කලා

විජේවීර යලි එසේ ඉපදුණි….

මිනිස්සු ඉපදෙති. මියෙති. ඒ හැර ඔවුන් ගත කල ජීවිතය ගැන අබමල් රොණක හෝ මතකයක් තබා ගැනීමට අපට උවමනා නම් එක්කෝ ඒ ඉතා හොඳ මනුස්සයෙක් විය යුතුය. එහෙමත් නැත්නම් ඒ ඉතා නරක මනුස්සයෙක් විය යුතුය. රෝහණ විජේවීර ගැන ඔබේ කියවීම ඒ දෙකෙන් මොකක්දැයි මම නොදනිමි. එහෙත් ඔහු අමරණීය මිනිසෙකි. “ගින්නෙන් උපන් සීතල“නැරඹීමට මම ඔබට ආරාධනා කරන්නේ ඒ අමරණීය බව නිසාම නොවේ.

ජනවාරි 18, චිත්‍රපටය එලිදැක්වුණු දිනම නැරඹීමට ගියේ බොහෝ කලක සිට මේ සළරුව නැරඹීමේ දැඩි උවමනාවකින් මා පෙලුණු නිසාය. ඒ විජේවීර කෙරෙහි වූ ඇල්මක් නිසා නොව, සිනමාව කෙරෙහි මගේ වූ ඇල්ම නිසාමය. ඒ හැරුණුකොට සත්‍ය චරිත සහ සත්‍ය සිදුවීම් මූලික කොට තැනෙන සිනමාපට සහ ටෙලි මාලා සඳහා මගේ ඇති සුවිශේෂි කැමැත්ත මගේ මේ උවමනාවට හේතුවක් විය යුතුය.


සිනෙරුවේ ආරම්භය විශේෂ කොට සිහි කරමි. ආරම්භයේදීම ගීතයක් සමග දෙපැත්තේ සිනෙමා පටයට දායක වූවන්ගේ නම් වැටෙන සිංහල චිත්‍රපට දාහක් අස්සේ “ගින්නෙන් උපන් සීතල” විශේෂ සහ ඉතා සිත් ගන්නා සුළු ලෙස ආරම්භය සනිටුහන් කර තිබුණි. එය විදේශීය චිත්‍රපට සමග සසඳද්දී මහා ලොකු පිම්මක් නොවූවත්, සිංහල චිත්‍රපට සමග සසඳද්දී හොඳ නිර්මාණාත්මක ප්‍රවේශයකි.

චිත්‍රපටයේ එන කතාව ඉතා හොඳ ගලායෑමක් සහිතය. සිද්ධීන් එකිනෙකට සම්බන්ධ කිරීම ඉතා විශිෂ්ට බව කිව යුතුය. සත්‍ය කතා සිනමාවට නගද්දී ලංකාවේ සිනමාකරුවන්ගේ මා දකින ප්‍රධානතම අඩුපාඩුවනම් ඒවා වාර්තා චිත්‍රපට සේ සිද්ධියෙන් සිද්ධිය පෙන්වීමට දරන කලාතමක නොවන උත්සාහයයි. එවන් සිනමාකරුවන්ට “ගින්නෙන් උපන් සීතල” හරහා මනා උපදෙසක් ලැබෙන්නට ඇතැයි සිතමි.

චිත්‍රපටයේ චරිත හැසිරවීම ගැන කතා කරමු. කමල් විජේවීරගේ චරිතයට මනා සාධාරණයක් ඉශ්ට කරන බව කිව යුතුමය.විශේෂයෙන්ම වේදිකාවේ කතා කරද්දී කමල් ගේ හැඟීම් ප්‍රකාශනය සහ අංග චලනය විජේවීරව මා ඉදිරියේ මැවීමට සමත් විය. චිත්‍රාංගනී විජේවීර ලෙස රංගනයේ යෙදෙන සුලෝචනා වීරසිංහ විශිෂ්ට රංගනයක යෙදෙන්නේ එදවස කැරලිකරුවන්ට නායකත්වය දුන් නායකයන්ගේ බිරින්දෑවරුන් ගැන පැහැදිලි හරස් කඩක් විදහා පාමිනි. ඇය අපේ හැඟීම් මොලොක් කොට දේශපාලනික කෝණයෙන් එහා මානුශීය කෝණයෙන් චිත්‍රපටය දෙස බලන්නට අප පොළඹවයි. සෙසු චරිත සියල්ලම සිය රංගන කාර්යය නිසි ලෙස ඉටු කොට තිබුණු නිසා රංගනයේ හිඩැස් නොමැති සිනමා පටයක් බොහෝ කලකට පසු සිංහල සිනමාවෙන් බලන්නට ලැබුණි. එය සිනමාවේ අනාගතය ගැන ඉතා සුභවාදී ලකුණකි.

චිත්‍රපටයේ තිර රචනය විජේවීර දෙස ඉතා මානුශීය කෝණයෙන් බලා තිබුණි. සාමාන්‍යයෙන් චරිතයක් ඇසුරෙන් කලා කෘතියක් නිමවද්දී ඒ චරිතයේ තීරණ දෙස වඩා සාධාරණ කෝණයෙන් බැලීම කලාකරුවන්ගේ සිරිතය. එහෙත් මෙම සිනෙමාපටයේදී විජේවීරගේ ජීවිතයේ කුඩා කුඩා හිස් තැන්ද අපට හමු වේ. එය සුවිශේෂී කරුණක් ලෙස දුටිමි. ජවිපෙ විසින් ගත් සමහර තීරණ සුද්ධ කරන්නට චිත්‍රපටයේ තැන් තැන් වලදී ගත් උත්සාහයන් නම් චිත්‍රපටයේ ජීව ගුණයට බාධා කල බව හැඟිණි. සමහරක් එවැනි දර්ශන බලෙන් ඔබ්බවා ඇතුවාක් මෙන් දැනුණි. ඒ හැරුණු කොට එය ත්‍රාසය, භීතිය, කුතුහලය, ආදරය, දේශපාලනය, මානුශීයත්වය ආදී හිතේ හෑම නිලයක්ම අල්ලන සිනමා පටයක් බව නැවත නැවතත් කියමි.

සංගීතය අගනේය. අපට නොදැනීම සංගීතය අපව ලොකු ගමනක් රැගෙන ආ බව වැටහුණේ සිනමා පටය අවසන් වූවාට පසුවය. කැමරාකරණයද ඉතා ධනාත්මක බව කිව යුතුය. සංගීතය නදීක ගුරුගේගෙනි. කැමරාකරණය ධනුශ්ක ගුණතිලකගෙනි.

චිත්‍රපටයේ කාලය සමග සමහර ඇඳුම් විලාසිතා නොගැලපුණි. එසේම රැස්වීම් වලට ආ මහා පිරිස් වල විලාසිතා ගැනත් පොඩ්ඩක් බැලුවානම් මේ උත්සාහය මීට වඩා අගය කල හැකිව තිබුණි. ඒ වගේම බොහෝ දර්ශන වලදී දකින්නට ලැබුණු අලුත් ඇඳුම් කතාවේ තාත්වික බව මගෙන් මදකට ඈත් කලේය. එවැනි දේ සෘජුව ඇහැට අසුනොවුනද එවැනි හිස්තැන් පවා අධ්‍යක්ශකවරයාට පිරවිය හැකිනම් චිත්‍රපටය එහි කතාවට ඉශ්ට කරන සාධාරණය මීට වඩා ඉහළ වේ. චිත්‍රපටයේ අවසානය ගැන මගේ ඇත්තේ අඩු පැහැදීමකි. අවසාන දර්ශන කිහිපයද ඔහේ ගලා යන්නට අධ්‍යක්ශකවරයා ඉඩ දී ඇත. පිටපත සහ ඊට සරිලම සංගීතයෙන්, කැමරා භාවිතයෙන් සළරුවේ අවසානය මීට වඩා ඉහළ තැනකට ගෙනියන්නට තිබුණු බව මගේ අදහසයි.

මේ සුළු සුළු වැරදි පසෙක තැබුවහොත්, “ගින්නෙන් උපන් සීතල” යනු නැරඹිය යුතු ගණයේ සළරුවකි. මම සිනමා ශාලාවෙන් පිටතට පැමිණියේ” මෙය තවත් වරක් බැලිය යුතුමය” යන අදහසිනි. එක් වරක් බැලුවහොත් ඔබ ද බොහෝ විට එසේ සිතීමට ඉඩ ඇත. මේ මායාව වෙනුවෙන් අප තුති පිදිය යුතු වන්නේ අනුරුද්ධ ජයසිංහ නම් තරුණ සිනමාවේදියාටය. ඔහු ඔහුගේ හැකියාව සිනමා බිම මත මනාව විදහා තිබේ.

ඉතින් යන්න. බලන්න.

“ගින්නෙන් උපන් සීතල” ඔබව සැබෑ විජේවීරගේ ජීවිතයේ සහ දේශපාලනය, සිනමාලෝලී සාක්ශි කරුවන් බවට පත් කරනු නොඅනුමානය.


මහේල හෙට්ටිආරච්චි

ජනයුගය වෙබ් මාධ්‍ය ජාලයේ
SL Review සහෝදර වෙබ් අඩවියේ
නිර්මාණ රස වින්දන ලේඛක

Advertisements
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button