විශේෂාංග

පුද්ගලික රෝහල්වල ‘වැදුම්ගෙයි පිල්ලි’

පොළොන්නරුව මහරෝහල් සූතිකාගාරය තුළ මව්වරුන්ට අත්විදීමට සිදුවන නොයෙකුත් හිංසනයන් පිළිබදව හෙළිදරවු කෙරුනු ලිපියක් මුහුනු පොතින් කියවීමි. රජයේ රෝහල් බොහොමයක තත්වය මීට සමාන බව ද අසා ඇත්තෙමි. එසේ හෙයින් දරු ප්‍රසූතිය සදහා පෞද්ගලික රෝහලක් තෝරා ගෙන ඒ හා සමානම හි‍ංසනයකට මුහුණ දීමට සිදුවීම සම්භන්ධව අත්දැකීම් ද ඇත්තෙක්මි. දරුවා ඉපදී වසර දෙකක් පසුවන තුරුත් මේ පිළිබදව මුහුණු පොතේ සටහන් නොකලේ එය, යලි මතකයට නගා ගැනීමට අකැමැති ඉතාම සංවේදී හෝරා කිහිපයක් නිසාවෙනි. එසේ වුවද මේ සටහන තබන්නේ පෞද්ගලික රෝහල් මාෆියාවේ අදුරු පැතිකඩක් විදාරනය කිරීම වෙනුවෙනි.

මමත් බිරින්දෑත් දරු ප්‍රසූතිය සදහා පෞද්ගලික රෝහලක් තෝරා ගත්තේ රජයේ රෝහල් වල ඉහත කී අකාරුණික සැලකීම් ලැබීමට ඇති අකැමැත්ත නිසා මෙන්ම දරු ප්‍රසූතිය සිදුවන මොහොතේ මට ද සූතිකාගාරය තුළ සිට බිරින්දෑව අස්වැසීමට හැකි වන නිසා ය. ඒ සදහා අප තෝරා ගත්තේ කොළඹ Lanka Hospitals PLC රෝහලයි. දරු ප්‍රසූතිය සැලැසුම් කළ දිනයක ස්වභාවික ලෙස සිදුකිරීමට (Pre planned natural birth) වෛද්‍යවරයා හා එකඟ වූ අපි නිශ්චිත දිනයේ රෝහල කරා ගියෙමු. රෝහලට ඇතුලත් වීම සදහා කවුන්ටරය වෙත ගිය මට එහි සිටි නිලධාරීවරයා පැවසුවේ ඔවුන් සතුව ඒ මොහොතේ deluxe වර්ගයේ කාමර නොමැති බවත් ඉතිරිව ඇත්තේ super deluxe වර්ගයේ කාමර පමනක් බවත් ය. දරු ප්‍රසූතියක් වැනි හදිසි තත්වයකදී ලංකා රෝහලේ නිලධාරීන් මෙවැනි වංචනික බොරු ගොතා වැඩිපුර මුදල් ගසා කෑමට කටයුතු කිරීම සාමාන්‍ය තත්වයක් බව සමාන අත්දැකීමක් සහිත මිතුරෙකු මාහා පවසා තිබුනි. එහෙයින් deluxe කාමර නැතිනම් මම වෙනත් රෝහලක් වෙත යන බව පවසා එතනින් නික්ම යෑමට සැරසෙන විටම පෙර කී නිලධාරියා “පොඩ්ඩක් ඉන්නකො සර් බලන්න” කියා කිහිප තැනකට දුරකතනයෙන් අමතන රංගනයක නිරත විය. අවසානයේ “ආහ්… එක කාමරයක් තියෙනවා” කියා නැති කාමර මතු කර අපව ඇතුලත් කර ගන්නා ලදි.

අනතුරුව ඇරඹුනේ නාටකයේ දෙවන අංගයයි. ඒ සූතිතාගාරය තුළ ය. කාමරයට යාමට ප්‍රථම සූතිකාගාරය වෙත ගොස් පරීක්ශා කරවා ගන්නා ලෙස උපදෙස් ලැබුනු නිසා අප ඒ වෙත ගියෙමු. බිරින්දෑගේ පරීක්ශන අවසන් වන තුරු මම සූතිකාගාර ලොබියේ වාඩි වී සිටියෙමි. එතන සිටි හෙදියන් දෙදෙනෙකු මට ද හොඳින් ඇසෙන ලෙස ඔවුනොවුන් අතර ඇති කරගත් සංවාදය මෙබදු ය.

1 හෙදිය – “මේ ඩිලක්ස් රූම් එක තියෙන්නෙ පස් වෙනි තට්ටුවෙ නේද?”
2 හෙදිය – “ඒක තමයි. හදිස්සියක් වුනොත් ඉක්මනට ගේන්නත් අමාරුයි.”
1 හෙදිය – “ඇයි මේ ෆ්ලෝර් එකේ රූම්ස් නැද්ද?”
2 හෙදිය – “තියෙනවා. ඒත් ඒවා සුපර් ඩිලක්ස් නෙ.”

රංගනය අවසානයේ මාවෙත පැමිනි 2 හෙදිය “සර්… ලේබර් රූම් එක එහා පැත්තෙම රූම් එකට මාරු කරමු ද?” කියා ඇසුවා ය. දරු ප්‍රසූතිය අතරේ අනවශ්‍ය ප්‍රශ්න ඇති කර ගත නොයුතු නිසා මම එකඟ වීමි. පරීක්ශන වලින් අනතුරුව සුපර් ඩිලක්ස් කාමරයට වැදී අප දෙදෙනාගේම ජීවිත වල ස්වර්ණමය ම මොහොත උදා වන තුරු සතුටින් කාලය ගත කළෙමු. පොඩි එකාට ලොකු වූ පසු පෙන්වීමට වීඩියෝවක් ද පටිගත කළෙමු.

ප්‍රසව වේදනා ආරම්භ වූයේ රාත්‍රී 9ට පමන ය. එකෙනෙහිම බිරින්දෑව සූතිකාගාරය වෙත රැගෙන ගිය අතර මා ද ඈ පසුපස ගියෙමි. එතැන් සිට ආරම්භ වූයේ අංගුලිමාල පිරිත් හඩ මධ්‍යයේ වරින් වර නැගුනු බිරින්දෑගේ වේදණාත්මක කෙදිරීම් ය. ක්‍රමක් ක්‍රමයෙන් කෙදිරීම් කෑගැසීම් දක්වා වර්ධනය විය. පැය භාගයකට පමන වරක් පැමිනෙන වෛද්‍යවරියක “තවම ඕපන් වෙලා මදි” යැයි ඇගට පතට නොදැනී කියා යන්නනට ගියා ය. මගේ ජීවිත කාලය තුළ මා වඩාත්ම අසරණ වූ පැය කිහිපය එයයි. බිරින්දෑගේ වේදණාත්මක කෑගැසීම් මධ්‍යයේ මට කළ හැකි එකම දෙය ඇගේ අතින් අල්ලාගෙන හිස අත ගාමින් ඈට අස්වැසීම පමනි. අවුරුදු 10ක් පුරා ප්‍රේම කළ ස්ත්‍රිය වේදණාවෙන් කෑගසද්දී ඒ වෙනුවෙන් මට කළ හැකිව තිබූ එකම දේ එපමනකි. පසුදින උදෑසන 7 පමන වන තුරුත් බිරින්දෑ වේදණාවෙන් මුර දෙමින් සිටියා ය. එහෙත් දරුවා එළියට ගැනීමට සූදානම් බවක් පෙනෙන්නට නැත. ඒ වන විට මා සිටියේ මානසික පීඩනය දරා ගත නොහැකිව වෙව්ලමිනි.

ලංකා හොස්පිටල් නාටකයේ තුන් වන අංගය ආරම්භවන්නේ මේ අතර තුර ය. පාත්‍ර වර්ගයා කලින් අංගයේ හෙදියන් දෙදෙනාම ය. ඔවුන් දෙදෙනා පෙර පරිදිම සූතිකාගාරයේ දොරකඩ කතා බහකි.

1 හෙදිය – “මෙයාට ටිකක් අමාරුයි වගේ නේද?”
2 හෙදිය – “ඔව් නෙ. දැන් පැය කීයක් ද?”
1 හෙදිය – “මේ යන විදිහට නම් තව පැය හයක් වත් ඔය වේදණාව විදින්න වෙයි”
2 හෙදිය – “ඔව්. ඔව්. ඩොක්ටත් කිව්වෙ එහෙම තමයි”
1 හෙදිය – “සීසර් කරලා දැම්ම නම් ඉවරයි”
2 හෙදිය – “කාටද පුලුවන් ඔච්චර වෙලා වේදණා විඳින්න”

එම දෙබස අවසන් වනවාත් සමගම වේදිකාවට ගොඩ වූයේ වෛද්‍යවරියයි. ඇය බිරින්දෑව පරීක්ශා කර බලා “තව සෑහෙන වෙලාවක් යයි ඕපන් වෙන්න. මොකද සර් කියන්නෙ?” යැයි මගෙන් ඇසුවා ය. මේ වේදණාවෙන් ඇයව නිදහස් කිරීමට මගේ හිස ගලවා ඉල්ලුව ද ඒ ගැන දෙවරක් නොසිතන තත්වයකට පත්ව සිටි මම වෙව්ලන හඩකින් “සීසර් කරමු” කියා කීවෙමි. 2 හෙදිය කලින්ම සූදානම් කරගෙන තිබූ අවසර පත්‍රයක් අත්සන් කිරීම සදහා වහාම මා වෙත ලබා දුන්නා ය. බිරින්දෑව ලහි ලහියේ ශල්‍යාගාරය වෙත යැවිනි. මට ද ඊට ඇතුලු වීමට ඉඩ ලැබිනි. 8.20ට පමන අකියාගේ තියුණු කට හඩ ශල්‍යාගාරය පුරා රැව් දුනි. මම බිම ඇද වැටී වැළපෙන්නට වීමි. “අපරාදෙ… ළගටම ඇවිත් හිටියෙ. තව විනාඩි පහක් හිටිය නම් නෝමල්ම හම්බෙන්න තිබුනා” සැත්කම සදහා සම්භන්ධ වූ ළමා රෝග විශේෂඥවරිය කීවා ය. සූතිතාගාරයේ සිටි වෛද්‍යවරිය ඈ දෙස රවා බැලුවා ය.

දරුවාට කිරි දිය යුතු ආකාරය පිළිබදවවත් නිසි ආකාර දැණුවත් කිරීමක් රෝහලෙන් නොලද්දෙමු. එනමුදු රෝහල් බිල වේලාවටම ලද්දෙමු. සූතිකාගාරයේ කටයුතු සදහා වෙනම බිලකි. ශල්‍යාගාරයට තවත් බිලකි. අවසානයේ මගෙන් දරුවන් දෙදෙනෙකු වදන මුදලක් අය කර ගෙන ය. මුදලට වඩා චිත්තප්‍රීතිය ප්‍රභල හෙයින් මුවින් නොබැන කිරි කැටියා ද තුරුළු කොට ගෙන රෝහලෙන් පිටවීමු.

වසර දෙකහමාරකට පසු අපහසුවෙන් වචන ගලපා මේ ටික ලියන්නේ Lanka Hospitals වැනි පෞද්ගලික රෝහල් සංවේදී මනුෂ්‍ය හැගීම් සමග සෙල්ලම් කරන අකාරය පැහැදිලි කිරීමට ය. සෞඛ්‍ය සේවාවට අනෙකුත් සියලුම සේවාවන්ට වඩා වැදගත් තැනක් හිමි වන්නේ එය මිනිස් ජීවිත වලට ඍජුවම බලපාන නිසා ය. වෛද්‍යවරුන්ට ද අනෙකුත් වෘත්තිකයන්ට වඩා සුවිශේෂී සමාජ තත්ත්වයක් හිමිව ඇත්තේ එහෙයිනි. දුම්රිය විනාඩි පහක් ප්‍රමාද වූ විට උද්ඝෝෂණය කරන මිනිසුන්ම රෝහල් වල සිදුවන හිංසනයන් ඉදිරියේ කර බාගෙන සිටින්නේ ද ඒ හේතුවෙනි. එහෙත් රාජ්‍ය සහ පෞද්ගලික යන සමස්ත සෞඛ්‍ය සේවා පද්ධතියම සිය වැදගත්කම සීග්‍රයෙන් බාල්දු කර ගනිමින් සිටියි. තත්ත්වය මේ අයුරින් ම පැවතුනහොත් මේ සමස්ත පද්ධතියටම එරෙහිව මහ ජනයා ගල් මුල් අතට ගන්නා දිනය වැඩි ඈතක නොවේ.


කසුන් චන්ද්‍රනාත් පතිරණ

Advertisements
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button