විශේෂාංග

“System මාරු කරන්න ජනතාව බුද්ධිමත් වෙන්න ඕනි”

- හේමාල් සචීන්ද්‍ර රණසිංහ

දේශපාලනය තුළ කලාකරුවන්ගේ හැසිරීම මොන වගේ විය යුතුද?

පවතින තත්ත්වය මතදී කලාකරුවා ස්වාධීන හෝ ජනතාවාදී විය යුතුයි මා විශ්වාස කරනවා. කලාකරුවා අවස්ථාවාදී නොවිය යුතුයි. ඔහු බෙදාදෙන්නෙක් මිස බදාගන්නෙක් නොවේ.

 

කලාකරුවෙකු කියන්නේ යම් දෙයක් රස වින්දනය තුළින් පක්ෂ භේදයකින් තොරව සමාජයට යම් පණිවිඩයක් දෙන අයෙක්. එහෙම පුද්ගලයෙකු දේශපාලනය තුළ පක්ෂග්‍රාහී පුද්ගලයකු වීම කොයිතරම් දුරට සාධාරණද?

කලාකරුවා පමණක් නොව, රටක සියලුම පුද්ගලයන් පොදුවේ තම රටේ දේශපාලනය, ස්වභාවධර්මය, සංස්කෘතිය හා මානව සම්බන්ධතා වැනි එකී මෙකී නොකී සියලුම සම්පත් පිළිබඳව සර්වකාලීන වගකීම් සහිතව මිහිමත උපන්දින්නන් හැටියට මා විශ්වාස කරනවා. එවන් විශ්වාසයක් මතදී පක්ෂග්‍රාහීවීම යමෙක් තමන්ගේ ආත්මයටම කරගන්නා වූ අසාධාරණයක්.

 

කලාකරුවා දේශපාලනය ගැන කතා කරන්නේ බොහොම අඩුවෙන්. ඒ ඇයි?

නූතන කලාකරුවා දේශපාලනය ගැන ඕනවටත් වඩා “කතා” කරන්නෙක් හැටියට මා දකින්නේ.

 

කලාකරුවා කියන පුද්ගලයා බොහෝ විට වැඩි වශයෙන් රටක තරුණ ප්‍රජාව තුළ ජනප්‍රිය වනවා සේම කලාකරුවා අනුකරණයට ලක් වෙනවා. ඒ අනුකරණය තුළ තරුණයාට යහපත් සහ ස්වාධීන දේශපාලන දැක්මක් ඇති කළොත් රට තුළ මීට වඩා හොඳ දෙයක් කරන්න පුළුවන් නේද?

කලාකරුවා ප්‍රසිද්ධ වනවාට වඩා ජනප්‍රියත්වයට පත්වනවාටයි මගේ පුද්ගලික කැමැත්ත. ජනප්‍රියත්වයට ළමා, මහලු හෝ තරුණ භේදයක් නැහැ. ජනප්‍රියත්වයත් සමග ඇතිවිය හැකි අනුකරණය හොඳ හෝ නරක යන කාරණා දෙකෙන්ම පැවතිය හැකියි. එය රඳා පවතින්නේ රටක පවතින අධ්‍යාපන මට්ටම මත. එය වෙනත් කාරණාවක්, නමුත් කෙසේ වෙතත් රටක පුද්ගල රසඥතාව වර්ධනය වීම උදෙසා ගුණාත්මක නිර්මාණ බිහිවිය යුතුයි. මේ සඳහා අවශ්‍ය පසුතලය නිර්මාණය විය යුතුයි. එතුළින් රටේ දේශපාලනික පමණක් නොව යහපත් සමාජීය ජීවන වටපිටාවක් සැකසේවි යන විශ්වාසයක් මා තුළ තිබෙනවා. අප පෙන්වන දෙයින් දැක්මක් ඇතිකළ නොහැකියි. දැක්ම ඇතිවිය යුත්තේ චින්තනය තුළින්.

 

ලංකාවේ දේශපාලනය ඇතුළේ මේ යම්තාක් සිදු වුණේ නායකත්වය මාරු කිරීම විතරයි. ඒත් system මාරු වුණේ නෑ. නායකත්වය මාරු කිරීම තුළින් අපිට අවශ්‍ය system හොයා ගන්න පුළුවන්ද?

නායකත්වය, system හෝ මේ ඕනෑම දෙයක් මාරු කිරීමට හෝ implement කිරීමට පෙර රටේ ජනතාව මීට වඩා බුද්ධිමත් විය යුතුයි. තමන්ටත් තමන්ගෙන් පසු පරම්පරාවටත් වගකීමක් ඇති පිරිසක් විය යුතුයි.

අපි හැම විටම අපේක්ෂා කරන්නේ ජනතාව පොහොසත් වන සහ රට පොහොසත් වන යුගයක්. ඒත් අපි තාමත් පාලකයා පෝසත් කරන සාම්ප්‍රදායික දුප්පත් ඡන්ද දායකයන් පිරිච්ච සමාජයක්. මේකට හේතුව මොකක්ද?

පොහොසත්කම මනින මිනුම් දණ්ඩ මොකක්ද? මා විශ්වාස කරන පොහොසත්කම යනු මිනිස්සුන්ගේ ආධ්‍යාත්මිකව ඇතිවන වර්ධනය. එය තමයි මා විශ්වාස කරන පොහොසත්කම. නූතන දේශපාලනඥයා පෙන්වන නාට්‍ය රස විඳින සහ පශ්චාත් මරණ පරීක්ෂණයටත් කෙළ හළන මිනිස්සු ඉන්න යුගයක ඔබ මෙහිදී සඳහන් කරන පොහොසත්කම සිහිනයක්.

 

මේ හැම system එකක් වෙනස් කරන්න, පක්ෂ භේදයකින් තොරව මිනිස්සු එකතු වෙන්න බය ඇයි?

පවතින සමාජීය වටපිටාව තුළ සියලුම දේ පුද්ගලික වී (අවස්ථාවාදී වී) ඇතිබව මට හැඟෙනවා. කණ්ඩායම් හැඟීම් වෙනුවට (Team work වෙනුවට) අප දකින්නේ තමන්ගේ පැවැත්ම උදෙසා තනිව සටන් කරන මිනිස්සු (individual playing for survival). මිනිස්සු survivors වෙලා.

මෙයට සරල උදාහරණයක් ලෙස, අඩුම තරමේ පාසලකදී හෝ තමන් ජීවත් වූ වටපිටාවක හෝ කණ්ඩායම් තරග (Team sports/ Team games) සඳහා සහභාගි වූ හෝ අඩුම තරමින් ඒ දෙස බලාසිටි අයවළුන් කිහිපදෙනෙක්වත් පාලකයන් ලෙස හෝ ඡන්දදායකයින් වනවා නම්, එවිට එකතු වීම ජයග්‍රහණයක් බවට ඔවුන්ට ඒත්තු වේවි.

 

පාලකයා ඡන්දදායකයාට බිය විය යුතු සමාජයක් වෙනුවට ඇයි පාලකයාට බය සමාජයක් බිහි වෙන්නේ?

බයකටත් වඩා මා විශ්වාස කරන්නේ මේ දෙපාර්ශ්වය තුළම ඇතිවිය යුත්තේ එකිනෙකා පිළිබඳව ගෞරවයක් හා විශ්වාසයක්. “බය” හුදෙක් පැවැත්ම සඳහාම උපකාරි වන කාරණාවක්.

 

දේශපාලනය පිළිබඳ තියෙන්නේ කලකිරීමක්ද? හැඟීම් විරහිත බවක්ද?

බලාපොරොත්තුවක්.
(එය පුද්ගලික නොව, රටේ ජීවත්වන අසාධාරණයට ලක් වී සිටින සියලුම ජනතාවගේ සුබසිද්ධිය උදෙසා ඇතිවන සමාජීය හා ආධ්‍යාත්මික වර්ධනයක් උදෙසා ඇති බලාපොරොත්තුවක්.)


හෂාන් අනුරාධ

ඡායාරූපය – රෆෙල්ලා ප්‍රනාන්දු

Advertisements
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button