සමාජ

මේ රටේ ලිංගික හිරිහැර, හිංසා වෙන්නේ කොට ඇඳුම් අදින ගැහැනුන්ට නෙවෙයි

ලංකාවේ Youtube චැනල් එකක් කරන කෙනෙක් ලඟදි සමාජ සමීක්ෂණයක් කරපු වීඩියෝ එකක් ගිහින් තිබුණා. අලෙවිකරණයේදී content marketing ලෙස හඳුන්වන වෙළඳ ප්‍රචාරණයක් මෙතන වුණේ. කිසියම් ස්වභාවික සිද්ධියක දවාටලා කිසියම් භාණ්ඩයක සන්නාමය ප්‍රචලිත කිරීම.

මේ මොකද්ද කියල බලන්න මාත් මේ වීඩියෝ එක බැලුවා. මේක ලංකාවේ සත්‍ය තත්වය කියල හිතනවා නම් සොරි…. ලංකාවේ මේ විදිහට ඇඳුම් පැළඳුම් කරන ගැහැණු ළමයි ඉන්නවා නම් අතලොස්සක් තමා ඉන්නේ. ඒ වාහන වල යන, ඉහල සුපිරි තැන් වල ගැවසෙන ඉහල පැලැන්තියේ ගැහැණු. මේ විදිහට අඳින ඔවුන් උසුළු විසුළු සහ ලිංගික අතවර වලට ලක් වෙන්නේ නැහැ. නැත්නම් අඩුයි. මොකද දන්නවද මේ වගේ ඇඳුම් පැළඳුම් කිරීම ඒ සමාජයට අනුව මැජික් එකක් නෙවේ.

හැබැයි සෝචනීය කරුණ තමා දිනපතා ලංකාවේ ගෑනු වාචික සහ කායික ලිංගික හිංසනයට ලක් වෙනවා. ඒ කොටට විවෘත ඇඳුම් ඇඳගෙන පාරේ ගිහින් නෙවේ.

1) දරුවා කිහිල්ලේ ගහගෙන බඩු මල්ල අනික් අතින් අරගෙන බස් එකේ එල්ලෙන්න යද්දී එක්කෝ පස්ස, එක්කෝ පියයුරක් මිරිකනවා. ඒ ගෑනි ඇඳගෙන ඉන්නේ බාචු කලිසමකුයි ඇඟට ලොකු කුර්තාවකුයි.

2) මොන්ටිසොරියේ ඉන්න පොඩි එකා ඇරිලා අඬයි කියන බයට හයියෙන් දුවගෙන පාර පනිද්දී “මරු ගෙඩි දෙක”, “මරු ….ක…. කාවඩි නටන්න පුළුවන්” කියල ලඟින් යන මොටබයික් කාරයා කියාගෙන යනවා. ඒ ගෑනි ඇඳගෙන යන්නේ දිග සායකුයි වැලමිට ලඟට අත් දිග හැට්ටේකුයි. දරුවොයි, ගෙදර වැඩයි එක්ක අහක දාන බත් ටිකත් අපරාදේ කියල කාල ඕනෙවට වඩා මහත් වුන සාමාන්‍ය ගැහැණු අවයව නිසා තමා මෙහෙම ජරා කතාවක් අහන්නේ.

3) දවසම කාර්යාලයේ වෙහෙසිලා මාජින් එකේ තියන දියවැඩියා තත්වය පාලනය කරගන්න කියල දොස්තර කීව නිසා හවසට ලොකු ට්‍රැක් බොටමකුයි, සුදු ටී ෂර්ට් එකකුයි ඇඳගෙන පාරේ ඇවිදින පෙරේරා නෝනට ලොරි ඩ්‍රයිවර් කෙනෙක් “…දාමුද” කියාගෙන යනවා.

4) හවස ඔෆිස් එක ඇරිලා පුතාව ඩේ කෙයා එකෙන් අරගෙන ත්‍රී වීල් එකෙන් ගෙදර යන රජයේ කාර්යාල සේවිකාව ඇඳගෙන යන්නේ සාමාන්‍ය සාරියක්. එයාට පාරේ ඉන්න බිල්ඩින් හදන මිනිස්සු වගයක් ” සූ…සූ” ගානවා…” පිස්සු හැදිලා…ආයෙත් හැදෙනවා” කියල රංචුවම කන්න වගේ කෑදර බැලුම් හෙළනවා.

5) හවස වැඩ ඇරිලා යුනියන් කෙමිස්ට් එකෙන් තාත්තගේ බෙහෙත් තුණ්ඩුව අරගෙන ටවුන් හෝල් එකෙන් මහරට යන්න 154 බස් එකට ගොඩ වෙන ගැහැණු ළමයා ඇඳගෙන ඉන්නේ සාමාන්‍ය ඔෆිස් අඳින කලිසමකුයි සුදු අත්දිග ෂර්ට් එකකුයි. මුළු මග දිගටම නාකි මිනිහෙක් එයාගේ ඇඟේ අතිල්ලුනා. කොච්චර අහකට වුනත් ඒ මිනිහා සැලුනේ නැහැ. දිගටම ලිංගික අවයව ඇගේ සිරුරට තෙරපුවා. ඇය රවා බැලුවහම “මේ හලෝ ගෑවෙන්නේ නැතුව යන්න නම් ගන්නවා කාර් එකක්” කියල ගැහැණු ළමයටම බැන්නා. බස් එකේ කවුරුත් කතා කලේ නැහැ.

අපේ රටේ වාචික සහ කායික ලිංගික හිංසනය ගොඩක් වැඩියි. මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා සමාජ සමීක්ෂණ කල විද්වතෙක්. එතුමා බස් වල ගැහැණු වගේ වෙස් වලාගෙන ගිය විට එතුමාව පවා අතවරයට ලක් වුන බව පොත් වල කියා තිබුණා.

කනගාටුව අපේ රටේ වැදගත් සමාජ කතිකාවතක් හැදෙන්නේ නැහැ… මේ සාමාන්‍ය ලෙස අඳින පළඳින, කඩේ පිලේ යන, රස්සා කරන අහිංසක ගැහැනුන්ට වෙන අතවර ගැන. නීතියෙන් තමාව ආරක්ෂා නොකරන, සමාජ පරිසරෙන් තමාව ආරක්ෂා නොකරන රටක ගැහැණු ගොඩක් අසරණයි. හිතේ හයිය විතරයි තිබෙන්නේ.


රේශිකා දිසානායක ගොඩකන්ද

Advertisements
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button