විශේෂාංග

රුපියලේ වැටීම සහ රටේ සංවර්ධනය

ලංකාවේ ආර්ථිකය පිළිබඳව මේ දිනවල විවේචනයට ලක්වෙනවා. එක පැත්තකින් රජයේ භෞතික සංවර්ධනය යම් ආකාරයකට අඩාළ වීමක් ගැන කතා කරනවා. අනෙක් අතට ජනතාවට දැරිය නොහැකි ජීවන බරක් ගැන විවේචනයක් තියෙනවා. මේ විවේචනය වැඩිපුරම සාකච්ඡා වෙන්නේ දේශපලාන විවේචනය තුළ. මෙරට පැවැති සංවර්ධන වේගය විශාල වශයෙන් අඩපණ වූ බව ඔවුන් බෙහෝ දෙනා කියනවා. කෙසේ වුවත් මෙම විවේචනය කළ යුතු වන්නේ මෙරට සමාජ දේශපාලන වාතාවරණය පිළිබඳව පමණක් සැලකීමෙන් නෙමෙයි. ලෝක දේශපාලනයේ සහ ආර්ථිකයේ හැසිරීම අපේ රටේ ආර්ථිකය තීරණය කරන්න හේතු වනවා. අද සමස්ත ලෝක යාන්ත්‍රණයම පවතින්නේ යම් ආකාරයක ආර්ථික අර්බුදයක. ලෝකයේ සියලුම රටවල ආර්ථික වර්ධන වේගය කඩා වැටීමක් තියෙනවා. ලංකාව කියන්නේ ඒ අර්බුදයට නතු වූ තවත් එක රටක් විතරයි.

මෙම ආර්ථික අර්බුදයට බලපෑ ප්‍රධානම හේතුව වුණේ ඇමෙරිකානු දේශපාලන පරිවර්තනය සහ ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තිවල වෙනස් වීම්. ඒකත් එක්ක ලෝකයේ සියලු රටවල ආර්ථික වර්ධනය කඩා වැටීමකට ලක් වුණා. මෙහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය සති කිහිපය තුළ ඩොලරයට සාපේක්ෂව ඉන්දියානු රුපියල ඉතිහාසයේ දරුණුම කඩා වැවීම ගැන කතා කරද්දි ඒකත් එක්ක අනෙක් රටවල කරපු බලපෑම ගැන නොසොයනවා නම් අපිට ඇත්ත අර්බුදය සොයාගන්න අපහසුයි. ලංකාවට අනන්‍ය වූ දෙයක් වගේ පෙණුනට මෙම ආර්ථික අර්බුදය ලෝකයටම පොදු තත්ත්වයක්.

අද ජීවන වියදම සැලකිල්ලට යොමු කළ විට භාණ්ඩ හා සේවා මිල ඉහළ යෑමේ යම් අඩුවක් දක්නට ලැබෙනවා. දේශපාලන වේදිකාවේ 2015ට පෙර සහ පසු තත්ත්වයන් සංසන්දනය කරමින් කතා කරන බව අපි දකිනවා. නමුත් ජීවන වියදම අතින් ගත්තම අපි තවමත් ඉන්නේ 2014 ට වඩා පහළින්. නමුත් නිතරම පාරිභෝගිකයාගේ වියදම් මූලාශ්‍ර වැඩි වනවා. ඒ කියන්නේ අපේ ජීවිතවල අලුතෙන් වියදම් එකතු වෙනවා. ඒ වියදම් එකතු වීමත් එක්ක කොයිතරම් ආදායම් වැඩි වීම් සිදු වුණත් ඒක දැනෙන්නේ නැහැ. 2015 මේ රජය ඇවිල්ලා රුපියල් 10,000ක රාජ්‍ය සේවයේ පඩි වැඩිවීම් කළා. නමුත් වියදම් මූලාශ්‍ර වැඩිවීමත් එක්ක ජීවන වියදම ඉහළ යාම වළක්වන්න බැහැ.

අනෙක් අතට මේ රජයට තිබෙන චෝදනාවක් වන්නේ නිසියාකාරව භෞතික සංවර්ධනයක් සිදු වන්නේ නැහැ කියන කාරණය. උදාහරණයක් විදියට මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ දකුණු අධිවේගී මාර්ගය ඉදිවෙනවා. කටුනායක කොළඹ අධිවේගී මාර්ගය ඉදිවෙනවා. වරායක් සහ ගුවන්තොටුපොළක් හැදෙනවා. වර්තමාන රජය යටතේත් මහාමාර්ග ව්‍යාපෘති 16ක් ක්‍රියාත්මක වෙනවා. අභ්‍යන්තර ගුවන්තොටුපොළ 10ක් හදනවා. නමුත් මේ කිසිදු දෙයකට රජය ප්‍රමාණවත් ප්‍රසිද්ධියක් ලබා දෙන්නේ නැහැ. ඒ නිසා මේ රජය සංවර්ධන ක්‍රියාවලිය අලෙවි කිරීමේ දුර්වලතාවක සිටින බවයි මගේ අදහස. ඒ නිසා ජනතාවට දැනෙන්නේ අපේ රට එකතැන සිරවී සිටින බවත් ආර්ථික වශයෙන් ආපස්සට යමින් සිටින බවත්. ඒ නිසා ආර්ථික වශයෙන් කඩා වැටීමක් තියෙනවා කියලා. කෙසේ නමුත් ජනතාව මේ ආණ්ඩුව යටතේ මීට වඩා වේගවත් සහ ධනාත්මක සංවර්ධනයක් බලාපොරොත්තු වුණා. ජනතාව 2015 බලාපොරොත්තු වුණා. ජනතාව 2015 බලාපොරොත්තු වූ සංවර්ධන තලයට ගමන් කරන්න මේ ආණ්ඩුව තවමත් අපොහොසත් වුණා. මහින්ද රාජපක්ෂ මහත්තයාට තිබුණ අභියෝගය වුණේ ඔහුට ජාත්‍යන්තර වශයෙන් සහයෝගයක් තිබුණේ නැහැ. විශේෂයෙන් යුරෝපා ප්‍රජාව වැඩ කළේ ඔහුගේ ආණ්ඩුවට විරුද්ධව. මේ ආණ්ඩුව යුරෝපා ප්‍රජාව සහ ආසියානු ප්‍රජාව කියන දෙගොල්ලන්වම සමබරව පවත්වාගෙන යනවා. මේ නිසා අපිට කාලයත් තිස්සේ අහිමිව තිබුණු GSP+සහනය ලැබුණා. ඒ යටතේ අපිට භාණ්ඩ 7,200ක් බදු නැතිව අපනයනය කරන්න පුළුවන්. නමුත් අපි ඒ සහනයෙන්වත් තවම ප්‍රයෝජනයක් අරගෙන නැහැ. පසුගිය අවුරුදු කිහිපය තුළ අපනයන වර්ධන වේගයට ට්ඉර්ථී+ සහනයෙන් ප්‍රමාණවත් දායකත්වයක් ලබා ගැනීමට රජය සමත් වී නැහැ. රජය මෙම සහනය දිනාගන්න සමත් වුණත් ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න අසමත් වෙනවා. ඒ පිළිබඳව ව්‍යාපාරිකයින් දැනුවත් කිරීමට හෝ ව්‍යාපාරිකයින් බද්ධ කර ගැනීමට රජය සමත් වී නැහැ. බලාපොරොත්තු වූ සංවර්ධන වේගය ඔවුන්ට අත්පත් කරගන්න බැරිවුණේ ඒ නිසයි.

රුපියලේ අවප්‍රමාණය

රුපියල අවප්‍රමාණය කියන කාරණයේදී අපි අවබෝධ කර ගත යුතු කරුණු කිහිපයක් තියෙනවා. ඇයි අපේ රටේ රුපියල අවප්‍රමාණය වුණේ? ඊට කරුණු කිහිපයක් බලපෑවා.

ඇමෙරිකානු ට්‍රම්ප් පාලන සමය තුළ ඇති කළ ආර්ථික ප්‍රතිපත්ති බලපෑම

ට්‍රම්ප් පාලනය ඔබාමාගේ පාලනයට වඩා වෙනස්. ඔහුට අවශ්‍ය වුණේ අභ්‍යන්තරික පාලනය හරහා ලෝකය ජයගන්න. ඒ නිසා ඔහු තම ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කරලා ඇමෙරිකාවේ පොලී අනුපාතය සැලකිය යුතු මට්ටමකින් ඉහළ දැම්මා. ඒකත් එක්ක විදේශ රටවල ආයෝජකයින් තමන්ගේ ආයෝජන අරගෙන නැවත වරක් තමන්ගේ රටට ගියා. හොඳම දේ තමයි ලංකාවේ ආයෝජකයින් 25ක වඩා අද වනවිටත් ඇමෙරිකාවේ ආයෝජන පටන් අරගෙන තිබෙන බව ෆෝබ්ස් සඟරාව පෙන්වා දෙනවා. ඒ කියන්නේ අපේ ආයෝජන විශාල ප්‍රමාණයක් ඇමෙරිකාවට ගලාගෙන ගියා. ඒ කියන්නේ හැම රටකම වගේ ඩොලර් හිඟයක් ඇතිවෙලා ඩොලරයේ වටිනාකම ඉහළ යනවා. එතැනදී අනිවාර්යෙන්ම රුපියල කඩා වැටීම සිදු වනවා.

ඛනිජ තෙල් මිල ගණන් සැලකිය යුතු මට්ටමකින් ඉහළ යෑම

ඛනිජ තෙල් මිල ගණන් වටිනාකම් කරන්නේ ඩොලර්වලින්. මේ නිසාත් ඩොලරයේ වටිනාකම ඉහළ යනවා.
ලංකාවේ රජය ප්‍රතිපත්තිමය තීරණයකට ගියා රුපියලේ වටිනාකම නැත්නම් විදේශ විනිමයේ වටිනාකම, පාවෙන නිදහස් වෙළෙඳපොළක් තුළ තීරණය කරන්න.

ඒ කියන්නේ පාවෙන අනුපාතයක්. එහිදී රජය කිසිදු ආකාරයක විනිමය පාලනය කිරීමක් සිදු කරන්නේ නෑ. විනිමය මිල තීරණය වන්නේ විනිමය සඳහා වන ඉල්ලුම හා සැපයුම මත. මෙලෙස පාලනයෙන් තොර වූ සැණෙණින් රුපියලේ නිවැරදි වටිනාකම මතුවන්නට පටන්ගන්නවා.

අපේ රටේ ඩොලර් සඳහා තිබුණු ඉල්ලුම සහ සැපයුමට ඇති වූ වෙනස්කම්

ඉල්ලුම කියන කාරණය ගත් විට භාණ්ඩ ආනයනය කරද්දි අපෙන් ඩොලර් ඉල්ලනවා. අපි ඒ සඳහා ගෙවන්න ඕනේ. සැපයුමේදී අපිට ඩොලර් ලැබෙන්නේ අපි අපනයනය කරන භාණ්ඩ සඳහා. ඩොලර් ආදායමක් එනවා නම් ඒ කියන්නේ අපනයන හා කර්මාන්ත හරහා. ඩොලර් ලැබෙනවා නම් ඒකට කියනවා ඩොලර් ආදායමක් හෙවත් ඩොලර් ඉල්ලුම වැඩි වීමක් වෙනවා කියලා. දැන් අපිට වෙලා තියෙන්නේ ඩොලර් සැපයුමට වඩා ඩොලර් ඉල්ලුම විශාල වශයෙන් වැඩිවෙලා. අපේ ආනයන අපනයන පරතරය 100% ක්. ඒ කියන්නේ අපි රුපියල් දෙකක භාණ්ඩ ආනයනය කරනවා. මෙන්න මේකත් එක්ක අපේ ඩොලර්වලට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. ඩොලර්වලට තියෙන වටිනාකම ඉහළ යෑම පාලනය කරන්න නොහැකි තත්ත්වයක් උද්ගත වී තියෙනවා.

අපි කොහොමද ඩොලර් සැපයුම වැඩි කරන්නේ?

ඒකට අපිට පුළුවන් අපේ සංචාරක කර්මාන්තය පාවිච්චි කරන්න. ඒ වගේම අපේ අපනයන වැඩි කර ගැනීම, විදේශීය ආයෝජන වැඩි කර ගැනීම සම්බන්ධයෙන් හිතන්න සිදු වෙනවා. ඒ විතරක් නෙමෙයි ඩොලර්වලට තියෙන ඉල්ලුම අඩු කරගන්නේ කොහොමද කියලත් අපිට හිතන්න සිදුවෙනවා. ඒ සඳහා අපිට අපෛ් ආනයන සීමා කරන්න සිදු වනවා. ණය ගෙවීම වෙනුවෙන් ඩොලර්වලට විශාල ඉල්ලුමක් තියෙනවා. අපිට ඒක පාලනය කරන්න බැහැ. නමුත් අපිට ආනයන ආදේශක කර්මාන්තවලට යන්න පුළුවන් නම් ආනයනය පාලනය කරන්න පුළුවන්. ලංකාවේ සීනි කර්මාන්තශාලා කිහිපයක් තියෙනවා. ඒවා අද අකර්මණ්‍ය වෙලා. නමුත් අපි පරිභෝජනය කරන සීනි ප්‍රමාණයෙන් 85%ක් අපේ රටට ආනයනය කරනවා. ලංකාවේ උක් වගා කිරීමේ හැකියාවක් තියෙද්දි ඇයි අපිට බැරි විශාල මුදලක් වැය කරලා කරන සීනි ආනයනය නතර කරන්න ? අපිට පුළුවන් දේවල්වත් අඩුම ගානේ මේ රටේ නිෂ්පාදනය කරන්න බැරි නම් එහි ප්‍රතිඵලය මෙවැන්නක් වීම අරුමයක් නෙමෙයි. ආනයන අධෛර්යමත් කරන්න නම් ආනයන ආදේශන කර්මාන්තවලට යන්න වෙනවා. ඒ සඳහා අනිවාර්යෙන් රජය මැදිහත් විය යුතුයි.

රුපියල කඩා වැටීම රටේ සංවර්ධනයට බලපාන හැටි

ඩොලරය වැඩිවන විට අපේ ආනයනික භාණ්ඩවල මිල වැඩි වෙනවා. ආනයනික භාණ්ඩ මිල වැඩි වෙනවා කියන්නේ ජනතාවගේ ජීවන වියදම වැඩි වෙනවා. ඒ කියන්නේ උද්ධමනය වැඩි වෙනවා. ඕක ධනාත්මකව ගත් විට රජය හැම තිස්සෙම බලන්න ඕනේ ආනයන මිල වැඩි වන විට ඒ ආනයනවලින් හැකි තරම් ආනයන ආදේශන කර්මාන්තවලට යොමු වෙන්න.

අපනයන පැත්තෙන් ගත් විට ඩොලරය වැඩි වෙනවා කියන්නේ අපේ අපනයන කර්මාන්තය වැඩි කරගන්න ඉතාම හොඳ අවස්ථාවක්. ඒ වගේම රුපියලේ අගය අව ප්‍රමාණ වීමත් සමග සංචාරකයින් අකාර්ෂණය කරන්න ඉතාම හොඳ අවස්ථාවක් නිර්මාණය වෙලා තියෙනවා. සමහර මැති ඇමැතිවරුන් ප්‍රකාශ නිකුත් කළා රුපියල කඩා වැටීම මේ රටේ ආර්ථික වර්ධනයට බලපානවා කියලා. ඒකෙන් ඔවුන් අදහස් කළේ රුපියල අවප්‍රමාණය වීම හරහා විදේශ වෙළෙඳපොළ වෙත භාණ්ඩ අපනයනය කිරීමේ විශේෂ හැකියාවක් වර්ධනය වී ඇති බව. නමුත් අපි සිතිය යුත්තේ අපේ අපනයන කර්මාන්තයේ ප්‍රධාන ආදායම් මාර්ගය වන ඇඟලුම්වල අපනයනය වැඩි වුණත් ඒ සඳහා යන අමුද්‍රව්‍ය අපි ආනයන කරනවා නම් අපනයනයන ආදායමෙන් වැඩක් නැහැ. ඇඟලුම්වලට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය මිල වැඩි නිසා කොයිතරම් අපනයන මිල වැඩි වුණත් තේරුමක් නැහැ. මේ තියෙන ආර්ථික ව්‍යුහය තුළ රුපියල පාලනය කර ගැනීමේ හැකියාවක් අපට නැති බව තමයි පෙනෙන්න තියෙන්නේ. අපි විශේෂයෙන් අවධානය යොමු කළ යුතු වන්නේ ආනයන ආදේශක භාණ්ඩ සම්බන්ධයෙන් සහ මේ රටේ නිෂ්පාදනය කළ හැකි අපනයන භාණ්ඩ සම්බන්ධයෙන්. නිෂ්පාදන ආර්ථිකයක් රට තුළ නිර්මාණය කිරීමෙන් ඩොලරයේ කඩා වැටීම යම් ආකාරයකට පාලනය කළ හැකි වනවා. අපි කටයුතු කළයුතු වන්නේ ඒ වෙනුවෙන්.

සහනාධාර ආර්ථිකය

මේ රටට සහනාධාර ආර්ථිකයක් නොගැළපෙනවා කියලා මම පෞද්ගලිකව විශ්වාස කරනවා. සමස්තයක් හැටියට ගත් විට අදවන විටත් අපේ රටේ පවුල් 43%ක් යැපෙන්නේ සමෘද්ධියෙන්. වත්මන් රජය ඉතාම ආඩම්බරයෙන් කියනවා අපි තව ලක්ෂ 5 1/2 ට සමෘද්ධිය දෙනවා කියලා. ඒකේ තේරුම තමයි මේ රටේ තව ලක්ෂ පහමාරක් දුප්පතුන් කරනවා කියන එක. මොන සංවර්ධනය සිදු වුණත් අපේ රටෙන් භාගයක් සමෘද්ධියෙන් යැපෙන දුප්පතුන්. මේක තමයි ඇත්ත. මේක රටේ සංවර්ධනයක් වෙන්න බැහැ. අපේ රටේ ක්‍රියාත්මක වන්නේ ආර්ථික ප්‍රතිපත්තිය යට කරගත් දේශපාලන ප්‍රතිපත්තියක්. ඒකයි රජයට හිතුමනාපේ භාණ්ඩ මිල අඩුවැඩි කිරීම් පවා කරන්නේ. ඒ දේවල් විද්‍යාත්මකව සිදු කරනවා නම් මැතිවරණ සමයේ භාණ්ඩ මිල පහත දැමීම සිදු වන්න බැහැ. ඉතාම මෑතකදී ගෑස්මිල වැඩි කරලා නැවත ගෑස් මිල පහත දමනවා. මේ වැනි තීරණ ගත යුත්තේ ආර්ථික සංවර්ධන කමිටුව මගින් වුණත් මේවා ගන්නේ දේශපාලනඥයන් විසින්. අපේ රටේ අසාර්ථභාවයට හේතුවෙලා තියෙන්නේ මෙන්න මේ කියන දේශපාලනය අරක්ගත්ත ආර්ථික ක්‍රියාවලියයි.


ආචාර්ය අමින්ද මෙත්සීල පෙරේරා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button