දේශීය

ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය ජනපති ප්‍රදානත්වයෙන්

සපුගස්කන්ද, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පාඨමාලා අංක 12 සාර්ථක ලෙස හදාරා නිම කළ ත්‍රිවිධ හමුදා ශිෂ්‍ය නිලධාරින්ට එම උපාධි සහතික ප්‍රදානය කිරීමේ උත්සවය සේනාධිනායක, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද(12) පෙරවරුවේ එම විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

තෝරාගත් ත්‍රිවිධ හමුදා නිලධාරින් සහ රාජ්‍ය ආයතනවල නිලධාරින්ගේ වෘත්තීය අවබෝධය දියුණු කිරීම හා ඔවුන් තම ආයතනවල අණ හා මාණ්ඩලික තනතුර සඳහා පුහුණු කිරීම මෙම විද්‍යාලය මගින් සිදු කරනු ලබන අතර, මෙරට ත්‍රිවිධ හමුදාව සඳහා අධ්‍යාපන පාඨමාලා පවත්වන ආයතන අතරින්, ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පෝෂණය වන වෘත්තීමය වශයෙන් ඉහළම දැනුම් සම්භාරයක් සම්පාදනය කරන නායකත්ව හා කළමනාකරණ පුහුණුවත්, ත්‍රිවිධ හමුදා ඉහළ තනතුරුවලට අදාළ රාජකාරී පිළිබඳ පුහුණුවත් සම්පාදනය කෙරෙන ප්‍රධානම ආයතනයක් ලෙස ක්‍රියාත්මක වෙයි.

යුද හමුදා ශිෂ්‍ය නිලධාරින් 68 දෙනෙකු, නාවික හමුදා ශිෂ්‍ය නිලධාරින් 27 දෙනෙකු, ගුවන් හමුදා ශිෂ්‍ය නිලධාරින් 27 දෙනෙකු, සහ විදේශීය රටවල සිසුන් 14 දෙනෙකු ඇතුළු ත්‍රිවිධ හමුදා ශිෂ්‍ය නිලධාරින් 136 දෙනෙකු මෙවර පාඨමාලාව සාර්ථකව හදාරා උපාධි සහතික හිමිකරගත්හ.

ඉන්දියාව, ඉන්දුනිසියාව, එක්සත් ජනපදය, චීනය, නේපාලය, පකිස්තානය, බංගලාදේශය, මාලදිවයින, රුවන්ඩාව හා ෆීජි යන රටවල් 10 නියෝජනය කරමින් විදෙස් ශිෂ්‍ය නිලධාරින් 14 දෙනෙකු ද මෙම පාඨමාලාව සාර්ථකව හැදැරූවන් අතර වේ.

පාඨමාලාවේ කැපීපෙණෙන දක්ෂතා දැක්වූ ශිෂ්‍ය භටයන් වෙත සම්මාන පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණු අතර හොඳම පර්යේෂණ කෘති සඳහා ද සම්මාන පිරිනැමිණි.

මෙහි පුහුණුව ලබන ත්‍රිවිධ හමුදා නිලධාරින්ගේ දැනුම සහ බුද්ධි වර්ධනය පුළුල් කිරීමේ අරමුණින් ස්ථාපිත කෙරුණු නවීනතම අංගෝපාංගයන්ගෙන් සමන්විත පුස්තකාලය අද විවෘත කෙරුණේද ජනාධිපතිතුමා අතිනි.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්, හිටපු හමුදාපතිවරුන්, රාජ්‍ය තාන්ත්‍රික හමුදා සාමාජිකයන්, ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරින් සහ උපාධිධාරි නිලධාරින්ගේ පවුල්වල සාමාජිකයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button