සමාජ

ජනපතිගේ ‘සමනල’ වෛරයට බැට වදී

ජනාධිපතිවරයා විසින් දේශපාලන විරුද්ධවාදියකුට පහර ගැසීමට ලිංගිකත්වය ඇඳා ගැනීම දැඩි දෝෂ දර්ශණයට ලක් වී තිබේ.

දේශපාලනික දුර්වලතාවයන්ට පහර දීමට සමරිසිත්වය යොදා ගැනීම සමරිසි පුද්ගලයන්ට එරෙහි භීතියක් ඇති කිරීමට හේතුවන බවයි සමකාමී අයිතීන් වෙනුවෙන් පෙනී සිටින නීතිවේදියෙක් හා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් අවධාරණය කරන්නේ.

“රනිල් වික්‍රමසිංහ අගමැතිට පහර ගහන්නට ජනාධිපති මෛත්‍රීපාල විසින් සමනලයින් ගැන කතාවක් කියා සිටියා. ඒ කතාව අසා සිටි පිරිසක් ජනාධිපතිගේ ඒ කතාවට එකඟතාවය පෙන්වමින් හුරේ දැම්ම. මේක ඉතා භයානක තත්වයක් හැටියටයි මම දකින්නෙ. වික්‍රමසිංහ අගමැති‌ගේ දේශපාලනික දුර්වලතා ඔහුගේ සමරිසිත්වය සමඟ ඈඳා ගැනීම නිසා සමරිසි පුද්ගලයන්ට එරෙහිව භීතිකාවක් ඇති කිරීමට ජනාධිපතිගේ ප්‍රකාශයට හැකි වෙනවා.” යි ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් සිලෝන් නිව්ස් වෙත ලියා එවා තිබේ.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශය හරහා මෙරට සමලිංගික ප්‍රජාව බරපතල පීඩා කාරී අනාරික්ෂිත තත්ත්වයකට ඇඳ දමන බව පෙන්වා දෙන ආචාර්යවරයා සමරිසි පුද්ගලයන්ට අපහාස කිරීමට ඕනෑම කෙනෙකුට හිතු මතේ කළ හැකි දෙයක් බවට එම ප්‍රකාශය මග පාදන බවට චෝදනා කරයි.

මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් ආණ්ඩුවකට සහාය ලබා ගැනීම පිණිස පැවැති පළමු ජන හමුවේදී තමන් ජනාධිපති ධුරයට ඔසවා තැබු එජාප රජයේ තීන්දු ගැනීමේ ක්‍රියාවලිය වෛරක්කාරී ලෙසින් හෙලා දුටු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තීන්දු ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡා කළ පිරිස් හඳුන්වන ලද්දේ “සමනල කණ්ඩායමක්” ලෙසිනි.

එම ප්‍රකාශයට මහින්ද රාජපක්ෂ හා දිනේෂ් ගුණවර්ධන වැනි මන්ත්‍රීවරු දැක්වු ප්‍රතිචාරය දෝෂ දර්ශණයට ලක් කරන විසාකේස චන්ද්‍රසේකරම් මෙවැනි ප්‍රකාශ සමරිසි ප්‍රජාවට එරෙහිව පමණක් නොව කුමන හෝ අනාරක්ෂිත සුළුතර වාර්ගික සහ ආගමික ජන කොටස් වලට ද එල්ල කරන ලද ප්‍රහාරයක් ලෙස හෙලා දැකිය යුතු බවයි පවසන්නේ.


රනිල්ගේ නොතකා හැරීම

අගමැති රනිල් විසින් කිසිදු විටක සමරිසි අයිතීන් වෙනුවෙන් අබමල් රේණුවක කාරියක් ඉටු කර නැති බව සිහිපත් කරන දෙන නීතිවේදී විසාකේස ඔහුගේ ලිංගික දිශානතියට පහර දීම රටේ ගෞරවාන්විත ජීවිත ගත කරන සමරිසි පුරවැසියන්ට එරෙහිව දරුණු හිංසනයක් මුදා හැරීමට ඉඩ කඩ විවෘත වනු ඇති බවට බිය පළ කරයි.

“අගමැති වික්‍රමසිංහ කිසිඳු විටෙක ලංකාවේ සමරිසි වැසියන් වෙනුවෙන් අබමල් රේණුවක කාරියක් ඉටු කොට නැත. ලංකාවේ සමරිසි වැසියන් සිර ගත කළ හැකි අපරාධ නීතිය ඉවත් කරන්නට කිසිඳු උත්සාහයක් ගෙන නැත. ඒ වගේම ඔහු විසින් දුන් යහපාලන පොරොන්දු සියල්ල අමු අමුවේ උල්ලංඝනය කළ ආකාරය ගැනත් මට බරපතල විවේචනයක් තිබේ. එහෙත් ඔහුගේ එම ක්‍රියා කලාපයට ඔහුගේ ලිංගික දිශානතියන් ඈඳා ගැනීමේ කිසිඳු පදනමක් නැති අතර එවැන්නක් කිරීමෙන් මේ රටේ ගෞරවාන්විත ජීවිත ගත කරන සමරිසි පුරවැසියන්ට එරෙහිව දරුණු හිංසනයක් මුදා හැරීමට ඉඩ කඩ විවෘත වෙනු ඇත.”

අගමැති රනිල්ගේ සමරිසිත්වය හෝ ජනපතිගේ විෂම රිසිත්වය ඔප්පු කිරීමට තමන් සතුව සාක්ෂි නොමැති බව පවසන ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් ඔවුන්ට ද තම නිදි යහනේ පුද්ගලික සහ රහසිගත භාවයක් තබා ගැනීමට අයිතියක් ඇති බැවින් “අගමැති වික්‍රමසිංහට පහර ගැසීමට අවශ්‍යනම් ජනාධිපතිවරයා විසින් තර්කානුකූල දේශපාලනික හේතු යොදා ගත යුතුය.” යන්න අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button