විශේෂාංග

අස්ගිරි පිරිවෙනේ හිමිවරුන්ට දෙමළෙන් බණ කියන්න උගන්වන කතෝලික ගුරුතුමී

“පුත්ත පෙරුමාන් පෝබිත්තාර්…. කරුණෛයි, ධර්මම්, අම්පු….” සියම් මහ නිකායේ අස්ගිරි මහ විහාර පාර්ශ්වයේ මහ පිරිවෙන් පරිශ්‍රයෙන් මේ දමිළ වදන් ගිලිහී ආවේ සාමණේර වහන්සේ නමකගේ මුවිනි. පිරිවෙනේ අධ්‍යාපනය ලබන භික්ෂූන් වහන්සේ නමක් අපූරුවට දෙමළ භාෂාවෙන් මෙම වදන් මුමුණද්දී මගේ අවධානය ඒ වෙත යොමු වූයේ ඉබේටමය. ඒ භික්ෂූන් වහන්සේ නමක් දෙමළ භාෂාවෙන් ධර්ම කරුණු විග්‍රහ කිරීම මට තරමක් නුහුරු හැඟීමක් ගෙන දුන් නිසාය.

මීට ඉහත මෙවැනි අවස්ථා මට හමුවී ඇත්තේ අතේ ඇඟිලි ගණනකටත් වඩා අඩුවෙනි. මේ නිසාම ඒ පිළිබඳ වැඩි විමසිල්ලක් දක්වන්නට මම පෙළඹුණෙමි. පිරිවෙනේ පන්ති කාමරයක් තුළින් දෙමළ භාෂාවෙන් ගථා සජ්ජායනය කරනු ඇසීමෙන් මගේ කුතුහලය තවත් උත්සන්න වූයේය. සාමනේර වහන්සේලා දෙමළ භාෂාවෙන් ධර්ම කරුණු විග්‍රහ කරමින් අදහස් පළ කරන්නේ උන්වහන්සේලාගේ මව් බස දෙමළ යැයි හැඟෙන තරම් අපූරුවටය….

උන් වහන්සේලාගේ දෙමළ භාෂා උපදේශකවරිය වූයේ කාන්තාවකි. ජාතියෙන් දෙමළ වූ ඇගේ නම විමලා ජෝන් ය. කතෝලික ආගම් කාරියක වූ ඇය පනස් හතර වැනි වියේය. භික්ෂූන් වහන්සේ හා ඇය අතර පවත්නා ගුරු ගෝල සබඳතාවට ජාති, ආගම් කිසිත් බාධාවක් නොවන බව පන්ති කාමරය තුළ පැහැදිලිව දක්නට ලැබිණි.

ඕදානම් ඔරුනාලුම් ඉරුක වේන්ඩාම්….
ඔරුවරයුම් පොල්ලාන්කු සෙල්ල වේන්ඩාම්….

ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා එක හඬින් පවසති…. පිරිවෙන පුරා මැවෙන්නේ අපූරු ශාබ්දික චමත්කාරයකි. භාෂාව, දෙමළ ජාතික ගුරුවරිය හා බෞද්ධ භික්ෂූන් අතර අපූරු සබඳතාවක් ගොඩනගා තිබේ. ඒ දෙස බලා සිටින කිසිවකුටත් මේ ජාතීන් හා ආගම් දෙකක පුද්ගල හමුවීමක් බව පෙනෙන්නේ නැත. ඔවුන් ඒතරම් මිත්‍රශීලිය. ජාති හා ආගම්වාදී සුළු පිරිසකගේ නොමනා ක්‍රියාකාරකම් නිසා අපට මෙම හමුවේ අමුත්තක් දැනේ. එය සිදුවිය යුත්තක් නොවුණද ජාති හා ආගම්වාදී පිරිස් විසින් අපට සංහිඳියාව ගැන අලුතින් හිතන්නට පසුබිමක් නිර්මාණය කර තිබේ.

“භාෂාවක් කියන්නේ ජාතීන් දෙකක් එකතු කරන පාලමක්. ලංකාවෙ අපි ජාතීන් ලෙස බෙදී හිටියත් පිට රටකට ගියාම ලංකාවේ අපි හැමෝම සැලකෙන්නේ ශ්‍රිලාංකිකයෝ ලෙසයි. එතනදී සිංහල, දෙමළ, මුස්ලිම් කියලා බේදයක් නැහැ. සිංහල කතා කරන කෙනෙකුට වෙන රටකදී තවත් සිංහල කතා කරන කෙනෙක් හමු වුණාම ඒ දෙන්නා අතර නොදැනිම බැඳීමක් ඇති වෙනවා.

ඒ වගේමයි යාපනයේ ඉන්න දෙමළ පමණක් දන්නා කෙනෙකුට දකුණේදී දෙමළ දන්නා කෙනෙක් හමු වුණාමත්. සිංහල ඔබට උතුරේදී සිංහල කතා කරන කෙනෙක් මුණ ගැහුණොත් එයාට ටිකක් ළං වෙනවා නේද? භාෂාවකට පුළුවන් මිනිස්සු එකතු කරන්න.” විමලා ජෝෂප් මහත්මිය පවසයි.

“මට සිංහල වගේම ඉංග්‍රීසි භාෂාවත් කතා කරන්න පුළුවන්. මේ භාෂා දැනුම තියෙන නිසා තමයි මේ භික්ෂූන් වහන්සේලාට දෙමළ භාෂාව උගන්වන්න අද මට අවස්ථාව ලැබිලා තිබෙන්නේ. දෙමළ විතරක් පුළුවන් වුණානම් මං කොහොමද සිංහල දන්න හාමුදුරුවන්ට දෙමළ උගන්වන්නේ. භාෂාවක් ඉගෙන ගත්තම අපිට ඒ භාෂාව කතා කරන ජාතිය පිළිබඳ වගේම ඔවුන්ගේ ආගම හා සංස්කෘතිය සම්බන්ධවත් පහසුවෙන් අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව ලැබෙනවා. අපේ රටේ කාලයක් තිස්සේ පැවැති යුදමය වාතාවරණයට මේ භාෂා ප්‍රශ්නය බලපෑවා. මං හිතන්නේ භාෂාව කියන්නේ ජාතීන් දෙකක් අතර දැවෙන ගින්න නිවා දමන්න පාවිච්චි කළ හැකි සිසිල් දිය දහරක්.

විමලා ජෝශප් ගුරුතුමිය

ශ්‍රීලංකාව කියන්නෙ බහු ජාතික හා බහු ආගමික රටක්.ඒ නිසා සිංහල ජනතාව දෙමළත් දෙමළ ජනතාව සිංහලත් භාෂාවත් ඉගෙන ගන්න උනන්දු වෙනවා නම් හොඳයි.විශේෂයෙන් පූජ්‍ය පක්ෂයට හා දේශපාලනඥයින්ට මේ ද්වි භාෂා දැනුම තිබීම ඉතා වැදගත්. මේ අය තමයි වැඩි පුරම ජනතාව ආමන්ත්‍රණය කරන්නේ.” ඇය ප්‍රකාශ කරයි.

තමන් ගෙන් දෙමළ ඉගෙන ගන්නා භික්ෂූන් වහන්සේ දෙමළ ජනතාව වැඩිපුර වාසය කරන ප්‍රදේශයකට වැඩම කර දෙමළෙන් බුදු බණක් දේශනා කරනු දැකීම තම සිහිනයක් බව ජෝෂප් මහත්මිය පවසයි.

“මට මේ පිරිවෙනට උගන්වන්න එන්න අවස්ථාව ලබා දුන්නේ මගේ හිතවත් ගුරුවරියක්. ඇය පරිවේනාධිපති නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ බැහැ දකින්න මාව කැඳවා ගෙන ආවා. මම දෙමළ, මගේ ආගම ක්‍රිස්තියානි කිව්වම හාමුදුරුවෝ කිව්වේ ඒක මට කමක් නැහැ. දෙමළ හොඳට උගන්වන්න පුළුවන් නම් එච්චරයි කියලා. උන්වහන්සේ මා කෙරෙහි තැබූ විශ්වාසය අද මං තහවුරු කරලා තියෙනවා. භික්ෂූන් වහන්සේලා ධර්ම කරුණු දෙමළෙන් හොඳට ලියලා පැහැදිලි කරනවා”යි ඇය පවසයි.

දශක හයක පමණ ඉතිහාසයක් ඇති අස්ගිරි මහ පිරිවෙන වර්තමානයේ මෙරට පවත්නා ප්‍රමුඛතම පිරිවෙනකි. එහි වත්මන් ශිෂ්‍ය සංඛ්‍යාව හාරසියය ඉක්මවයි. එහි කාම්බෝජය, බංගලිදේශය, බුරුමය, නේපාලය, වියට්නාමය, ලාඕසය ආදී බෞද්ධ රටවල් රැසක භික්ෂූන් වහන්සේ ඉංග්‍රීසී මාධ්‍යයෙන් පිරිවෙන් විෂය මාලාව හදාරමින් සිටීම විශේෂත්වයකි.

ඒ සියලු දෙනා වහන්සේ දෙමළ භාෂාව ද විෂයක් ලෙස හදාරමින් සිටිති. දෙමළ භාෂා අංශයෙන් ජාතික හා පළාත් මට්ටමින් ජයග්‍රහණ රැසක් හිමිකර ගැනීමට මෙහි අධ්‍යාපනය ලබන භික්ෂුන් වහන්සේලා සමත්ව තිබේ.

අන්තර් පාරිවේණික භාෂා හා සාහිත්‍යය තරඟාවලියේ දෙමළ භාෂා අංශයේ මහනුවර දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට කඩිගමුවේ ධම්මසිද්ධි හිමියෝ පසුගිය වසරේදී සමත් වූහ. පූර්ව ප්‍රාථමික අංශයේ ප්‍රථම ස්ථානය එම අංශයෙන් හිමිව තිබෙන්නේ බෝගමුවේ ගුණරතන සාමනේර හිමියන්ටය.

“බුදුන් වහන්සේ දේශනා කළේ උන්වහන්සේගේ නිර්මල දහම ලෝක සත්ත්වයාට අනුකම්පා පිණිස ගමින් ගමට ගොස් දේශනා කරන්න කියලයි.වර්තමාන ලෝකය ගැටුම්වලින් පිරුණු එකක්. එදාට වඩා අද ලෝකයට ආගමික ශාස්තෘන් වහන්සේලා දේශනා කළ සැබෑ ධර්මයේ අවශ්‍යතාව තදින් දැනෙනවා.

භික්ෂූන් වහන්සේලා ලෙස අපට මෙහිදී විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා. බෞද්ධ භික්ෂූන් ලෙස අපි මේ රටේ සෙසු ජනතාවද ආමන්ත්‍රණය කළ යුතුයි. ධර්ම ප්‍රචාරයට සෙසු භාෂා දැනුම අත්‍යවශ්‍යයි. බෞද්ධ භික්ෂුව ඉංග්‍රීසි දැනුමෙන් පොහොසත් නැත්නම් බුදු දහම ලෝකයේ ප්‍රචලිත කිරීම ප්‍රායෝගිකව කරන්න බැහැ.

ඒ වගේමයි දෙමළ භාෂා දැනුම අපට නැත්නම් අපට උතුරේ දෙමළ ජනතාව ආමන්ත්‍රණය කරන්න බැහැ.
මේ තත්ත්වය අපේ වත්මන් පරිවේනාධිපති නාරංපනාවේ ආනන්ද නායක හිමියන් මනාව තේරුම් ගෙන පිරිවෙනේ අධ්‍යාපනය ලබන භික්ෂූන්ට දෙමළ භාෂා දැනුම ලබා දෙන්න තීරණය කළා”යි කඩිගමුවේ ධම්මසිද්ධි හිමියෝ පවසති.

අස්ගිරි පරිවේනාධිපති නාරංපනාවේ ආනන්ද හිමියන්

“මේ පිරිවෙනේ 1996 ඉඳලා ඉංග්‍රීසි භාෂා මාධ්‍යයෙන් ධර්ම කරුණු උගන්වනවා. දෙමළ භාෂාව උගන්වන්න පටන් ගෙන දැන් අවුරුදු පහක් පමණ වෙනවා. සෑම ආගමික ශාස්තෘන් වහන්සේ නමක්ම දේශනා කර තිබෙන්නේ අහිංසාව පෙරදැරිවයි. ඒත් අනුගාමිකයන් ඒ ධර්ම කරුණු වලට පටහැනිව ක්‍රියා කරනවා. බුදුන් වදාළ අහිංසාවාදයේ පණිවිඩය දෙමළ ජනතාව අතරට නිවැරදිව ගෙන යන්න නම් භික්ෂූන් වහන්සේලාට දෙමළ භාෂා දැනුම අත්‍යවශ්‍යයි. මා මේ උත්සහ කරන්නේ ඒ හිඩැස යම් තරමකින් හෝ පුරවන්නයි” යැයි අස්ගිරි පරිවේනාධිපති නාරංපනාවේ ආනන්ද හිමියෝ ප්‍රකාශ කරති.

බුදුන් වදාළ ධර්මයේ අර්ථානුගත සත්‍යය අස්ගිරි පිරිවෙන තුළ ස්ථාපිතව තිබේ. ජාති, ආගම් බේද නොමැති මිනිසත්කම අගයන සමාජයක් ගොඩ නගන්නට මෙම සබැඳියාව භික්ෂූ පරපුරට මනා පිටුබලයක් සපයනු ඇති බව නොඅනුමානය.


අසේල කුරුළුවංශ

Tags
තව දුරටත් කියවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි