විශේෂාංග

මේ මාසෙට අලි 6ක් ඉවරයි…. ලංකාවටම තවත් අලි ඉන්නේ 5000ක් වත් නැති තරම්….

ටික කාලෙකට කලින් මුහුණු පොතේ හරි අපූරු පිංතූරයක් ෂෙයා වුණා. ඒ පිංතූරයේ තිබුණේ පරණ පුංචි ගෙදරක දොරක්. ඒ දොරේ අලවපු සුදු පාට කොලේක පුංචි දරුවෙක් අලියෙක් අමතලා ලියපු ලියුමක් තිබුණා. අලියාට ළමයා ලියපු ලිපියේ සාරාංශය වුණේ අලියා නිසා ළමයාගේ පවුලේ අය මේ ගෙදර දාලා යන බවත් අලියා නිසා තමන්ගේ පවුලේ අයට උන් හිටි තැන් අහිමි වුණු බවත් කියන කාරණයයි. ඒ ලිපිය ඉතාම සංවේදී එකක්. ඒ ළමයාගේ වගේම තවත් දරුවන්ගේ වැඩිහිටියන්ගේ ගෙවල් අලින් විසින් ඕනෙ තරම් කඩලා දාලා ඇති. ඥාතීන් මිත්‍රයින් මරා දාලාත් ඇති. වගා පාළු කරලා මුළු සේසතම නැති කරලා දාලාත් ඇති. ගම්බිම්වලට වැදුණු අලි ගම්මාන පිටින් විනාශ කරලා දාපු අවස්ථාත් ඇති. ඒ ඔක්කොම ඇත්තයි. ඒ විදියට අසරණ වුණු මිනිස්සු ඇත්තටම පව් තමයි. ඒක සිද්ධ වුණේ අපිට නම් අපිට කොච්චර දුකක් කනගාටුවක් ඇති වෙනවා ද කියලා අපිම හිතා බලන්න ඕනෙ. එතකොට අපිට ඒ හැඟීම තේරුම් කර ගන්න පුළුවන්.

ඒ වගේම ලංකාවේ අලි ඇත්තු ගහණයත් ඉතාම සීග්‍රයෙන් අඩු වෙමින් පවතිනවා. හරියටම කියනවා නම් 19 වෙනි සියවස අවසාන වෙද්දි ලංකාවේ ජීවත් වුණු අලි ඇත්තු ගහණය 12000 ක් 14000 ක් විතර වුණා. 20 සියවසේ මුල් කාලය වෙද්දි එය 10000 ට අඩු වුණා. 1920 ත් 1950 ත් අතර කාලෙ වෙද්දි ලංකාවේ ජීවත් වුණේ අලි ඇත්තු 7000 ක් 8000 ක් අතර ප්‍රමාණයක් විතරයි. අවසන් වතාවට 2011 අවුරුද්දේ සිදු කළ සංගණනයට අනුව අපිට හිමි වෙලා ඉන්න අලි ඇත් ගහනය 5000 ත් 6000 ත් අතර ප්‍රමාණයක්. හොඳට මතක තියා ගන්න ඕනෙ කාරණය තමයි මේ විදියට අවුරුදු 100 ක් තුළ හරි අඩකින් අඩු වෙලා තියෙන්නේ ඩෙංගු මදුරු ගහණය එහෙම නෙවෙයි. මේ අලි ඇත් ගහණය. අපි බොහොම ආඩම්බරයෙන් අපේ ශ්‍රී දළදා කරඬුව පිට උඩ තියලා වඩම්මන ඇත්තු ගහණය. “මේ තමයි අපේ ප්‍රෞඪත්වය” කියලා මුළු ලොකෙටම පෙන්වන්න හිටපු අලි ඇත් ගහණය.

අලි මිනිස්සුන්ව මරා දමන වේගයටත් වඩා වැඩි වේගයකින් මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් නිසා අලි ඇතුන් මිය යනවා. මෑතකම සිදුවුණු සිදුවීම ගැන මතක් කළොත් සැප්තැම්බර් මාසෙ දවසක කොළොන්නාවෙ ඉඳලා මඩකලපුවට ඉන්ධන අරගෙන ගිය යකඩ යකාගෙ හැප්පිලා සද්ධන්ත අලි හතර දෙනෙකුගේ සද්ධන්ත ජීවිත නිමා වුණු අනතුර ගැන අහද්දි දකිද්දි අනේ පව් කියලා කියවුණු අය ඕනෙ තරම් ඉන්න ඇති. අලි නිසා මිනිස් ජීවිතවලින් වන්දි ගෙවන්න සිදුවුණු අය ගැන අහලා අනේ පව් කියලා කියපු අයත් ඕනෙ තරම් ඉන්න ඇති. ඇත්තටම මේ දෙපිරිස අතරින් වැඩිපුර පව් කාටද?

පව් කාටද කියන එක ගැන හොයන්න කලින් කියවන්න හොඳ පොත් කීපයක් තියනවා කියවන්න. එකක් තමයි රොබර්ට් ස්ටැන්ඩිෂ් ලියපු Elephant walk කියන පොත. ඒ පොත කොළොන්නගේ මහත්මයා “අලි පාර” නමින් පරිවර්තනය කළා. මේ පොතේ තියෙන්නේ හරිම අනුවේදනාත්මක කතාවක්. අලි පවුලක් හැමදාම ගමන් කරන පාරක් එළි පෙහෙළි කරලා තමන්ට ජීවත් වෙන්න දැවැන්ත නිවසක් ඉදි කරගත්තු වලව්කාරයෙකුගේ ඉරණම ගැනත් ඒ පුද්ගලයාගේ දරුවන්ට අත්දකින්න සිදුවුණු දේවල් ගැනත් මේ පොතේ හරිම ලස්සනට සඳහන් වෙනවා. හිටපු වනජීවී නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙකු වුණු වෛද්‍ය නන්දන අතපත්තු මහත්මයා ලියපු “අවසන් කුංචනාදය” කියන පොත වගේම “අලි ඇත්තු සහ මනු සත්තු” වගේ පොත් හොඳ සිහියෙන් කියෙව්වොත් ඉහත ප්‍රශ්නයට හොඳම පිළිතුර නිකන්ම ලැබෙනවා.

පිළිතුර පැහැදිලි කර ගන්න හොඳ උදාහරණයක් දෙන්නම්. ගමක ජීවත් වෙන මිනිසුන් පිරිසක් එකතු වෙලා ගම්මානයේ ජීවත් වෙන ගමන් කැලෑව එළි කරලා වගා කරනවා. කාලයක් යද්දි ඒ අයගේ දරුවන් නගරයට ඇවිත් වෙනත් රැකියාවන් කරන ගමන් දෙමාපියන්ගේ වගාබිම් ඉවත් කරලා ඒවාගේ ගෙවල් හදලා පදිංචි වෙනවා. මේ විදියට අවුරුදු 50 ක් 60 ක් යද්දි ගම්මානය විශාල වෙලා දියුණු වෙනවා. කැලෑව කුඩා වෙලා නැති වීගෙන යනවා. කැලෑ සත්තු වඳවීගෙන යනවා. ඇඟේ පතේ හයි හත්තිය නැති පුංචි සතුන් වඳ වී ගෙන යන අතරෙ ඇඟේ පතේ හයි හත්තිය තියෙන විශාල සතුන් තමන්ගේ වාසස්ථාන වෙනුවෙන් මිනිසුන් එක්ක ආරවුල් ඇති කර ගන්නවා. ඔය විදියට තවත් අවුරුදු ගණනාවක් ගත වෙනවා. ඇඟේ පතේ හයි හත්තිය තියෙන විශාල සතුන් නිසා මිනිස්සු මැරෙනවා. මිනිසුන්ගේ ගිනිබට, හක්ක පටස්, කටු කම්බි නිසා ඒ සත්තු මැරෙනවා. පහුගිය අවුරුදු ගණනාවක් පුරා සිද්ධ වුණේ ඔන්න ඔහොම දෙයක්.

ඒ කතාව තවත් පැහැදිලි කරන්න පුළුවන් මෙන්න මේ විදියට. කාගෙ හරි ගෙදරක කාමරයක් කුලියට අරගෙන හිටපු කෙනෙක් අවුරුදු ගණනාවක් ගියාට පස්සේ ගෙදර අයිතිකාරයාව ගෙදරින් එළියට ඇදලා දාලා ගේ අයිති කර ගන්න හදනවා. ඊට පස්සේ කුලියට හිටපු කෙනයි ගෙදර අයිතිකාරයයි රණ්ඩු වෙන්න පටන් ගන්නවා. කවුද එතන හරි? එහෙනම් කලින් කතාවෙ වෙලා තියෙන්නෙත් “හරි ගොවි මහත්තයො පොඩි වගාවක් කර ගන්නකො” කියලා කැලෑවෙන් පොඩි කෑල්ලක් කුලියට දුන්නු කෙනාව මරලා දාන්න තමයි පස්සෙ කාලෙ ගිනි බට බැඳෙන්නේ.

දැන් ඉතින් තීරණය කරන්න වරද කාගෙද? පව් කාටද? කියලා.

(මේක කියවන සමහර අය කියයි ප්‍රශ්නය තමන්ගේ නොවෙන තාක් කල් පිළිතුර දාර්ශනිකයි කියලා. ප්‍රශ්නය කාගෙ වුණත් ඒකෙ මුලට ගියාම එක ඇඟිල්ලක් ඉදිරියට දික් වෙලා ඉතිරි ඇඟිලි හතර තමා වෙතටම දික්වෙලා තියෙන හැටි ඒ හැමෝටම පෙනෙයි. එතකොට අත දිහා බලලා තීරණය කරන්න පුළුවන් දාර්ශනික බව කොච්චරක් ද කියලා)


දුලංජලී මුතුවාඩිගේ

Tags
තව දුරටත් කියවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි