දේශපාලන

ධීවරයින්ට වාසියක්

සිංහල හා හින්දු අළුත් අවුරුද්දට ප්‍රථම සුළු පන්න ධීවර ජනතාවට සහන මල්ලක් සමඟ සහන සැලසීමේ කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා පැවසීය.

රාජ්‍ය අමාත්‍යතුමා අවධාරණය කලේ ඉදිරි සිවි මස ඉලක්ක කර මෙම සහන වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ යුතු බවයි.

ධිවර අමාත්‍යංශයේ සමාජ සංවර්ධන අංශයේ ප්‍රධානින්, ධීවර දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානින් සහ ජාතික ධිවර මහා සම්මේලනයේ නියෝජිතයින් සමග ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදී ඊයේ (03) පැවති සාකච්ජාවේදී රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා මේ බව පැවසීය.

මෙහිදී ධීවර හා ජලජ සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා විසින් ධිවර ජනතාව සදහා කඩිනම් සහන සැලසීමට අදාළ යෝජනා 13 ක් ඇතුලත් යෝජනාවලියක් ඉදිරිපත් කෙරුණි.

ඒ යටතේ ධීවර ජනතාවගේ නිවාස ඉදිකර ගැනීමට, ධීවර ආම්පන්න ලබා දීම, ධීවර කාන්තාව සවිබල ගැන්වීම සඳහා ස්වයංරැකියා අත්වැලක් ලෙස ආධාර හා උපකරණ මෙන්ම පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ඇතුළත්ව තිබේ.

විව්ධ අනතුරුවලට ලක්වන ධීවර කාර්මිකයින්ට රක්ෂණ වන්දි ලබාගැනීමේ ගැටලුවට පිලිබදව වැඩි අවදානයක් යොමු කල යුතු බව රාජ්‍ය අමාත්‍යතුමා මෙහිදී පෙන්වා දුන්නේය.

ඊට විසඳුම් ලෙස යම් අනතුරකදී එම ධිවර පවුල් වල ජිවන තත්ත්වය සහ පවුලේ බර සැහැල්ලු කිරීම සඳහා ජීවනාධාර වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටද මෙහිදී තීරණය වූ අතර ඒ අනුව කුඩා බෝට්ටු වල ධීවර රැකියාවේ නිරතව සිටියදී අනතුරකට ලක් වුව හොත් උපරිමය රුපියල් ලක්‍ෂ 05 දක්වාත් , බහු දින ධීවර යාත්‍රාවක් අනතුරකට ලක් වුව හොත් උපරිමය රුපියල් ලක්ෂ 10 දක්වාත් සහනාධාර මුදලක් ලබා දිමට නියමිතය.

කුඩා බෝට්ටු මගින් අල්ලා ගන්නා මත්ස්‍යයින් ඉහල ගුණාත්මක භාවයකින් යුක්තව ගොඩබිමට රැගෙන ඒම සදහා ෆයිබර් ග්ලාස් පෙට්ටි ලබාදීමට කඩිනමින් කටයුතු කිරීමේ වැදගත් කම මෙහිදී පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යතුමා එමඟින් ධීවර ජනතාවට සිය අස්වැන්න සඳහා ඉහළ මිලක් ලබාගැනීමට අවස්ථාව උදාවනවා සේම ජනතාවටද ගුණාත්මක බැවින් ඉහළ මාළු ලබාගැනීමට අවස්ථාව සැලසෙන බවත් එමගින් පසු අස්වනු හානිය අවම කරගත හැකි බවත් කියා සිටියේය.

ධීවර යාත්‍රා සදහා ජීවිතාරක්ෂක යාත්‍රා ලබාදීම නියමු ව්‍යාපෘතියක් ලෙස කඩිනමින් ආරම්භ කර ක්‍රියාත්මක කිරීම මඟින් අනතුරකදී ධීවර ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගැනීම මහත් පිටිවහලක් බව මෙහිදී අවධාරණ කෙරිණි.

2019 වසරේ අයවැය සදහා යෝජනා ඉදිරිපත් කිරීම පිලිබදව ද මෙහිදී අවධානය යොමු කල අතර යෝජිත සහන වැඩපිළිවෙල පිළිබඳ ගරු අගමැතිතුමා සමග සාකච්ජා කර එම සහන මල්ල කඩිනමින් ධීවර ජනතාවට ලබාදීමට කටයුතු කරන බව මෙහිදී රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි අවධාරණය කළේය.

ධීවර කාන්තාව සවිබල ගැන්වීමේ වැඩපිළිවෙල යටතේ ස්වයංරැකියා ආරම්භ කිරීමට මෙන්ම, දැනට ස්වයංරැකියාවල නිරත ධීවර කාන්තාවන් සදහා සුර්ය බලයෙන් ක්‍රියාත්මක යතුරු පැදි ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සහ ඒ පිලිබදව අගමැතිතුමා ඇතුළු රජයට කරුණු දක්වා අවශ්‍ය සහය කඩිනමින් ලබාගැනීමට ද මෙහිදී තීරණය විය.

ධීවර ජනතාව මුහුණ දී සිටින පානිය ජල ගැටලුවට තිරසාර විසදුම් ලබාදීම සඳහා ලවන ජලය පිරිසිදු කර ලබා දීමේ වැඩපිළිවෙල කඩිනමින් ආරම්භ කිරීමට මෙහිදී තීරණය විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button