කලා

අපව නැවත නැවතත් පාරන අජන්තා රණසිංහ

අජන්තා රණසිංහයන් මා මුල් වරට දෑසින් දකින්නේ පංසල ඉස්සරහ සිනේසිටි දර්ශන සිනමා හලේ පැවති දානමය පිංකමක දී ය. ඒ සඳහා සුනිල් ආරියරත්නයන් ද සහභාගී වී තිබින. ඒ බුද්ධි කීර්තිසේන මහත්මයාගේ හිතවත් කමට විය හැකිය. එදින අජන්තා රණසිංහ මට ද වැඳ අටපිරිකරයක් හා මුදල් කවරයක් පූජා කලා අද වාගේ මතකය. එහා පැත්තේ හිටිය හිමිවරුන් හා මම කියා සිටියේ මේ අර සිංදුව ලියපු කෙනා කියාය. ඒ වන විටත් අජන්තාවන් ලියූ ගී රැසක් මතකයේ රැදී තිබින.

එකළ අප ඉතා කුඩා හිමිවරුන් බැවින් අජන්තාවන් සමඟ කතා කිරීමට මඟක් නොතිබින. ඉන් පසු කීප විඩකදීම අජන්තාවන් දර්ශන සිනමාහලේ පැවති දාන කිහිපයකටම පැමිණ සිටී ය. මට අජන්තාවන් දැකීම සුජාතාව කිරිපිඬු පිදීමට ඇසතු රුක මුලට ගිය කල බුද්ධත්වය ලැබූ බෝසතුන් වැඩ හිටියා හා සමාන හැඟීමක් ඇති කල අයෙකි. වසර කිහිපයකට පසු ඒ සිනමා හලේම පැවැති දානමය පිංකමකට ගිය අවස්ථවේ අජන්තාවන්ට පිං දීම සිදු කෙ⁣රින. ඒ අජන්තාවන් මළ දවසේමය.

අජන්තාවන් මට මතකයට නැගෙන්නේ උරේෂා රවිහාරී කුඩා කළ ගායනය කළ උන්නා එක ගංඟාවක” ගීතය හරහාය. එය ලියන්නේ අජන්තාවන්ය. එකල මා නිතරම අසන ගීයකි එය. අපට සෙල් ෆෝන්ස් හෝ ගී ඇසීමට සුදුසු උපකරණයක් එකළ නොමැති නිසා ලොකු අයට කරදර කර ඩේට කාඩ් දමාගෙන ඒ ගීය ඩව්ලෝඩ් කර අසයි.

පසුව මා ජංගමයක් මුල් වරට ගත් පසු ⁣අජන්තා ලියූ ගී රාශියක් බාගත කොට ඇසූයේ මටත් දැන් සිංදු අහන්න ෆෝන් එකක් තියෙනවා යන උදානයෙනි. මා ඒ ගීත අසද්දී අනික් අයගේ උසුළු විසූළුවලටද ලක් වූ බව සිහිවෙන්නේ අදටද සිතට ප්‍රීතියක් එක් කරමිනි.

නැවත ඊයෙ රාත්‍රියේ මට අජන්තාවන් සිහි වේ. ඒ දෙරණ ඩ්‍රීම්ස්ටාර් හි ධනන්ජය සේනානයක නැමැති තරුණයා විසින් “රත්තං පෙම් පුරාණේ ” ගීය ගයද්දීය. එහි මුල් ගායනය H. R ජෝතිපාලයන්ය.

අජන්තාවන්ට ඇත්තේ සුළු පටු ගී ලිවීමේ හැකියාවක් නම් නොවේ. ඔහු රසික හදවත මන්මත් කරන සුලු භාෂා භාවිතයක උරුමක්කාරයෙකි.

රත්තරන් පෙම් පුරාණේහී සිතුවම් මකා
යන්න මගේ අන්ධ නෙත් තාම නොපෙනේ ළඳේ
මට ඔබේ කුරිරු පිටුපෑම නොපෙනෙන්න නම්
දිළිඳු මේ අන්ධ නෙත් වාසනාවන් ළඳේ

රත්තරන් පෙම් පුරාණේහී සිතුවම් මකා
යන්න මගේ අන්ධ නෙත් තාම නොපෙනේ ළඳේ

ලොවක හිරු එළිය සඳ පහන දැන ගන්න හෝ
උරුම පින් මහිම නැති මා වාගේ අන්ධයෝ

කිමද නෙතු දිලෙන අඟනුන්ට බැන්දේ සෙනේ
ඔබ නොවේ ළඳුනි මා අතිනි වරදක් උනේ
ලොව පෙනී ඔබ ද ලොව අඳුරු මට පෙම් බැඳී
උන්නු ඒ යුගය අවසන් ද මගේ ලොව බිඳී

රත්තරන් පෙම් පුරාණේහී සිතුවම් මකා
යන්න මගේ අන්ධ නෙත් තාම නොපෙනේ ළඳේ

තේජ අසමාන බලධාරි දෙවියන් පවා
දෑස නැති උන් රකින්නේ ද සැනසුම් දෙවා

දෑස ඇති අයට පමණක් ද උරුමේ සෙනේ
ළඳුනි ආදරය අඳ අපට නැතිදෝ අනේ
ලොව පෙනී ඔබ ද ලොව අඳුරු මට පෙම් බැඳී
උන්නු ඒ යුගය අවසන් ද මගේ ලොව බිඳී

හිංදි තනුවකට ගැයෙන මේ ගීය හදවත තුළ සියුම් තැන් ඇහැරවන්නේ පෙර ආත්මයේ හෝ ප්‍රේමයක පරාජිතයෙකු වී සිටිය නිසා ද? එසේ නැතිනම් අජන්තාවන්ගේ රචනාවෙහි ඇති දක්ෂ බවද?

නොපෙනෙන් දෑ පිටුපස යාමකට වඩා පෙනෙන අජන්තාවන් බදාගැනීම ම ප්‍රීතියකි.


ගුරුගොඩ සිරිවිමල හිමි

Advertisements
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button