දේශීය

‘පිරිමි දරුවන් 20%ක් ගැහැනු දරුවන් 10%ක් ලිංගික හිංසනයට ලක්වෙලා’

‘පිරිමි දරුවන් 20%ක් ගැහැනු දරුවන් 10%ක් ලිංගික හිංසනයට ලක්වෙලා’

පිරිමි දරුවන්ගෙන් සියයට 20ක් සහ ගැහැනු දරුවන්ගෙන් සියයට 10ක් ලිංගික හිංසනයන්ට ලක්වන බවට සමීක්ෂණ වාර්තාවලින් අනාවරණය වී ඇතැයි ළමා ආරක්ෂණ අධිකාරියේ හිටපු සභාපති මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා මහතා පවසයි.

වයස අවුරුදු 18ට අඩු දරුවන්ට සිදු වන හිංසන ළමා අපයෝජන ලෙස හඳුන්වන බවත් 2015 වසරේ දී අපයෝජන අතරින් වැඩිම අපයෝජන ලෙස ලිංගික අපයෝජන වාර්තා වී ඇති අතර, එය සංඛ්‍යාත්මකව 1582ක් බවත් කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය අස්විනි ප්‍රනාන්දු මහත්මිය පැවැසුවාය.

ලිංගික අපයෝජන අතරින් වැඩිපුරම වාර්තා වනුයේ පිරිමි දරුවන්ට සිදු වන ලිංගික අපයෝජන බවත් වාර්තා වන අපයෝජන අතරින් දන්නා හඳුනන අයගෙන් සිදු වන අපයෝජන ප්‍රතිශතයක් ලෙස සියයට 96ක් බවත් ඇය අවධාරණය කළාය.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහත්මිය මේ බව පසුගිය දා ප්‍රකාශ කළාය.

දරුවන් සමඟ මව නොමැති වීම, මවුපියන් අතර දික්කසාදය, මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ පියවරු සිටීම යනාදී කාරණා හේතුවෙන් දරුවන් අපයෝජනවලට ලක්වන්නේ යැයි ද, මවුපියන් සමඟ ජීවත් වනුයේ මෙරට දරුවන්ගෙන් සියයට 51ක් පමණක් යැයි ද ඇය පැවැසුවාය.

දරුවාගේ නිවෙසේ දී, අසල්වැසි නිවෙසක දී, පාසලේ දී යනාදී ලෙස දරුවාට ඉතා සමීප ස්ථානයකදී දරුවා අපයෝජනයට ලක් වන බව සමීක්ෂණ වාර්තාවලින් හෙළි වී ඇති බවත් අපයෝජනයට ලක් වූ දරුවන් මනෝ පුනරුත්ථාපනයට ලක් කිරීමෙන් යහපත් ප්‍රතිඵල ඔවුන්ගෙන් ලබා ගත හැකි බවත් ඒ මහත්මිය කීවාය.

ගර්භිණී සමයේ සිටම දරුවන් අපයෝජනයට ලක් වන බව ද ගෘහස්ත හිංසනය නිසා ගැබිනි සමයේ දරුවන් හිංසනයට ලක් වන බවට සොයා ගෙන ඇති බව ද ඇය පැවැසීය.

ගැබිනි සමයේ දරුවන් හිංසනයට ලක්වීම හේතුවෙන් දරුවන්ගේ කායික හා මානසික වර්ධනය හීන වන බවත් ළමා කාලයේ සිටම දරුවන්ගේ හැසිරීමේ ගැටලු මේ හේතුව නිසා මතු වන බවත් ඒ මහත්මිය පැවැසුවාය.

ළමා හිංසනය නිසා අමෙරිකාවේ දරුවන් වසරකට 2000ක් ද, එංගලන්තයේ දරුවන් 400ක් ද මරණයට ලක් වන බවට වාර්තා වී ඇතැයි ද ඒ මහත්මිය පැවැසුවාය.

මේ අවස්ථාවට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි මහාචාර්ය අනුලා විජේසුන්දර, ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි නීතිඥ සුජාතා කුලතුංග මහත්වරු ද සහභාගි වූහ.


උපුටා ගැනීම – දිනමිණ පුවත්පතින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button