දේශීය

බ්‍රොයිලර් කුකුළු පීකුදුවල අධික විෂක්

තෝරාගත්තු කුකුළු මස් වර්ග කිහිපයක් පර්යේෂණයකට භාජනය කරලා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ රසායනික විද්‍යා දෙපාර්තමේන්තුවේ විද්‍යාඥයෝ පිරිසක් හොයාගෙන තියෙනවා බ්‍රොයිලර් කුකුලන්ගේ මස් වල පීකුදු කොටසේ (අක්මාවේ) විෂ ආසනික් සංඝටක තියෙන බව.

බ්‍රොයිලර් කුකුලන්ට ඉක්මනින් වර්ධනය වෙන්න අධි පෝෂණ ආහාර සහ හෝර්මෝන වර්ග දෙනවා කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. හැබැයි මේ ආසනික් සංඝටකය අඩංගු ආහාර දෙන්නේ කුකුලන්ගේ බඩවැල් වල ජීවත්වන කුඩා ජීවීන් මරණයට පත් කරන්නලු. ඒ සංයෝගය කුකුලන්ට ආහාරයට දෙන්නේ කාබනික සංයෝගයක් විදියට වුනත් උන්ගේ ආහාර මාර්ගයෙදී ඒ ද්‍රව්‍ය විෂ ආසනික් සංඝටකයක් බවට පත්වෙනවා කියලා තමයි පර්යේෂණයෙන් හොයාගෙන තියෙන්නේ.

කොහොමත් අපේ රටේ මිනිස්සු වැඩියෙන්ම කන්නේ කුකුළු මස්. ඒ අතරිනුත් බ්‍රොයිලර් වර්ගයේ කුකුළු මස් තමයි ඉහලින්ම ඉන්නේ.

ලංකාදීප පුවත්පතේ සඳහන් වුනු විදියට රසායනික විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය බී. ඒ. පෙරේරා මහත්මියගේ අදහස තමයි මේ.

“ආසන්න වශයෙන් සති 14 ක් පමණ වයසැති බ්‍රොයිලර් කුකුළන් මස් පිනිස යොදාගන්නවා. කුකුළු මස් වර්ග කීපයක් උපයෝගී කරගෙන මෙම පර්යේෂණය සිදුකළා. සති 14 ක් වයසැති බ්‍රොයිලර් කුකුළන් වර්ධනය කිරීම සඳහා හෝර්මෝන, විටමින් සහ ඛනිජ ලවන සහිත ආහාර ලබාදන අතර කුකුළන්ගේ බඩවැල් ආශ්‍රිතව ජීවත්වන කුඩා ජීවීන් මරණයට පත්කිරීම සඳහා ආසනික අඩංගු සංඝටක ලබාදෙනවා. කුකුළන්ගේ බඩවැල් ආශ්‍රිතව සිටින කුඩා ජීවීන් මරණයට පත්වූ විට ආහාර වැඩිපුර ගැනීමේ හැකියාව ඔවුන්ට ඇතිවෙනවා. ඒ අනුව කුකුළන් හොඳින් වර්ධනය කරගැනීමට හැකියාව ලැඛෙනවා. මෙසේ බ්‍රොයිලර් කුකුළන් කෙටිකාලීනව වර්ධනය කරගැනීමට කාබනික වශයෙන් ආසනික අඩංගු සංඝටකය ලබාදුන්නද ඔවුන්ගේ උදරය තුළදී එය විස ආසනික සංඝටකයක් බවට පත්වෙනවා.

සාමාන්‍යයෙන් ආසනික් බැර ලෝහ ගණයට අයත්වන අතර මිනිස් සිරුරට ඇතුළුවූ විට ශරීරයෙන් බැහැර වෙන්නේ නෑ. මෙම පර්යේෂණයේදී බ්‍රොයිලර් කුකුළු මස් අපි විවිධ ආකාරයෙන් පිසීමට ලක්කළා. සුදුළුණූ, සියඹලා සහ දෙහි සමඟ තනි තනිව උයා බැලූවා. කුළු බඩු යොදාගෙන විවිධාකාරයෙන් පිසීමට ලක්කළා. එහෙත් එහි ඇති ආසනික් අඩු නොවන බව සනාථ වුණා. දිගු කාලීනව ආසනික අඩංගු කුකුළු මස් ආහාරයට ගැනීම නිසා එම බැර ලෝහ මිනිස් සිරුරේ තැන්පත්වෙනවා. පර්යේෂකයන් සිදුකළ පර්යේෂණවලට අනුව කුකුළු මස්වල පීකුදුවල වැඩිවශයෙන් විස සහිත ආසනික් තැන්පත් වන බව සොයාගැනීමට හැකිවුණා.

මෙම පර්යේෂණයෙන් තහවුරු වන පරිදි වඩා සැලකිල්ලට ලක්විය යුත්තේ කුකුළු මස් අනුභව කිරීමේදී පීකුදු ආහාරයට ගැනීම අවම කිරීමයි. මෙවැනි විස ආසනික් දිගු කාලීනව ශරීර ගතවීමෙන් පිළිකා තත්ත්ව ඇතිවීම, ශරීරයේ අභ්‍යන්තර පද්ධතිවලට විසවීම ඇතුලූ නොයෙකුත් අහිතකර ප්‍රතිඵල ඇතිවිය හැකියි.”

කොහොම වුනත් පරීක්ෂකයන් කියන විදියට, සෑම කුකුළු මස් වර්ගයකම මේ ආසනික් තියෙනවා කියලා තහවුරු වෙලා නැහැ. මොකද පර්යේෂණයට තෝරාගෙන තියෙන්නේ කුකුල්මස් වර්ග කිහිපයක් විතරයි. ඉදිරියේදී මේ ගැන තව පුළුල් විදියට පර්යේෂණ කරලා මිනිස් සිරුරට ඇතිවන බලපෑම ගැන ඉතාම පැහැදිලි සහ නිවැරදි තොරතුරු ලබාදීමට එම විද්‍යාඥයින් පිරිස බලාපොරොත්තු වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button