විශේෂාංග

විදු ඇසින් දුටු ජේසු තුමන්

ජේසු තුමන්ගේ පෙනුම කෙබඳුදැයි අප සිත් තුළට කා වැදී අවසන්ය. ඒ, පුරාණ සිතුවම්වලින්, චිත්‍රපටවලින්, පොත පතින්, රූපවාහිනී කතා මාලාවලිනි. ඒවායින් නිරූපණය කරන ආකාරයට, ජේසු තුමන්, කොකේසියානු ජාතික තරුණයකි. කඩවසම්, ප්‍රසන්න, ශාන්ත පෙනුමක් ඇති අතර, එතුමන්ගේ දිග කොණ්ඩය දුඹුරු පැහැයෙන් යුක්තය. කෙසේ නමුත්, ජේසු තුමන්ගේ සැබෑ පෙනුම ඊට වඩා වෙනස් වන්න ඇතැයි බටහිර විද්‍යාඥයෝ අනාවරණය කළහ.

ඒ, ජේසුතුමන්ගේ කාලයේ ජීවත් වුණැයි සොයා ගත් යුදෙව්වන්ගේ හිස් කබල් කිහිපයක් නවීන තාක්ෂණය යොදා ගෙන යළි ප්‍රති නිර්මාණය කිරීමෙනි. මෙම කටයුත්ත සිදු කරනු ලැබ ඇත්තේ, මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යා අංශයේ විද්‍යාඥයන් සහ පර්යේෂකයන් විසිනි.

විද්‍යාඥයන් අනුමාන කරන අන්දමට, දේව පුත්‍රයා ජේසුතුමන්ගේ සැබෑ පෙනුම මෙසේය. එතුමන්ට තිබෙන්න ඇත්තේ කෙටි බොකටු හිස කෙස් ය. මුහුණ පළලින් වැඩිය. ඇස් අඳුරු පැහැතිය. සම වඩා අඳුරු පැහැතිය. මේ බව තහවුරු වී ඇත්තේ, අති නවීන පරිගණක තාක්ෂණය භාවිතා කරමිනි. ඉපැරැණි මානවයන්ගේ පොසිල අස්ථි සහ හිස් කබල් කොටස් අනුව, පරිගණක ඇසුරින් එම මානවයාගේ ත්‍රිමාන රූප නිර්මාණය කෙරෙන්නේ ද මෙම ක්‍රමවේදයටය. ජේසුතුමන්ගේ සැබෑ පෙනුම මෙසේ යැයි පෙන්වා දෙමින්, එය සිතුවමට නැගුවේ වෝහාරක වෛද්‍ය පර්යේෂකයකු වන රිචඞ් නේව් ය. විශ්‍රාමිකයකු වන නේව් ජේසු තුමන්ගේ පෙනුම සිතුවමට නැගුවේ පරිගණක ආධාරයෙනි.

ජේසු තුමන්ගේ පෙනුම තීරණය කිරීමට විද්‍යාඥයන්ට හැකි වූ බව පැවැසෙන්නේ, ජේසු තුමන් විසූ අවදියේ, මැද පෙරදිග උතුරු ඊශ්‍රායලයේ යුදෙව්වන්ට තිබුණු පෙනුම සැසැඳීමේදීය. උතුරු ඊශ්‍රායලයේ ගලීලී පළාතේ විසූ පැරැණි යුදෙව් ජාතිකයන්ගේ අස්ථි සහ හිස් කබල් විද්‍යාඥයන් අතට පත් වී තිබේ. ඔවුන් ඒවා, ‘ස්කෑන්’ කොට පරිගණක ගත කර තිබේ. එම හිස් කබල් කිහිපයක් සන්සන්දනය කර, ජේසු තුමන්ගේ පෙනුම සකස් කළේ යැයි රිචඞ් නේව් බි්‍රතාන්‍යයේ ඬේලි මේල් පුවත් වෙබ් අඩවිය සමඟ සම්මුඛ සාකච්ඡාවක් දෙමින් පවසා ඇත.

‘මේක අනුමානයක් පමණයි. ජේසු තුමන්ගේ අස්ථි හෝ හිස් කබල හෝ යොදා ගෙන කළ පර්යේෂණයක් නොවේ. ඒ නිසා මෙය සියයට සියයක් තහවුරු කරන්න බැහැ. ජේසු තුමන් ජීවත් වුණු අවදියේ වාසය කළ යුදෙව්වන්ගේ පෙනුම අනුව කළ අනුමානයක් පමණයි.’ යැයි රිචඞ් නේව් පැහැදිලි කරයි. රිචඞ් නේව් ‘ජේසු තුමන්ගේ සැබෑ පෙනුම’ යනුවෙන් එතුමන්ගේ රුව සිතුවම් කළේ ‘අධිකරණ වෛද්‍ය විද්‍යා මානවවේදය’ යන ක්‍රමයෙනි.

මේ අතර ජේසු තුමන් ජීවත් වූ අවධියේ දී පුරාණ ඊශ්‍රායල ජාතිකයන් පානය කළ වයින් යළිත් වරක් ඒ අයුරින්ම සහ එම රසින්ම පානය කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි ඊශ්‍රායල පර්යේෂකයෝ පිරිසක් පෙන්වා දෙති. ඒ, අවුරුදු 2,000 ක් පැරැණි වයින් යළි ප්‍රතිනිර්මාණය කරමිනි. එය සිදු කෙරෙන්නේ, ඊශ්‍රායලයට පමණක් ආවේණික වුණු මිදි විශේෂ හඳුනාගෙන ඒවායේ ඩී.එන්.ඒ. වෙන් කර කෘත්‍රිම ක්‍රමවේදයකටය. එසේ නිර්මාණය කරන වයින්, ජේසුතුමන්, ඬේවිඞ් රජු ආදීන් පානය කළ වයින් ඇතුළත් වෙයි. මෙසේ නිර්මාණය කෙරෙන වයින් වර්ගවලින් 50 ක් වෙළෙඳ පොළට නිකුත් කෙරන බව ද පැවැසෙයි.


ඩේලි මේල් ඇසුරෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button