ක්‍රීඩා

සිංහ කැන්ගරු ටෙස්ට් ක්‍රිකට් පුරාණය

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ටෙස්ට් ක්‍රිකට් ඉකිහාසය වසර 35ක් තරම් එපිටට දිව යන්නකි. එනම් 1982 වසරේ දී ශ්‍රී ලංකාවට ටෙස්ට් තරග වරම් ලැබීමෙන් පසුව 1983 දී මුල් වරට මෙරට සංචාරය කළ ඔස්ට්‍රේලියා කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම සමග ටෙස්ට් තරගයකට එක් විය.අපේක්ෂිත අයුරින් ම ඒම තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට පරාජය අත් වූ අතර ඉන්පසුව මෙම දෙරට අතර නැවතත් තරගයක් පැවැත්වූයේ තවත් වසර 05කට පසුව යි. 1988 දී ඔස්ට්‍රේලියාවේ සංචාරය කළ ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගයට එක් වූ අතර සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවට අත් වූයේ පරාජය යි. නමුත් ඉන් වසරකට පසුව 1989 දී නැවත වරක් ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ සංචාරය කළ අතර ප්‍රථම වතාවට දෙරට අතර තරග 02 කින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සංවිධානය විය. මෙම තරගාවලියේ පළමු තරගය ජය පරාජයෙන් තොරව නිමා කරගන්නට ශ්‍රී ලංකාව සමත් වුවත් 1-0ක් ලෙස ඔස්ට්‍රේලියාව තරගාවලිය ජය ගන්නට සමත් විය.

ශ්‍රී ලංකාව මුල් වරට ඔස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කරන්නේ 1999 දී වන අතර එම තරගාවලියේ මහනුවරදී පැවති පළමු තරගය කඩුලු 06 කින් ජය ගන්නා ශ්‍රී ලංකාව ගාල්ලේ පැවති දෙවන තරගයත් කොළඹ දී පැවති තෙවන තරගයත් ජය පරාජයෙන් තොරව නිමා කර ගනිමින් තරගාවලියේ ජයග්‍රහණය ද තමන් සතු කර ගන්නට සමත් විය.

කෙසේ වෙතත් 1983 සිට මේ දක්වා ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ටෙස්ට් තරග 29ක් පවත්වා ඇති අතර ඔස්ට්‍රේලියාව ඉන් තරග 17 ජය ගනිද්දී ශ්‍රී ලංකාවට ජය ගැනීමට හැකි වී ඇත්තේ තරග 04 ක් පමණි. තරග 08 ක් ජය පැරදුමින් තොරව අවසන් වී ඇත. 1988 සිට මේ දක්වා ශ්‍රී ලංකාව අවස්ථා 06 කදී ඔස්ට්‍රේලියාවේ සංචාරය කර ඇතත් තවමත් ඔස්ට්‍රේලියාවේ දී එකඳු ටෙස්ට් තරගයක් හෝ ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී නැත.

2012/13 තරගාවලිය

ශ්‍රී ලංකා කණ්ඩායමක් අවසන් වතාවට ඔස්ට්‍රේලියාවේ සංචාරය කළේ 2017 පෙබරවාරී මාසයේ දීය. නමුත් එහිදී පැවැත්වූයේ 20යි 20 තරග 03ක් පමණක් වන අතර එම තරගාවලිය 2-1ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගත්තේ ය.

ටෙස්ට් තරගමාලාවක් සඳහා ශ්‍රී ලංකාව අවසන් වරට ඔස්ට්‍රේලියාව බලා ගියේ 2012/13 වසරේදී ය. තරග 03කින් සමන්විත වූ එම තරගාවලියේ හෝබාර්ත් හි පැවති පළමු තරගය ලකුණු 137 කින්, මෙල්බර්න් හිදී දෙවන තරගය ඉනිමකින් සහ ලකුණු 201 කින් සහ සිඩ්නි හි පැවති අවසන් තරගය කඩුලු 05 කින් වශයෙන් සම්පූර්ණ තරගාවලිය 0-3 ක් ලෙස ශ්‍රී ලංකාව පරාජය විය.

මෙම තරගාවලියේ දී තරග 03 කදී ලකුණු 316 ක් ලබා ගත් මයිකල් ක්ලාර්ක් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ අතර තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 208 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවේ වැඩිම ලකුණු ලාභියා බවට පත් විය.

තරඟමාලාවේ වැඩිම ලකුණු ලාභීන්

ඔස්ට්‍රේලියාව   ශ්‍රී ලංකාව
මයිකල් ක්ලාර්ක් 316 තිලකරත්න ඩිල්ෂාන් 208
ඩේවිඩ් වෝනර් 272 ඇන්ජලෝ මැතිව්ස් 175
පිල් හියුස් 233 මහේල ජයවර්ධන 166
මයික් හසී 232 කුමාර් සංගක්කාර 152
මැතිව් වේඩ් 191 දිමුත් කරුණාරත්න 140

 

පීටර් සිඩ්ල් තරග 03 කදී කඩුලු 15 ක් දවාලමින් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වන විට රංගන හේරත් ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු 12ක් බිඳ හෙලුවේ ය.

තරඟමාලාවේ වැඩිම කඩුලු ලාභීන්

ඔස්ට්‍රේලියාව   ශ්‍රී ලංකාව
පීටර් සිඩ්ල් 15 රංගන හේරත් 12
ජැක්සන් බර්ඩ් 12 චානක වෙලගෙදර 06
මිචෙල් ස්ටාර්ක් 10 ශමින්ද එරංග 05
මිචෙල් ජොන්සන් 09 තිලකරත්න ඩිල්ෂාන් 03
නේදන් ලයන් 07 ධම්මික ප්‍රසාද් 03

 

2016 තරගාවලිය

දෙරට අතර අවසන් වරට ටෙස්ට් තරගමාලාවක් පැවැත්වූයේ 2016 ජූලි/අගෝස්තු මාස වලදී ශ්‍රී ලංකාවේ දීය. තරග 03 කින් සමන්විත වූ මෙම තරගාවලිය 3-0ක් ලෙස ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවට ඔස්ට්‍රේලියාව පූර්ණ තරගාවලි පරාජයකට ලක් කරමිනි. එහිදී, පල්ලෙකැලේ පැවති පළමු තරගය ලකුණු 106කින්, ගාල්ලේ පැවති දෙවන තරගය ලකුණු 229කින් සහ කොළඹ පැවති තෙවන තරගය ලකුණු 163 කින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේ ය.

ධනංජය ද සිල්වා තරග 03 කදී ලකුණු 325 ක් රැස් කරමින් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ අතර තරග 03 කදී කඩුලු 28ක් බිද හෙලූ රංගන හේරත් තරඟමාලාවේ වැඩිම කඩුලු ලාභියා බවට පත් විය.

තරඟමාලාවේ වැඩිම ලකුණු ලාභීන්

ඔස්ට්‍රේලියාව   ශ්‍රී ලංකාව
ස්ටිව් ස්මිත් 247 ධනංජය සිල්වා 325
ඩේවිඩ් වෝනර් 163 කුසල් මෙන්ඩිස් 296
මිචෙල් මාර්ෂ් 163 දිනේෂ් චන්දිමාල් 250
ෂෝන් මාර්ෂ් 159 ඇන්ජලෝ මැතිව්ස් 152
ඇඩම් වොග්ස් 118 කුසල් පෙරේරා 148

 

තරඟමාලාවේ වැඩිම කඩුලු ලාභීන්

ඔස්ට්‍රේලියාව   ශ්‍රී ලංකාව
මිචෙල් ස්ටාරක් 24 රංගන හේරත් 28
නේදන් ලයන් 16 දිල්රැවන් පෙරේරා 15
ජොස් හෙස්ල්වුඩ් 07 ලක්ෂාන් සඳකැන් 09
ජෝන් හෝලන්ඩ් 05 නුවන් ප්‍රදීප් 02
ස්ටිව් ඔ්කීෆ් 03 ධනංජය ද සිල්වා 02

 

සමස්ථ වාර්තා

මෙම ලිපියේ මුලින් සඳහන් කළ පරිදි ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ටෙස්ට් තරග 29ක් පවත්වා ඇති අතර ඉන් 17 ක ජය ඔස්ට්‍රේලියාවටත් තරග 04 ක ජය ශ්‍රී ලංකාවටත් හිමි වී තිබේ. තරග 08 ක් ජය පැරදුමෙන් තොරව අවසන් වී ඇත. 1983 සිට දෙරට අතර පවත්වා ඇති ටෙස්ට් තරගාවලි සංඛ්‍යාව 12කි. ශ්‍රී ලංකාව 1999 දී සහ 2016 දී ශ්‍රී ලංකාවේ පැවති තරගාවලි ද්විත්වය ජයග්‍රහණය කරද්දී ඉතුරු තරගාවලි 10 ම  ජයග්‍රහණය කර ඇත්තේ ඔස්ට්‍රේලිව යි.

දෙපිළ අතර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභියා වන්නේ තරග 08 කදී ලකුණු 994ක් රැස් කරගත් ඔස්ට්‍රේලියාවේ මයික් හසී ය. තරග 11 දී කඩුලු 66ක් බිද හෙලා ඇති ශ්‍රී ලංකාවේ රංගන හේරත් වැඩිම කඩුලු ලාභියා ය.

වැඩිම ලකුණු ලාභීන්

ඔස්ට්‍රේලියාව   ශ්‍රී ලංකාව
  තරග ලකුණු     තරග ලකුණු
මයික් හසී 08 994 මහේල ජයවර්ධන 16 969
රිකී පොන්ටිං 14 975 කුමාර් සංගක්කාර 11 878
මයිකල් ක්ලාර්ක් 08 746 අරවින්ද ද සිල්වා 12 803
සටිව් වෝ 08 701 සනත් ජයසූරිය 13 686
මැතිව් හේඩ්න් 07 664 අර්ජුන රණතුංග 12 673

 

වැඩිම කඩුලු ලාභීන්

ඔස්ට්‍රේලියාව   ශ්‍රී ලංකාව
  තරග කඩුලු     තරග කඩුලු
ශේන් වෝන් 13 59 රංගන හේරත් 11 66
ග්ලේන් මැග්‍රාත් 08 37 මුත්තයියා මුරලිදරන් 12 54
මිචෙල් සටාර්ක් 05 34 චමින්ද වාස් 12 38
නේදන් ලයන් 09 31 චම්පක රාමනායක 06 21
ක්‍රේග් මැක්ඩමෝර්ට් 07 27 දිල්රුවන් පෙරේරා 03 15

 

ලොව බිහිවූ විශිෂ්ඨතම පිට දඟ පන්දුයවන්නා වන මුත්තයියා මුරලිදරන් සහ විශිෂ්ඨතම පා දඟ පන්දු යවන්නා වන ශේන් වෝන් වෙනුවෙන් දෙරට අතර තරඟමාලාව වොන්-මුරලි කුසලානය ලෙස නම් කර ඇත.


සුධීර අයේෂ්මන්ත බණ්ඩාර
ජනයුගය – ක්‍රිකට් ක්‍රීඩා විශේෂාංග ලේඛක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button