සමාජ

“ඥානසාර හිමිට ජනපති සමාව දෙන්න එපා”

- සන්ධ්‍යා එක්නැලිගොඩ

ගලගොඩ අත්තේඥානසාර හිමිට ජනාධිපති සමාව ලබා නොදෙන්නැයි ඉල්ලා ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිද වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ජනාධිපති, බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා, නීතිපතිවරයාට සහ අධිකරණ ඇමැති තලතා අතුකෝරාළ මහත්ම මහත්මීන් වෙත ලිපි 4 ක් යොමු කර තිබේ.

ඥානසාර චීවරධාරියා වෙත එලෙස පොදු සමාවක් ලබා දුන් හොත් උන්වහන්සේ අගතියට පත් පාර්ශව වන තමන්, මහෙස්ත්‍රාත්, රජයේ නීතිඥවරුන්ට සිදු කරන්නාවූ අසාධාරණයක් වන හෙයින් මෙලෙස උන්වහන්සේට පොදු සමාව නොදෙන්නැයි ඉල්ලා සිටින බව එක්නැලිගොඩ මහත්මිය කීවාය.

ගලගොඩ අත්තේඥානසාර හිමියන් සිරගතව සිටින්නේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනා වලට වරදකරු වීම හේතුවෙන්ය.

සන්ධ්‍යා එක්නැලිගොඩ ජනාධිපති නීතිපති අධිකරණ ඇමැතිනිය සහ ගාමිණී ජයවික්‍රම වෙත යවන ලද ලිපි 4 පහත දැක්වේ.


ඉතා හදිසියි – අතින් / ලි.ප.තැ
කේ.එම්.එස්.පී. එක්නැලිගොඩ
අංක 136/2,
සුහද මාවත,
හිරිපිටිය
පන්නිපිටිය
2019/01/25

ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා අමාත්‍යතුමා
බුද්ධ ශාසන සහ වයඹ සංවර්ධන අමාත්‍යාංශය
දහම්පාය,
අංක 135,
ශ්‍රීමත් අනගාරික ධර්මපාල මාවත,
කොළඹ 05.

ගරු අමාත්‍යතුමනි,

ගලගොඩඅත්තේ ඥානසාර හිමි හට ජනාධිපති සමාවක් ලබා දීම සම්බන්ධවයි.

ඔබතුමා විසින් 2019/01/21 සහ ඔබේ අංක MIN/BS/WD/IMP/2019 දරණ ලිපිය මගින් ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට පොදු සමාවක් ලබා දීම පිළිබඳව ඉල්ලීමක් ඉටුකර දෙන ලෙස හා තවත් ලිඛිත ඉල්ලීම් කිහිපයක් සමග ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත ඉල්ලීමක් කර ඇත.

ඉහත සඳහන් වැරදිකරු උන්වහන්සේ හට කිසිදු සම්බන්ධතාවයක් නොමැති නඩුකරයක අධිකරණයේ කටයුතු අතරතුර ගරු අධිකරණයටත්, ගරු විනිශ්චයකාරතුමාටත්, රජයේ නීතිඥවරයාටත් උන් වහන්සේ විසින් අපහාස කරන ලදී. ඒ සියල්ල සිදුවූයේ මාගේ ස්වාමි පුරුෂයා අතුරුදහන් කිරීම පිළිබඳව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුකරය අතරතුර දී ය.

උන්වහන්සේට සමාව දුනහොත් එම නඩුකරයට සහ අනෙකුත් නඩුකරයන්ට උන්වහන්සේ විසින් අගතිගාමී හා / හෝ අයුතු ලෙස බලපෑම් සිදුකරන බවට ද මම විශ්වාස කරමි. එබැවින් ඒ පිළිබඳ මාගේ තදබල විරෝධය මේ ලිපියෙන් ප්‍රකාශ කර සිටිමි.

මාගේ ස්වාමි පුරුෂයා අතුරුදහන් කිරීම දේශපාලන වේදිකාවට ගෙන ගොස් එහි වාසිය ලබාගත් ඔබතුමා සහ ඔබතුමාගේ පක්ෂය මේ වැරදිකරුට සමාව ඉල්ලන්නේ කුමන පදනමින්ද යන්න මම දැන ගැනීමට කැමැත්තෙමි.

අධිකරණ අමාත්‍යාංශය ඔබතුමා යටතේ නොමැති අවස්ථාවේ දී ඔබතුමා පොදු සමාවක් ඉල්ලා සිටින්නේ කෙසේද යන්නද මම විමසා සිටිමි.

ඔබ යවා ඇති ලිපියේ සඳහන් සමාව දීමට අදාල ලිඛිත ඉල්ලීම් වල පිටපත් මා වෙත ලබා දෙන ලෙසද කාරුණිකව ඉල්ලා සිටිමි.

ස්තූතියි.
මෙයට,
විශ්වාසී,

සන්ධ්‍යා එක්නැලිගොඩ


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button