ක්‍රීඩා

“ක්‍රීඩකයන් දාන්න මටත් අල්ලස් දෙන්න හැදුවා”

- ක්‍රීඩා ඇමති (BBC ඇසුරින්)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් ඇතුළත් කිරීම සඳහා තමන්ට අල්ලස් දීමට තැත්කළ අය පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කළ බව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු පවසයි.

බ්‍රහස්පතින්දා (ජනවාරි 17) අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, බීබීසි සිංහල සේවය සමග ෆේස්බුක් සජීව සංවාදයකට එක්වෙමිනි.

“මටත් අල්ලස් දෙන්න කතා කරලා තියෙනවා ක්‍රීඩකයෝ කණ්ඩායම්වලට ඇතුළත් කරන්න කියලා, මම මේක මේ වෙනකොටත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට කියලා තියෙනවා,” අමාත්‍යවරයා කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යවරයාට ම අල්ලස් දීමට පුද්ගලයන් උත්සහ කිරීම, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පත්ව ඇති දූෂිත තත්ත්වයේ බරපතළකම පෙන්නුම් කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

“මේක මම ඊයේ (ජනවාරි 16) දිනයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානියාට ලබා දුන්නා, එතුමා ඔළුවේ අත තියා ගත්තා.”

“මමත් ඔළුවේ අත තියාගත්තා මේක මට ආපු වෙලාවේ, මම හිතුවා මේක මට ආපු ලණුවක් ද කියලා මාව අල්ලගන්න, මම හිතන්නේ නැහැ මේවා ලංකා ඉතිහාසයේ කවදාවත් වුණ දේවල් කියලා,” අමාත්‍යවරයා කියා සිටියේය.

 

ක්‍රිකට් නිලවරණය


ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ක්‍රිකට් අතුරු කමිටු පත්කිරීමට දැක් වූ අකැමත්ත හමුවේ, හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම යටතේ ක්‍රිකට් අතුරු කමිටුවක් පිහිටුවීමේ තම අදහස වෙනස් කිරීමට සිදු වූ බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

“ක්‍රිකට් නිලවරණය තියෙනවා, ඒකට උඩින් ක්‍රිකට් ව්‍යවස්ථා කමිටුවක් අපි දානවා. ඒක පාර්ලිමේන්තුවේ පනතක් හැටියට සම්මත කරගන්නවා. ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කරන්න.”

මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර වැනි හිටපු නායකයන් දිගින් දිගට ම පෙන්වා දුන් පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කිරීම, තම අරමුණ බව අමාත්‍යවරයා කියා සිටියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පෙබරවාරි මස 21 වන දින පවත්වන බව ක්‍රීඩා අමාත්‍යාංශය බ්‍රහස්පතින්දා නිවේදනය කර තිබිණි.

 

ලසිත් මාලිංග දිගට ම නායකත්වයේ


ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් අතර ඇතිව තිබෙන ගැටලු පිළිබඳව නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා පැවසුවේ, කණ්ඩායමේ නායකයාට ගරු කර ඔහුත් සමග එකට ක්‍රීඩා කිරීම සියලු ක්‍රීඩකයන්ගේ යුතුකම බවය.

ඔස්ට්‍රේලියානු සංචාරය අතරතුර රොෂාන් මහානාම වැනි ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් සමග ශ්‍රී ලංකා කණ්ඩායම හමුවීමට තමන් බලාපොරොත්තු වන බව ද ඔහු බීබීසී සිංහල සේවය සමග කියා සිටියේය.

ලසිත් මාලිංග ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය දරනු ඇති බව තේරීම් කමිටුව තමන්ට දැන්වූ බව, කණ්ඩායමේ නායකයන් වරින් වර වෙනස් වීම පිළිබඳව බීබීසී සිංහල සේවය නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button