දේශීය

“පැදුරේ සිටින අපට මැදුරේ සිටින ඔබට වඩා පොළව බොහෝ ළඟය…”

සමනලී ෆොන්සේකා

“ඊයේ දින අප විසින් දියත් කළ සාමකාමී මාධ්‍ය විරෝධය විකෘති කරමින් ජනතාව තව තවත් මුලාවේ දමමින් සිටිනා සිරස ටී.වී ආයතනයේ නින්දිත ක්‍රියාකලාපය අපි හෙලා දකිනවා. මේ මොහොතේ NGO කාරයින්, UNP කාරයින් ලෙස අප වෙත එල්ල කරන අභූත චෝදනා කිසිවක් සත්‍ය නොවන බව ඔවුන්ම දනී.

පසුගිය දිනෙක රනිල් විකමසිංහ විශ්වාස භංගය දිනූ දින සවස සිරසට එල්ල වූ ප්‍රහාරය පිළිබඳව නිවුස් ෆස්ට් වෙත වොයිස් කට් එකක් ලබා ගැනීමට ඔවුන් මට කළ ඉල්ලීම අනුව එදින රනිල් වික්‍රමසිංහට සහ UNP ට විරුද්ධව සිරස වෙනුවෙන් මා ලබාදුන් වොයිස් කට් එක නිව්ස් ෆස්ට් ප.ව 7.00 සහා ප.ව 10.00 ප්‍රවෘත්ති වල විකාශනය කෙරුණු මොහොතේ ඔවුන්ට මා UNP කාරියක් නොවුනේ කෙසේද? මාධ්‍ය නිදහස වෙනුවෙන් කතා කරමින් අප ඔවුන් හට ජයග්‍රහණය කර දෙන මේ නිදහස ඔවුන් පාවිච්චි කරන්නේ කුමක් සඳහාද යන කාරනාව ප්‍රශ්න කිරීමට අයිතියක් අපට ඇත.

සිරස සමඟ මට පෞද්ගලික ගනුදෙනුවක් හෝ පෞද්ගලික ආරෝවක් නැත. එබැවින් රටක ප්‍රවෘත්තියක් ලෙස කුරුණෑගලදී අපට සිදුවූ පහරදීම ප්‍රචාරය කිරීම සිරස මට කළ පෞද්ගලික උදව්වක් ලෙස ඔවුන් උලුප්පා දැක්වීම කෙතරම් ප්‍රාථමිකද? ඔවුන්ට අනුව එසේ කළ උදව් වෙනුවෙන් සිරස පවසන්නේ මම ඔවුන්ට කඩේ යා යුතු බවද? රටේ පුරවැසියෙකු ලෙස මා සතු අයිතිය ඔවුන් මෙතරම් කුඩා තැනකට ලඝු කරන්නේ කෙසේද?

මේ රටේ පුරවැසියන් ලෙස ඔවුන්ට ලබා දුන් බලපත්‍රයට අනුව ඔවුන් සතු අවකාශය ඔවුන් පාවිච්චි කරන ආකාරය පිළිබඳව ප්‍රශ්න කිරීමේ පරම අයිතියක් අප සතුව ඇත. මේ රටේ සාමාන්‍ය ජනතාවට සෘජුව කතා කළ හැකි ටී.වී නාලිකා ඒ ජනතාවගේ චින්තනය, ආකල්ප ඉදිරිගාමී යහපත් සමාජයක් වෙනුවෙන් පුලුල් කිරීම වෙනුවට පටු වාසි තකා අවරසිකත්වය, ජාතිවාදය, මිත්‍යාදෘශ්ඨිය වපුරමින් සමාජය එක තැන පල්කිරීමේ මේ ක්‍රියාවලිය විවේචනය කිරීමට, ප්‍රශ්න කිරීමට අපට ඇති අයිතිය තර්ජනාත්මක ලෙස පෞද්ගලික අපහාසයන් කරමින් උදුරාගැනීමට උත්සාහ කිරීම ඉතාම ජුගුප්සාජනකය.

අප සියලු මාධ්‍ය ආයතන වලට ගියේ ලිපියක් බාර දීමටය. කටවල් බැඳගෙන ගියේ මූණු පේනවාට බියට නොව, විරෝධතාවය සංකේතවත්ව පෙන්වීමටය. බියක් ඇත්නම් ඔතනට එන්නේ කුමටද? මීට වඩා බිය වෙය යුතු තැන් වල අප විරෝධතා පවත්වනවා සිරස දැක නැතිද? “සිරසට අත තබා පසුතැවිලි නොවන්න!!!” යැයි ඔවුන් තර්ජනය කරන්නේ අපගේ සියලු අයිතිවාසිකම් ඔවුන්ගේ අත්ල උඩ ඇත කියා සිතාගෙන නොවේද? මව්බිම මාධ්‍යවේදීන් “හූ…” කියාගත්තේ ඔවුන් කරමින් සිටින නිවට වහල් වෘත්තීයටම නොවේද?

අවසාන වශයෙන් කිව යුත්තේ… අපි, ටී.වී නාලිකා වලින් නිර්මාණය කරන ලද අහසින් වැටුණු ස්ටාර්ස්ලා නොවන්නෙමු. අපි මේ රටේ ආර්ථිකය, දේශපාලනය, සමාජය, කලාව හා හැප්පෙමින් නිර්මාණකරණයේ යෙදෙන සාමාන්‍ය නිර්මාණකරුවන් වන්නෙමු. එබැවින් ආදරණීය ‘සිරස’, පැදුරේ සිටින අපට මැදුරේ සිටින ඔබට වඩා පොළව බොහෝ ළඟය…!”


සමනලී ෆොන්සේකා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button