්ගයකට අනුගත වීමේ හැකියාවක් මෙම දළඹුවාට පවතින බැවින් කෘමි නාශක යොදවා මෙම සත්වයා විනාශ කිරීම තාවකාලික වන බවත් ඔහු පැවසීය.

මේ වන විට වී වගාව සහ උක් වගාව ආශ්‍රීතව පැතිර ගිය සේනා දළඹු විශේෂයන් මර්දනය කර ඇති බවත්, බඩ ඉරිඟු වගාවෙන් 50%ක පමණ ප්‍රමාණයක් තවමත් ‘සේනා’ උවදුරට ගොදුරු වී පවතින බවත් කෘෂි කර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්. එම්. ඩබ්. වීරකෝන් රාවයට ප්‍රකාශ කළේය.


රසික ගුණවර්ධන

රාවය සංවාදශීලී පුවත්පත ඇසුරින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button