විශේෂාංග

අල්ට්‍රා තරංග යවලා උගුරේ පිළිකාව ඉවත්කළ හෝමාගම රෝහලේ දොස්තර දෙවිවරු

සැත්කම් යන්න බොහෝ දෙනා සිතනුයේ ශරීරයේ බාහිරින් කැපුමක් කොට ශරීර අභ්‍යන්තරය විවර කොට සිදු කරන දෙයක් යන්නය. නමුත් අද වෛද්‍ය විද්‍යාව බොහෝ දියුණුය. ශරීර අභ්‍යන්තරය බාහිරින් විවර නොකොටම සැත්කම් සිදු කළ හැකිය.

නවීන තාක්‍ෂණය හා ශල්‍ය වෛද්‍ය විද්‍යාව එකට බද්ධ කරමින් ලංකාවේ ප්‍රථම වරට අල්ට්‍රා සොනික් තාක්‍ෂණයෙන් උගුර අභ්‍යන්තරයේ ශල්‍යකර්මයක් සිදු කෙරිණි. එය බාහිරින් කිසිදු කැපීමක් සිදු නොකොට උගුර අභ්‍යන්තරයේ ඇති ගෙඩියක් ඉවත් කිරීමට අල්ට්‍රා සොනික් තාක්‍ෂණය යොදා ගැනුණු ප්‍රථම අවස්ථාව ලෙස මෙරට වෛද්‍ය ඉතිහාසය තුළ ලියැවී අවසානය.

සැත්කම සිදු කෙරුණේ උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රිස්නි සකාෆ් මහතාගේ අතිනි. ඇමෙරිකාව, එංගලන්තය වැනි රටවල මේ ක්‍රමය බහුල ලෙස භාවිත කෙරුණද මේ ශල්‍ය වෛද්‍ය ක්‍රමවේදය මෙරට භාවිත කෙරෙනුයේ පළමු වරටය. මේ පිළිබඳව තතු දැන සිටි කිහිප දෙනකුම මවිතයට පත් කරමින් තමන් බටහිර රටකදී උගත් දේ සාර්ථකව මෙරටදී අත්හදා බැලූ වෛද්‍ය රිස්නි ඒ පිළිබඳ පසුවනුයේ නිහතමානී සතුටකිනි.

වැඩිදුර වෛද්‍ය අධ්‍යාපනය සඳහා එංගලන්තය බලා පිටත්ව ගිය වෛද්‍ය රිස්නි නැවත මෙරට වෛද්‍යවරයකු ලෙස සේවයට පත් වනුයේ 2017 වර්ෂයේ පුනි මාසයේදීය. ඒ විශේෂඥ වෛද්‍යවරයකු ලෙසය. එතැන් සිට අවස්ථා කිහිපයකදීම විශේෂඥ වෛද්‍ය රිස්නි තමා උගත් දේ තුළින් මෙරට වෛද්‍ය ඉතිහාසයේ වාර්තා පොත් අලුතින් ලිවීම ඇරැඹිනි.

කුලියාපිටිය රෝහලේදී අවම රුධිර වහනයකින් හා වේදනාවකින් තොරව සිදුකළ ‘Coblation Surgery’නම් ශල්‍යකර්මය අති සාර්ථකව ප්‍රථම වර මෙරටදී සිදු කිරීමේ ගෞරවය හිමි වනුයේ විශේෂඥ වෛද්‍ය රිස්නි සකාෆ්ටය. ඉන්පසුව වෛද්‍ය සකාෆ් අතගැසුවේ තවත් වාර්තාවකටය. ස්වර තන්තු ආශ්‍රිතව අසාමාන්‍යයෙන් ඇති වන රුධිර නාල වර්ධනය ඉවත් කිරීම වෙනුවෙන් මෙරටදී කළ පළමු සැත්කම සිදු කෙරුණේ වෛද්‍ය සකාෆ්ගේ දෑතිනි. 3D තාක්‍ෂණය හරහා මෙරටදී උගුරේ සිදු කළ පළමු සැත්කම පිළිබඳව තතු ලියැවෙනුයේද වෛද්‍ය සකාෆ්ගේ නම ඉදිරියෙනි.

මෙරට වෛද්‍ය ඉතිහාසය තුළ මින් පෙර සිදු නොවූ නවීන තාක්‍ෂණය හා මුසු වූ තමන් උගත් ශල්‍ය වෛද්‍ය ක්‍රම හරහා රෝගීන් සුවපත් කරලීමට වෛද්‍ය රිස්නි සකාෆ් දක්වනුයේ මහත් අභිරුචියකි.

‘මම එංගලන්තයේ ඉන්න කාලයේදී මේ ගැන ඉගෙන ගත්තා. ලංකාවට ඇවිත් මේ ක්‍රමය අත්හදා බලන්න මම ආසාවෙන් හිටියේ. මම එංගලන්තේදී මෙවැනි සැත්කම් සිදු කළා. 2017දී මම ලංකාවට ආවට පස්සේ දැන් තමයි මට එහෙදි කළ සැත්කම ආයෙත් කරන්න අවස්ථාව ලැබුණේ.’

වෛද්‍ය රිස්නි හඬ අවදි කළේ ඒ අයුරිනි. සැත්කම සිදු කෙරුණේ ප්‍රධාන පෙළේ රෝහලකදී නම් නොවේ. හෝමාගම මූලික රෝහලේදීය. එය අතිශයින් අභියෝගාත්මකය.

‘මේක හරියට අතුරේ යනවා වගේ වැඩක් වුණා.’
වෛද්‍යවරයා සිනාසෙයි.

‘ඇත්තටම අභියෝගයක්. මේ ක්‍රමය ලංකාවට අලුත් නිසා මම දැනගෙන හිටියා ප්‍රශ්න ඇති වෙයි කියලා. හැමදේම අලුත් වුණත් මැෂින් එක මට අලුත් නැහැ.

‘සැත්කම කරන්න කලින් මම ඒ අල්ට්‍රා සොනික් ස්කෑන් මැෂින් එක ලංකාවට ගෙන්වන සමාගමත් එක්ක කතා කළා. මගේ අවශ්‍යතාව ඔවුන්ට කිව්වාම ඇත්තටම ඒ අයත් පුදුම වුණා. ඒ සමාගමවත් දැනන් හිටියේ නැහැ මේ මැෂින් එකෙන් උගුර ඇතුළේ සැත්කම් කරන්න පුළුවන් කියලා. පස්සේ මට සිද්ධ වුණා මේ සැත්කම සිදු කෙරෙන ආකාරය ගැන ඔවුන්ට පැහැදිලි කිරීමක් සිද්ධ කරන්න. ඒ අය අන්තර්ජාලයේ මේ ගැන කරුණු හොයලා තිබුණා. ඉන් පස්සේ තමයි එයාලා මට අවශ්‍ය උපකරණ සපයන්න එකඟ වුණේ. අභියෝගය ඇරඹුණේ එතැන් සිටය. සැත්කමට අවශ්‍ය යන්ත්‍ර තිබුණද අත්‍යවශ්‍ය වූ එක් උපකරණයක් සොයා ගැනීමට නොහැකි වුනා.

මේ සැත්කමේදී රෝගියාගේ කට අරින්න විශේෂිත උපකරණයක් තියෙනවා. ඒක මම හැම තැනම වගේ හෙව්වා ලංකාවේ කොහෙන්වත් මට ඒ උපකරණය හොයා ගන්න බැරි වුණා. අන්තිමේදී අපිට සිද්ධ වුණා ඒ වෙනුවට වෙනත් උපකරණයක් යොදා ගන්න.

මේ වගේ සැත්කමකදී ලක්‍ෂ 80ක් 100ක් විතර වෙන උපකරණ සල්ලි දීලා අරන් දෙන්න කියලා අපිට රෝහලටවත් පළාත් සභාවටවත්, ආණ්ඩුවටත් කියන්න බැහැ. අපි උපකරණ හොයාගෙන ඒ දේ කරලා පෙන්නුවාම තමා අනෙක් අය දැන ගන්නේ. ඒ හින්දා මම අවශ්‍ය උපකරණ හොයා ගත්තා. එංගලන්තයේ ඉඳන් එද්දී මම මගේ පෞද්ගලික පරිහරණයට යම් යම් උපකරණ අරන් ආවා.

ඒත් මට කොහොම හරි අත්‍යවශ්‍යම වෙලා තිබුණු උපකරණය ගේන්න අමතක වුණා. අඩු තරමේ ඒක මට ලංකාවේදී හොයා ගන්නවත් බැරි වුණා.

වෛද්‍ය විද්‍යාවේ මූලධර්මයක් තමයි ඇඟේ කොතැනක හරි පිළිකාවක් තියෙනවා නම් ඒක මුලින් අයින් කරන එක. ඊට පස්සේ තමයි ඊළඟ පියවරට යොමු වෙන්නේ.

පිළිකාව පිහිටන්නේ ශරීරයේ පිටත නම් කපලා අයින් කරන්න පුළුවන්. බඩේ තියෙන පිළිකාවක් බඩ කපලා අයින් කළත් උගුරේ පිළිකාවක් එහෙම අයින් කරන්න අමාරුයි.

මෙච්චර කාලයක් සිද්ධ වුණේ උගුරේ පිළිකාවක් කියලා දැනගත්ත වහාම ප්‍රතිකාර සඳහා මහරගමට යොමු කරනවා. කීමෝ ප්‍රතිකාර ක්‍රමයේදී යොදා ගන්නේ එන්නත් මාර්ගයෙන් පිළිකාවක් විනාශ කිරීම. මේ ක්‍රමයේදී පිළිකාව වටේට ඖෂධ ගියත් එහි මැදට ගමන් කිරීමේ ඉඩකඩ අඩුයි.

රේඩියෝ තෙරපිවලින් පවා සිදු වන්නේ ඒ ආකාරයටම තමයි. පිටින් තියෙන පිළිකා කොටස් මැරුණත් මැද හරියේ පිළිකාව ඉතිරි වීමේ යම් අවදානමක් පවතිනවා. එහෙම ඉතිරි වුණොත් නැවතත් පිළිකාවක් හට ගන්න පුළුවන්. ඒ නිසා තමයි සැත්කමක් මාර්ගයෙන් පිළිකාව ඉවත් කරලා ප්‍රතිකාර සඳහා යොමු කරන්නේ.

මේ සැත්කමේදී අපි යොදා ගන්නේ අල්ට්‍රා සොනික් තාක්‍ෂණය. ශබ්ද තරංග කිසි ලෙසකින්වත් ශරීරයට හානිදායක නැහැ. මතු විපාක ඇති කරන්නෙත් නැහැ. ENT වලට යොදා ගත්ත පළමු වැනි අවස්ථාව තමයි මේක. මීට කලින් ලංකාවේ කවුරුත් මේ ක්‍රමය පාවිච්චි කරලා තිබුණේ නැහැ. ඒ හින්දම මේක අභියෝගයක්. හැමකෙනාම මේ කාර්යයට අලුත්. ඒත් මට තිබුණු එකම ධෛර්යය වුණේ මේ සඳහා භාවිත කරන යන්ත්‍ර මට නුහුරු දේවල් නොවීම. මේ යන්ත්‍ර මගේ අතට හුරුයි. මැෂින් එක හසුරුවා ගැනීමේ හැකියාව මා සතුයි කියලා මම දැනන් හිටියා.

මට ගැටලුවකට තිබුණේ කාර්ය මණ්ඩලය. සාමාන්‍යයෙන් එංගලන්තයේදී මේ වගේ සැත්කමකට ගත වෙන්නේ පැය එකහමාරක් විතර කාලයක්. නමුත් මේ සැත්කමට මට පැය තුනහමාරක් විතර කාලයක් ගත වුණා.

සාමාන්‍ය සැත්කමකදී මම ඊළඟට මොනවද කරන්නේ කියලා මගෙත් එක්ක ඉන්න අය දන්නවා. මට අවශ්‍ය උපකරණ ඉල්ලන්නත් අවශ්‍ය නැහැ. මම අත් දික් කළාම ඒ අය දන්නවා මම මොනවද ඉල්ලන්නේ කියලා. මෙතැනදී ඒ දේ කරන්න බැහැ. මේ හැම කෙනාම මේ දේට අලුත්. මගේ සහායට හිටිය වෛද්‍යවරයා මේ කැමරා එකක් ජීවිතේට අතින් අල්ලලාවත් නැහැ.

කැමරා එක නුහුරු කෙනෙක් අල්ලද්දී හෙළවෙන්න පුළුවන්. මමත් මුලින්ම කපන්න නොවේ ඉගෙන ගත්තේ. ඒ සැත්කමට අවශ්‍ය සහාය දෙන්නයි ඉගෙන ගත්තේ. මම ඉගෙන ගත්ත දේවල් කැමරාව හසුරුවන විදිය මේ අයටත් කියලා දෙන්න වුණා. සමහර තැන් තිබුණා මට වෙනස් කර කර බලන්න ඕනේ වුණු. ඒ තැන්වලදී මම කැමරා එක මගේ වම් අතින් හසුරවමින් දකුණු අතින් තමා සැත්කම සිදු කළේ. මගේ සහායක ඇතුළු පිරිසට මේ දේවල් පුරුදු නැති වුණත් කියලා දුන්න විදියටම හොඳටම කළා.

ශල්‍යාගාරය සකස් කරගන්න තමයි මට කාලය ගත වුණේ. මේ ක්‍රමයේදී මගේ සහායකයෝ සිටිය යුතු පිළිවෙළ වගේම ස්කෑන් යන්ත්‍රය, සැත්කම කරන යන්ත්‍රය තබා ගත යුතු ස්ථාන තිබුණා. ඔය ටික හදාගන්න විනාඩි 30ක් විතර වගේ ගියා.

පළමු සැත්කම සාර්ථකයි. එහි දෙවැනි පියවරට දැනටමත් අත ගසා අවසන්ය. ඒ පිළිබඳ වෛද්‍යවරයාද පසුවනුයේ මහත් බලාපොරොත්තුවකිනි.

‘මේ සැත්කම ඉවර වුණාට පස්සේ අපි රෝගියාව ICU දැම්මේ නැහැ. කෙළින්ම වාට්ටුවට දැම්මේ. තව දවස් දෙක තුනකින් ඔහුට ගෙදර යන්න පුළුවන්. අපි පිළිකා ගෙඩියෙන් 90 – 95% අතර කොටසක් සාර්ථකව අල්ට්‍රා සොනික් තාක්‍ෂණය හරහා සිදු කළ සැත්කමේදී ඉවත් කළා. ඉතිරි කොටස ප්‍රතිකාර හරහා ඉතා ඉක්මනින් ඉවත් කරන්න ඉදිරියේදී කටයුතු කරනවා.

‘උගුරේ ගෙඩියක් සහිත තවත් රෝගියෙක් මීට ටික දිනකට පෙර මට හමුවුණා. ඒ රෝගියාගේ සැත්කමත් මේ ආකාරයටම කරන්න බලාපොරොත්තු වෙනවා. මගේ කාර්ය මණ්ඩලයට මේ කාර්යය යම් තරමකින් හුරු නිසා ඒ සැත්කම පැය තුනහමාරකටත් වඩා අඩු කාලයකින් කර ගන්න පුළුවන් වෙයි. ඒ ගෙඩිය නම් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමේ හැකියාව තියෙනවා.’

විශේෂඥ වෛද්‍ය රිස්නි සකාෆ් වෙත මේ රෝගියා පැමිණ තිබුණේ මින් සති තුනකට පමණ පෙරය.

කටහඬ වෙනස් වීම්, හුස්ම ගැනීමේ අපහසුතා, ආහාර ගිලීමේ අපහසුව ආදී වූ යම් යම් රෝග ලක්‍ෂණ කිහිපයකට ප්‍රතිකාර ගැනීමටය. නමුත් උගුර හරහා කැමරාවක් යොදා පරීක්‍ෂා කිරීමේදී හෙළි වී තිබුණේ උගුරේ ගෙඩියක් පවතින බවයි. රෝගියාගේ රෝග ඉතිහාසය හා චර්යා රටා අධ්‍යයනයේදී එය පිළිකාවක් යැයි වෛද්‍යවරයාට සැක පහළ වී තිබුණද එම පාර්ශ්වය එය පිළිගැනීමට මැළි වී තිබිණි. අවසානයේ කෙසේ හෝ එම ගෙඩියෙන් කොටසක් පරීක්‍ෂණයට භාජන කර එය පිළිකාවක් යැයි නිශ්චිතවම සනාථ කොට තිබූ නිසා එය ඉවත් කිරීමට ජනවාරි 05 වැනිදා දින නියම කෙරිණි. ඒ වන විටත් රෝගියා කටින් හුස්ම ගනිමින් සිටි නිසා එතරම් අවදානමක් තිබී නැත. ඒ අතරතුර සැත්කම සිදු කිරීමට අවශ්‍ය සියලු පරීක්‍ෂණ සහ ශල්‍යාගාරය සූදානම් කෙරිණි.

‘අපි මේ සැත්කම කරන්න ලෑස්ති වුණේ සෙනසුරාදා දවසක. හුඟක් අයගේ නිවාඩු දවස වුණත් මේ වගේ සැත්කමක් කරනවා කිව්වාම හැමෝම උනන්දුවෙන් වැඩ කළා. අපිට ඒ සති තුන ඇතුළත CT-Scan එකක් කර ගැනීමේ අවශ්‍යතාව මතු වුණා. ඒ කොයි තරම් දුරට මේ ගෙඩිය පැතිරිලාද කියන එක දැන ගන්න. අපේ රේඩියෝ ලොජ් අංශය එහෙට මෙහෙට කතා කරලා අපිට ඒ දේ දවස් පහක් හයක් ඇතුළත කරලා දුන්නා. හෝමාගම රෝහලේ ඛ්ඊ ස්කෑන් පහසුකම් නැහැ. අපිට පිටින් තමයි ඒ දේ කරගන්න සිද්ධ වුණේ. සාමාන්‍යයෙන් CT-Scan එකක් කරන්න හුඟක් කාලයක් බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. මේ වගේ සැත්කමක් කරනවා කියලා මම අපේ රෝහලේ වෛද්‍ය අධිකාරි සුභාෂිණී පඬුවාවල මහත්මියට මුලින්ම ලිපියක් හරහා දැනුවත් කළා. ඇය මේ ගැන හුඟක් සතුටු වුණා වගේම මට අවශ්‍ය දේවල් සපයන්න විශාල සහායක් ලබා දුන්නා.

හෝමාගම මූලික රෝහලේ නිර්වින්දන වෛද්‍යවරු, ශල්‍යාගාර කාර්ය මණ්ඩලය ඇතුළු නිලධාරීන් මේ ශල්‍යකර්මය සාර්ථක කරගන්න විශාල සහායක් ලබා දුන්නා. සැත්කම යෙදුණේ සෙනසුරාදාය. නමුත් සඳුදා රෝගියා නැවතත් රෝහල වෙත පැමිණ තිබුණේ හුස්ම ගැනීමේ අපහසුව නිසාය. වෛද්‍ය රිස්නි නැවතත් රෝගියා පරීක්‍ෂා කෙරුණේ මුඛය හරහා උගුරට යැවුණු කැමරාවක් මඟිනි. පිළිකා ගෙඩිය දින කිහිපයට තවත් විශාලව පැතිර තිබුණේ හුස්ම ගැනීමේ ඉඩද වසා ගනිමිනි. රෝගියාගේ හුස්ම ගැනීමේ පහසුව සැලසිය යුතුව තිබිණි. උගුරෙහි පිටතින් යෙදුණු කැපුමක් හරහා බටයක් සවිකොට රෝගියාට හුස්ම ගැනීමට ඉඩකඩ සලසා දී තිබේ.

‘ඒ බටේ දැම්මාම ලෙඩාට කතා කරන්න බැහැ. ඔපරේෂන් එක කළාට පස්සේ මම ඒ බටේ වහලා බැලුවා. කතා කරන්න පුළුවන් ඔහුට. තව දවස් කිහිපයකින් බටේ අයින් කරන්න පුළුවන්’

වයස අවුරුදු 60ක පමණ වූ මේ රෝගියාගේ අනන්‍යතාව හෙළි කිරීම සුදුසු නැතැයි අපි සිතමු. කෙසේ වෙතත් ට්‍රාන්ස් ඕරල් එන්ඩස්කොපි අල්ට්‍රා සොනික් තාක්‍ෂණය හරහා මෙරටදී උගුර ආශ්‍රිතව සිදු කළ පළමුවැනි ශල්‍යකර්මය සාර්ථකය.

අවශ්‍ය උපකරණ තිබුණොත් හුඟක් දේවල් කරන්න පුළුවන්. ලංකාව ඇතුළේ කරන්න බැරිකමක් නැහැ. මේ දේ කරන්න පුළුවන් කියලා ඒ සමාගම පවා දැනන් හිටියේ නැහැ. මගේ උනන්දුවෙන් හැමදේම කළේ. මට ඕනේ නම් අතඇරලා දාන්න වුණත් තිබුණා. කවුරුත් මේ ගැන දන්නේ නැහැනේ. මගේ කාර්ය මණ්ඩලය වුණත් මේ දේ කරන්න ආසාවෙන් හිටියේ.

මේ මොහොතේදීත් වෛද්‍යවරයා සිය දැනුම තව තවත් මුවහත් කර ගැනීමට වෙහෙසෙයි. හෙට උදාවන දවස තවත් සුබදායක වනු ඇත. රෝගී වූ ජීවිත සනහාලන මෙවන් ජීවකයන් රටට සම්පතකි. හෙට දිනේදීත් වෛද්‍ය රිස්නි සකාෆ්ගේ නමින් තව තවත් වාර්තාවන් ලියැවෙනු ඇත. ඒ ඔහු රටේ බදු මුදලින් උගෙන රටේ ණය ගෙවමින් සුවහසක් වූ රෝගී ජීවිත සනහා ලන්නට තම දැනුම නිරන්තරයෙන් කැප කරන නිසාවෙනි.

සවනි ශේශාධි
ඡායාරූප – වෙනුර චන්ද්‍රමාලිත

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි