විදේශීය

මහ බැංකු අධිපති ඉල්ලා අස් වෙයි

රජයෙන් තමන් වෙත එල්ල වන පීඩනය දරාගත නොහැකි වීමෙන් ආතතියට පත් ඉන්දියාවේ මහ බැංකු අධිපති උර්ජිත් පටෙල් මහතා පෙරේදා (10දා) සිය තනතුරෙන් ඉල්ලා අස් වී ඇත. ඔහු මේ තීරණය ගෙන ඇත්තේ, ආයතනයේ ස්වාධීනත්වය හා රටේ මූල්‍ය අංශයේ දිශානතිය පිළිබඳව අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ පැවති ගැටුම් උත්සන්න වෙමින් පවතින අතරතුරය.

මූල්‍ය ප්‍රතිපත්තිය ලිහිල් කරන ලෙස අගමැතිවරයා ඉල්ලා සිටීම සම්බන්ධයෙන් ඉන්දීය මහ බැංකුවේ පාලක මණ්ඩලය හා විවාදාත්මක රැස්වීමක් නුදුරු දිනයක පැවැත්වීමට නියමිතව තිබියදී ඔහුගේ නික්මයෑම සිදුවී තිබේ. මහ බැංකුවේ තියුණු ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව සහ රාජ්‍ය බැංකු කෙරෙහි අනිසි ලෙස බලපා ඇති සාවද්‍ය ණය ගැටලු නිරාකරණය කිරීමට දැඩි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව පසුගිය මාස කිහිපය පුරා මහ බැංකුව හා අගමැතිවරයා අතර කඹ ඇදීමක් පැවතුණි.

කෙසේ වෙතත් හිටපු අධිපතිවරයා වෙබ් අඩවියක සඳහන් කර ඇත්තේ සිය තීරණයට හේතුව පෞද්ගලික කටයුත්තක් බවයි. නමුත් මහ බැංකු අධිපතිවරයාගේ ඉල්ලා අස්වීම මඟින් පෙන්නුම් කෙරෙන්නේ, මූල්‍ය පාලනය පිළිබඳ බල අරගලයෙන් අගමැති මෝදි ජය ගෙන තිබෙන බව ඇතැම් විශ්ලේෂකයන්ගේ මතයයි. පටෙල් මහතාගේ ඉවත්වීමත් සමඟ ඉන්දීය රුපියලේ අගය 1.6%කින් පහත බැස තිබේ. එහෙයින් ළඟ එන ප්‍රාන්ත මැතිවරණ ගැන සලකා ආයෝජකයන් තුළ මහ බැංකුව කෙරෙහි විශ්වාසය නැවතත් ගොඩනඟාගැනීමේ වැදගත්කම පිළිබඳව දේශපාලන හා ආර්ථික උපදේශකයන් රජයට උපදෙස් දී ඇත. මෙම ප්‍රාන්ත මැතිවරණ ප්‍රතිඵල මඟින් ලබන වසරේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය කෙරෙහි යම් බලපෑමක් සිදු වනු ඇත.

රජයට අයත් පංජාබයේ ජාතික බැංකුවේ සිදුවී තිබූ ඩොලර් බිලියන 2ක මූල්‍ය වංචාව මෙම වසරේදී අනාවරණය වීමෙන් පසු රජය හා පටෙල් මහතා අතර ගැටුම වඩාත් උග්‍ර විය.

මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති විරාල් ආචාර්යා මහතා විසින් මහ බැංකුවේ ස්වාධීනත්වය අලළා පසුගිය ඔක්තෝබර් මසදී සිදු කරන ලද ආවේගාත්මක දේශනයක් ද මේ තත්ත්වය උත්සන්න කිරීමට හේතුවූ බව පැවසේ. මෝදි රජය යටතේ දෙවැනි වරටත් මහ බැංකු අධිපතිවරයකු තනතුරෙන් ඉවත්වීම, විදෙස් මෙන්ම දේශීය ආයෝජකයන් සැහැල්ලුවට නොගනු ඇතැයි මත පළවී තිබේ.

“මෙම ඉල්ලා අස්වීම මඟින් පැහැදිලි වන්නේ කිසිවක් වෙනස්වී නැති බවත්, මහ බැංකුවේ කටයුතුවලට රජය ඇඟිලි ගසන බවත්” යැයි හිටපු මුදල් ඇමැති යශ්වන්ත් සිං මහතා රූපවාහිනි සේවයක් සමඟ පවසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button