දේශීය

මහේන්ද්‍රන්ගේ තවත් හොර වැඩක් වාසු හෙළි කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාවට චූදිතයකු වී දැනට සිංගප්පූරුවට පැනගොස් සිටින ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මීට පෙරද ලංකා ආයෝජන මණ්ඩලයේ (BIO) සභාපති ලෙස ක්‍රියා කරමින් සිදුකළ නීති විරෝධී ක්‍රියා හේතුවෙන් සිංගප්පූරුවට පැනගිය පුද්ගලයකු බවට තොරතුරු වාර්තා වී තිබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කර තිබෙනවා.

කොළඹ වරායට අයත් මැරයින් සමාගම පෞද්ගලිකරණය කිරීමේදී එය මිලදීගත් පෞද්ගලික සමාගමට රුපියල් කෝටි ගණනක බදු සහනයක් ලබාදුන් බවට එවකට ලංකා ආයෝජන මණ්ඩලේ සභාපති වශයෙන් ක්‍රියා කළ අර්ජුන මහේන්ද්‍රන් මහතාට චෝදනා එල්ල වූ බවද නානායක්කාර මහතා පෙන්වා දෙයි.

නීති විරෝධීව සිදුකළ පෞද්ගලිකරණය කිරීමේ මෙම සිද්ධියට අදාළ නඩුවේදී එවකට ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, එවකට ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන මහේන්ද්‍රන් යන මහත්ම මහත්මීන්ට චෝදනා එල්ල වූ බවද වාසුදේව නානායක්කාර මන්ත්‍රිවරයා සඳහන් කරයි.

මැරයින් සමාගම පෞද්ගලිකරණය කිරීමේ ගිවිසුම අවලංගු කළ ශේ‍ර්ෂ්ඨාධිකරණය එම ක්‍රියාවලියේදී අදාළ පෞද්ගලික සමාගමට ලබාදුන් බදු සහනය යළි අය කරගන්නා ලෙසට නියම කළ බවද නානායක්කාර මහතා සිහිපත් කරයි.

එම සිද්ධියෙන් පසුව අර්ජුන මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුව බලා පැනගිය බවත් යළි ඔහු 2015 වසරේදී මෙරටට පැමිණෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරය භාර ගැනීමට බවද ඔහු සඳහන් කරයි.

2001 – 2004 වර්ෂවල පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලයේදී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති වශයෙන් අර්ජුන මහේන්ද්‍රන් මහතා පත් කළේ එවකට සිටි ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ එවකට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡා කිරීමෙන් අනතුරුව බවද 2015දී අර්ජුන මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ලෙස පත් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට යෝජනා කරන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බවත් දෙවැනි වරට ඔහු එම ධුරයට පත් කිරීමට ජනාධිපතිවරයා දැඩි අකැමැත්ත ප්‍රකාශ කරද්දී ඔහු ගැන සම්පූර්ණ වගකීම භාරගෙන ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරයට අර්ජුන මහේන්ද්‍රන් මහතා පත් කිරීමට ක්‍රියා කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බවත් වාසුදේව නානායක්කාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

මව්බිම පුවත්පත ඇසුරින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button