විශේෂාංග

අභිරහස් කාන්තා රූපයක් සීගිරි සිතුවම් අතර

සීගිරි චිත්‍ර දකින්නට ගිය අයටත්, පොතපතින් පමණක් ඒ රූප දැක රසවින්ද අයටත් නොපෙනුණු සිතුවම් තව කොතෙක් ඇද්දැයි කිසිවකුත් සොයා බලන්නට නැතිවා වන්නට පුළුවන. එම සිතුවම් විශාල කර දැකිය හැකි සියුම් ඡායාරූප ශිල්පීය උපක්‍රම භාවිතයෙන් සීගිරි සිත්තරා සිතුවම් අඳින්නට පෙර කළ සටහන්වල ඇතැම් රේඛාද ඒ අතරින් මේ නිසා දැක ගත හැකි විය.

ඇතැම් සිතුවම්වල තිබුණු බරපතළ අඩුපාඩුකම් පළපුරුදු ශිල්පීන් විසින් සකස් කරමින් සිතුවම් සකසා මතු කර දුන් ආකාරයක සාක්ෂිද එම චිත්‍ර මතින් දැකගත හැකි විය. මේ සියුම් ඡායාරූපකරණයේ මහිමය නිසාය. ඒ නිසාම සීගිරි චිත්‍ර පිළිබඳව තව තවත් පර්යේෂණ සිදු කරන්නට ඉඩ හසර සැපයෙන පරිදි තාක්ෂණික මෙවලම්ද ඓතිහාසික කාර්යභාරයකට සහාය වූවා සේය.

සීගිරි සිතුවම්වලින් අද ඉතිරිව තිබෙන ඒවාට වඩා මෙම පව්ව මත බොහෝ සිතුවම් තිබුණු බවට සාක්ෂි සොයා ගැනීමට මේවා තව තවත් උපකාරි වන්නේය. ඒ අනුව සීගිරිය බටහිර බෑවුමේ වූ කෙවෙණියක කාන්තා රූප 22ක් ඇති අතර ඒවා ක්‍රිව. 477-495 අතර කාලයේදී කාශ්‍යප මහ රජු සීගිරි මාලිගාව බිහිකරද්දී විසිතුරු දනවන්නට කළ ඒවා බැව් විශ්වාසයයි. අද වන විට එම සිතුවම් 22කට පමණ සීමා වී ඇතත් සත්‍ය නම් පව්වේ නොදුටු පැතිකඩවලින් ගිලිහී ගිය සිතුවම් තව තවත් ඇති බවය.

සත්‍ය කතාව නම් අද මෙන් නොව වර්ග මීටර් 13,500ක් තරම් වූ ප්‍රමාණයක් ආවරණය වන පරිදි බටහිර බෑවුම මත චිත්‍ර තිබී ඇති බවත් ඒවායේ ශේෂයන් තවමත් ඇති බවත්ය. මේවා සියුම් විද්‍යාත්මක නිරීක්ෂණයකට භාජන කරන්නට තවමත් අපොහොසත් වී ඇත. එය විශාලතම බිතු සිතුවම් පන්තියක රහස් රැසක් කියාපාන්නක් විය හැකිය.

සීගිරි චිත්‍ර තුළ දැක්වෙන බොහෝ කාන්තාවන් රූමත්ය. ඔවුන් සියල්ලෝම යෞවනියන්ය. ඔවුන් මල් අතින් ගෙන වලාකුළු මත පාවෙන දිව්‍ය අප්සරාවෝ වැනිය. එහෙත් සීගිරි සිතුවම් ඉතා හොඳින් සියුම්ව ඡායාරූපයට නඟා විශාල කර බලද්දී ඒ අතර වන සුවිශේෂී කාන්තාවක් දැක ගත හැකිය. ඇයගේ ස්වරූපය සෙසු යෞවනියන්ගේ මෙන් නොව වියපත් බවක් දනවන්නේය. මේ තරම් සොඳුරු යුවතියන් රැසක් මැද ඔවුන් හා රැඳවූ මේ කියන වියපත් තැනැත්තිය කවුරුන් විය හැකි දැයි බොහෝ දෙනා දුටුවද සිතන්නේ නැත. මේ වනතුරු විද්වතුන් පවා සියුම් නිරීක්ෂණයක් කර නැත.

සිතුවම් පිළිබඳව ආනන්ද කුමාරස්වාමි වැටී පළකළ මතය වූ ‘දිව්‍ය අප්සරා’ වන්නේ යන්න මේ කියන වියපත් තැනැත්තිය නිසා යම් ප්‍රශ්නාර්ථයක් මතු කරන්නේය. දෙවියන් අතර සිටින දෙව්ලොව අප්සරාවන් සියල්ලෝම මැවෙන්නේ නව යෞවනියන් ලෙස මිස වියපත් අය ලෙස නොවේ. එසේ නම් දිව්‍ය අප්සරාවන් අතර වියපත් අයකු සිටිය නොහැකිය.

තවත් මතයකින් කියැවෙන්නේ කාශ්‍යප මහරජු බෙහෙවින් ආදරය කළ තම දුවණියන් දෙදෙනා වූ ‘බෝධි’ හා ‘උප්පලවර්ණ’ යන රුවැති දුවණියන් හා පරිවාර සේවිකාවන් සමඟ අසල වූ පිදුරංගල විහාරය වඳින්නට යන ඉරියව් සහිත සිතුවම් යැයි පවසන මතය අනුවද මෙම වියපත් කාන්තාව ගැටලුවක් මතු කරන්නේය.

පරණවිතාන සූරීන්ගේ විජ්ජුලතාවන් හා මේඝලතාවන්ය යන අදහස් අද වන විට ඒ හැටි පිළිගන්නේ නැති බවක් පෙන්නුම් කළද ඒ අනුව සිතා බැලුවේ වුවද විජ්ජුලතාවන්ගෙන් පෙන්නුම් කළ විදුලිය හා මේඝලතාවන්ගෙන් පෙන්නුම් කළ මේඝයද අනුව මේ කියන වියපත් කාන්තා නිරූපණය ගැටලුවකි. එය එක්තරා අතකට පරණවිතාන මතය තදින් බැහැර කරන්නට පමණක් සමත්ය.

එච්.සී.පී. බෙල් යනු සීගිරියේ මුල් ස්වරූපය නූතනයේදී සැබැවින්ම දුටු සාක්ෂිකාරයෙකි. ඔහු කීර්තිමත් පුරාවිද්‍යාඥයකු ලෙස අර්ථදැක්වුවත් ඔහු විසින් එංගලන්තයට රැගෙන ගිය සීගිරියේ තිබුණු වටිනාම සාක්ෂි හා සත්‍යයන් තවමත් අබිරහසකි. ඔහු පුරාවිද්‍යාත්මක නියමයන් මත, මත පළකළත් වෙහෙසුණත් සීගිරිය වූ සැබෑව විකෘති කර දැමූ බවටත්, වසා දැමුණු බවටත් වන කතා එක හෙළාම බැහැර කළ නොහැකි තත්ත්වයක් අද වන විට පවතී. බෙල් වෙහෙස වී සොයාගත් කරුණු අතර කෙතරම් ප්‍රමාණයක් සඟවා සොරා ගත්තා දැයි කියන්නට කාටවත්ම නොහැකිය.

එහෙත් ඔහු එකක් කියා තිබුණේය. එනම් මෙම සිතුවම් අතර සිටින්නේ කාශ්‍යප රජුගේ බිසෝවරුන්, අන්ත–පුර ස්ත්‍රීන්, පරිවාර සේවිකාවන් රැසක් බවය. එම විග්‍රහයේදී වුව රුවැති තරුණ බිසෝවරුන් අතර වියපත් තැනැත්තිය සේවිකාවක්ද සුවිශේෂී චරිතයක්දැයි සැක සංකා උපදවන්නේය.
හොඳින් නිරීක්ෂණය කර බලතොත් මෙම වැඩිහිටි කාන්තා රූපයෙන් ඉතිරි වී ඇති ශේෂයන් අනුව සිතාගත හැක්කේ ඇය කෙස් කලඹ හිස මුදුනින් සරසාගත්, ගැටගසාගත් බවක්ය. ඊට සේද රෙදි පටයක් එක්කර ගත් බවක්ය.
රූපයේ ඉතිරිව ඇත්තේ හිස කොටස සහ අත් පමණය. කන් පෙති මත පලඳවා ඇත්තේ මඳක් විශාල වූ කඩුක්කන් ආරේ කර්ණාභරණයක්ය. එය රනින් කළ එකක් බැව් හැඟවෙන වර්ණයෙන් නිර්මිතය. දකුණත මල් රැඳී ඇත. එය පොකුරකි. එයද සේද රෙදි පටයකින් ගැටගසා ඇති සෙයකි. දෙකොපුලත්, මාංසපේශි නිරූපණය කර ඇති ආකාරයත්, දෙතොලෙහි පිහිටීමත් මුහුණේ පෙනුමත් අනුව ඇය තරුණ විය ඉක්මවූ වියපත් කාන්තාවක් බැව් පෙනෙයි.

කාශ්‍යප රජු පිළිබඳ ජනප්‍රවාදගත ඓතිහාසිකව පෙළ ගැසෙන සත්‍ය නම් ඔහුගේ මව යක්ෂ ගෝත්‍රික සම්භවයක් තිබූ කාන්තාවක බවය. ඇයට පුත් කාශ්‍යපට රජකම නොදී මුගලන් වූ බාල සොයුරාට රජකම ලබා දෙන්නට සැරසුණු රාජ්‍යත්වය පිළිබඳ බල අරගලයේදී කාශ්‍යපට එරෙහිව මුලගන් හා සටන් වදින්නට ස්වදේශික හෙළයන් සහාය වන්නේ නැත. ඒ නිසාම මුගලන්ට දකුණු ඉන්දියාවට ගොස් එහි සිට පිටස්තර සටන්කරුවන් ගෙන්වා ගන්නට සිදුවේ.

මෙම යක්ෂ ගෝත්‍රික සම්භවය නිසා කාශ්‍යප රජුට ගැටලු රැසකට මුහුණ දෙන්නට වූ සමයේදී සිය මව ඔහුට බොහෝ සේ සහාය වූවාය යන්න සීගිරිය අවට ජනප්‍රවාදගත සත්‍යයයි. එසේ නම් මේ රුවැති දිව්‍යාංගනාවන් අතර ඔවුන්ගේ රැකවරණය සඳහා මල් අතින් ගෙන යන්නේ කාශ්‍යප රජුගේ මවද යන්න විමසන්නට සිත් වෙයි. කෙසේ වෙතත් මෙම රූපය අහම්බෙන් හෝ අත් වැරැදීමකින් ඇඳුණු එකක් නොව මහා අබිරහසක් කියාපාන නිහඬ සාක්ෂියක් වැනිය.


එස්. රණසිංහ

උපුටා ගැනීම – මව්බිම

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button