විශේෂාංග

ලන්ඩන් උප නගරයක නගරාධිපති වූ ශ්‍රී ලාංකික කාන්තාව

පසුගිය ජුනි මාසයේ දවසක ලන්ඩනයේ හැරෝ ප්‍රාන්තයේ නගරාධිපති මන්දිරයේ නව නගරාධිපතිවරිය පිළිගැනීමේ උත්සවයක් පැවැත්වුණා. නව නගරාධිපති කෙනෙක් පත් වුණොත් ඔහු හෝ ඇය පිළිගන්න උත්සවයක් පවත්වන එක විශේෂ දෙයක් නෙවෙයි. නමුත් මේ උත්සවය නම් ඉතාම විශේෂ එකක් වුණා. ඒකට හේතු වුණේ මේ උත්සවය පුරාම දැක ගන්න ලැබුණේ සිංහල සිරිත් විරිත් වීම. උඩරට වෙස් නැටුම් කණ්ඩායමක් නව නගරාධිපතිවරිය පෙරටු කොට ගනිමින් නර්තනයේ යෙදීම, ජය සක් හඬ, මඟුල් බෙර වාදන හතර අතින් අසන්නට ලැබීම, පොල්තෙල් පහන් වැටි දැල්වීම වගේ සිංහල සිරිත් විරිත් ලන්ඩනයේ පැවැත්වෙන උත්සවයකට මොකටද කියලා එයට සහභාගි වෙලා හිටපු බොහොමයක් දෙනාට කුකුසක් ඇති වෙලා තිබුණා. නමුත් ඒ කුකුසට පිළිතුරක් ලැබුණේ හැරෝ ප්‍රාන්තයට පත් වූ නව නගරාධිපතිතුමිය තමන්ගේ කතාව සිදු කරන්න පටන් ගත් පසුවයි. ඇය පළමුවෙන්ම කතාව පටන් ගත්තේ “ආයුබෝවන්” කියලා ආචාර කිරීමෙන් පසුවයි. ඉන් පස්සේ අය චතුර ඉංග්‍රීසි බසින් කතා කරගෙන ගියා.

ඇය තමයි කරීමා මරික්කාර්. ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ මරක්කල පවුලක උපත ලැබූ ඇය මේ උත්සවයට සහභාගි වෙලා හිටියෙත් සුදු පාට ඔසරියකින් සැරසිලා ඊට උඩින් නගරාධිපති කබාය ඇඳගෙනයි. උත්සවයෙන් පස්සේ ඇය බීබීසී මාධ්‍යයේ ආරාධනයකට අනුව සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ඇගේ ජීවිත කතාව කියන්න පටන් ගත්තා.

“1961 අවුරුද්දේ මම උපන්නේ විවිධ ජාතීන් බොහොමයක් ජීවත් වෙන මහනුවර නගරයේ ප්‍රසිද්ධ දේශපාලන පවුලකයි. සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුවේ තැපැල්, ගුවන් විදුලි සහ සන්නිවේදන ඇමති ධුරය දරපු පළමු මුස්ලිම් ඇමතිවරයා වූ සී.ඒ.එස්. මරික්කාර් මගේ ළඟම ඥාතිවරයෙක්. මගේ පවුලේ සහෝදරයින් පස් දෙනෙකුත් සහෝදරියන් දෙදෙනෙකුත් ඉන්නවා. මහනුවර උසස් කාන්තා පාසලෙන් සිංහල අධ්‍යාපනය ලැබූ මම බෞද්ධ සංස්කෘතික වටපිටාවක තමයි ජීවත් වුණේ. අපි මුස්ලිම් වුණත් බෞද්ධ සිරිත් විරිත්වලට මුල් තැන දුන්නා. සී.ඒ.එස්. මරික්කාර් මගේ ඥාතිවරයා තමයි 60 දශකයේ දී ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයෙන් දිනපතා මුළු රාත්‍රිය පුරාම පිරිත් විකාශය කරන්න ඕනෙ කියන තීරණය ගත්තේ. ඔහු ක්‍රියාත්මක කළ ඒ තීරණය තමයි අද දක්වාත් බොහොමයක් නාළිකා විසින් සිදු කරන්නේ.” ඇය කියනවා.

ඇය නගරාධිපතිනිය ලෙස තේරී පත් වූ හැරෝ ප්‍රාන්තයත් මහනුවරට බොහෝසෙයින් සමානයි කියලා ඇය කියනවා. ඒකට හේතුව තමයි, හැරෝවල ඉන්න 248000 ක් විතර වුණු වැසියන් විවිධ ජාතීන්වලට අයිතියි. ඉන් විසි දහසක් විතර පිරිසක් ගුජරාටි අය. 8000 ක් විතර දමිළ අය. සිංහල අයත් 4000 ක් විතර පිරිසක් ජීවත් වෙනවා. මේ නිසා ඇයට හිතෙන්නේ ඇය ජීවත් වෙන්නේ ලන්ඩනයේ නෙවෙයි මහනුවර කියලාලු.

“මම ක්‍රීඩාවට හරිම කැමතියි. පාසල් හොකී කණ්ඩායමේ ගෝල් කීපර් විදියටත් ශ්‍රී ලංකා ජාතික කාන්තා හොකී කණ්ඩායමේ සාමාජිකාවක් විදියටත් ක්‍රීඩා කරලා තියනවා. මගේ පාසල් අධ්‍යාපනයෙන් පස්සේ මම හෝටල් කළමනාකරණ පාඨමාලාවක් කරලා මහනුවර ක්වීන්ස් හෝටලේ සේවය කළා. එහිදී තමයි ලන්ඩනයට එන්න මග පෑදුණේ. ලන්ඩනයේ Oxfordshire Alsbury රෝහලේ මානසික සෞඛ්‍යය සේවිකාවක් විදියට පුහුණු වෙලා කෙටි කාලයක් සේවය කරන්න මට අවස්ථාව ලැබුණා. ඒ අතරේ තමයි මම සමාජ සුබ සාධන වැඩවලට නැඹුරු වුණේ.”

විශාල ජන විවිධත්වයක් සහිත හැරෝ නගරයේ නිවාස අහිමි වැසියන් වෙනුවෙන් නිවාස ව්‍යාපෘති දියත් කිරීමේ වැඩපිළිවෙළක් ඇය ආරම්භ කළේ මීට අවුරුදු හතකට විතර පෙරයි. දානපතියන්ගෙන් ලැබුණු මුදලින් නිවාස ඉදිකිරීමට අමතරව ඇය රේන්බෝ ට්‍රස්ට් නමින් තවත් ව්‍යාපෘතියක් ආරම්භ කළා. ඉන් හැරෝ නගරයේ ජීවත් වන රෝගී සහ විවිධ ආබාධවලින් පෙළෙන දරුවන් සහිත පවුල්වලට සහන සලසන්න ඇයට පුළුවන් වුණා. හැරෝව් නගරය පුරා ඒ කාලේ සොර සතුරු උපද්‍රවය තිබුණු බවත් මේ නිසා හැරෝ වැසියන් බියෙන් ජීවත් වූ බවත් දැකපු ඇය මේ ගැනත් විවිධ රාජ්‍ය ආයතනවලට ලියා දැනුවත් කළා. එහි ප්‍රතිඵලයක් විදියට හැරෝ ප්‍රාන්තයේ මහජන ආරක්ෂාව වෙනුවෙන් බොහොමයක් දේ සිද්ධ වුණා. ඉන් පළමුවැන්න තමයි නගරයේ මංමාවත් පුරා වීදි ලාම්පු සවි කිරීමට පියවර ගැනීම. ඒ වගේම උප පොලිස් කඳවුරක් පිහිටුවා මහජන ආරක්ෂාව තර කිරීමත් සිදු වුණා. ඒ විතරක් නෙවෙයි ඇගේ මැදිහත් වීමෙන් හැරෝ දුම්රිය ස්ථානය සහ දුම්රිය මාර්ග නවීකරණය කිරීමත් සිදු වුණා.

මේ සමාජ සේවා කටයුතු නිසාම ඇය හැරෝ ප්‍රදේශයේ මහත් ජන ප්‍රසාදයට ලක් වුණා. පසුගිය වසර 19 ක කාලයක් තුළ කම්කරු පක්ෂයෙන් දේශපාලනයේ යෙදෙන ඇය 2017 අවුරුද්දේ උප නගරාධිපතිනිය බවටත් මේ වසරේ නගරාධිපතිනිය බවටත් පත්වෙන්න හේතු වුණේ ඇය විසින් සිදු කළ මේ සමාජ සුබසාධන කටයුතු කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නැහැ. ශ්‍රී ලාංකේය කාන්තාවක් ලන්ඩන් නගරයේ නගරාධිපති ධුරයක් දරන පළමු වතාව මෙය වගේම මුස්ලිම් කාන්තාවක් මේ තනතුරට පත් වුණු පළමු වතාවත් මෙය කියලා තමයි බීබීසී සේවය වාර්තා කරලා තියෙන්නේ. “විදේශිකයෙක් මේ වගේ තනතුරකට පත් වීම ගැන ස්වදේශිකයන් විවේචන එල්ල කරන්නේ නැද්ද?” බීබීසීය ඇගෙන් අහද්දි ඇය හිනාවෙලා උත්තර දුන්නා. “විවේචන නැත්තේ කාටද? මාව විවේචනය කරන අය එක්ක මම හොඳට හිනා වෙනවා. ඊට පස්සේ වචන නාස්ති කර ගන්නේ නැතිව ඔවුන්ට වැඩවලින් උත්තර දෙනවා. ඒකයි මගේ ක්‍රමය.”
අපේ රටේ නගරාධිපති තනතුරුවල ඉන්න අය කරන කියන දේවල් දැක්කාම නගරාධිපති තනතුරක් ලබන්න කලින්ම කරීමා මරික්කාර් ලන්ඩනයට කරලා තියෙන සේවය ගැන අපි සතුටු වෙන්න ඕනෙද අඬන්න ඕනෙද කියලා හිතාගන්නවත් පුළුවන්කමක් නැහැ.


දුලංජලී මුතුවාඩිගේ

Tags
තව දුරටත් කියවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි