විශේෂාංග

රුපියල් විස්සකට ලංසු තියන කෝටිගාණක් බර හීන

කාෂ්ටක අව්වක, ගෙන්දගම් පොළොවත් එක්ක හරි හරියට හැප්පෙන, තුන්වෙනි පංතියෙ මිනිස්සු කියලා හංවඩු ගහපු මිනිස්සුන්ටත් තියනවා හැබෑ කරගන්න බැරි ලක්ෂරි හීන. තාත්තගෙන් අම්මගෙන් පාරම්පරික දේපළක්වත් නැති, ජීවිත කාලයම හම්බ කළත් ලබාගන්නත් බෑ කියලා දන්න ඒත් කවදම හරි ලැබෙයි කියන බලාපොරොත්තුවෙන්, පොකුරු පිටින් පොරකන හීන අහුරුවලට එකතු වෙනවා හරි අපූරු කොළ කෑල්ලක්. “බලාපොරොත්තු ජීවත් කරවන කොළ කෑලි” මේ තමා ලොතරැයියකට දිය යුතු හොඳම නාමය. තමන්ගේ වාසනාවත් එක්ක එකතු වෙලා, කවදම හරි මවාගත්තු ලක්ෂරි හීනය හැබෑවක් කරගෙන, හීන අස්සේ පිනුම් ගහන්න දාඩිය රසට හුරු වෙච්චි, ලොතරැයි කොළයක් සාක්කුවට දාගන්න හැම මිනිහටම ඕනකමක් තියනවා.

ලංකාවේ හැම අස්සක මුල්ලකම “ලොතරැයි කූඩුව” කියන නාමයෙන් හඳුන්වපු ලොතරැයි මිලදී ගන්න පුළුවන් තැන් හතු පිපිලා වගේ තියෙන්නේ නිකං කියලා හිතන්න පුළුවන්ද? බස් එකට, කෝච්චියට, වැඩපොළට, කඬේට එකී මෙකී නොකී හැම තැනම ටිකට්පත් වෙළෙන්දො මේ තරම් ඇයි? මිනිස්සු දහස් ගණනින් මිලදී ගන්නේ නැත්තං මෙහෙම කඩ කෑලි ලංකාවේ තියෙයිද? මේ තරම් දෙනා තමන්ගෙ ජීවනෝපාය විදියට වාසනාව විකුණන එක තෝරගනීද? මොකද මිනිස්සු තමන්ගේ හීනය කොළ කෑල්ලට දෙන්න දෙපාරක් හිතන්නේ නම් නෑ. උදේට වැඩට යන බහුතරයක් මිනිස්සු ලොතරැයි කූඩුවකට ගොඩ වෙලා තමන්ගේ පුතාගේ උපන් දිනේට, භාර්යාවගේ උපන් දිනේට, විවාහ වෙච්ච දවසට, තමන්ගේ ලග්නෙට, නමේ මුල් අකුරට අංක ගළපලා කොළ කෑලි තෝරගෙන සාක්කුවට දාගන්නවා. බැලූ බැල්මට සාක්කුවට අතෑරගන්න ඒ කොළ කෑල්ල අර හෙම්බත් වෙච්චි මනුස්සයට හීන කන්දක එකතුවක් වෙනවා. උදේට මග හැරුණොත් හවසට අනිවාර්යෙන්ම ගන්න බව දන්න නිසා දෝ බස්වල කෝච්චියක වුණත් ලොතරැයි විකුණන්නන්ගෙන් කිසිදු අග හිඟයක් නෑ.

මිනිස්සුන්ගේ ඔළු ගෙඩි ඇතුළේ මේ හීන, ලොතරැයි අංක පැලපදියම් වෙච්ච ප්‍රමාණය තමන්ගෙ වාසියකට ගත්ත කොටසක් ඒ හීනවලට පොහොර විකුණලා ජීවත් වෙනවා. උදේට නැගිටලා රූපවාහිනිය ළඟට ගිහිං බලන් හිටියොත් එහෙමත් නැත්නම් ගුවන්විදුලිය ඇහුවොත් හරියටම තේරේවි ඒ හීනවලට පොහොර ගේන අලෙවි නියෝජිතයො සඳු, සිකුරු, රාහු, සෙනසුරු, බුධ පෙන්නලා අපෙන් ප්‍රයෝජන ගන්නේ නාමික ජ්‍යොතිෂවේදීන් මිස අනෙකෙක් නොවන වග. තමන්ගෙ ලග්නෙට අනුව අද දවසේ ගත යුතු අංක ටිකයි, අකුරයි,ලග්නෙයි පිළිවෙළටම කියන්න පුළුවන්කම තියෙන්නෙත් ඒ උත්තමයන්ටමයි. හදිසියට කොළයක් ඉරාගෙන ඉක්මනට අංක ලියාගෙන ජීවිතේ ගැටගහගන්න රස්සාවට යන මිනිස්සු ලොතරැයි කූඩු අස්සේ පාට, අංක, අකුරු හොයන්න පටන් ගන්නවා. කපුටෙක් තමන්ගේ ජීරණ ක්‍රියාවලිය සිදු කර ගැනීමේ අතුරු ඵලය අතපසුවීමකින් තමන්ගේ ඇඟට වැටුණොත් වාසනාව ලෙස සලකන මිනිස්සු ටිකට් පස්සේ දුවන්න පටන් ගන්නව ඒ දවසේ වැඩත් ආපස්සට දාලා. ඒ තරම් අන්ධානුරූපී වෙලා ඉන්න බහුතරයකට කපුටා සතෙක් කියලත්, ඒ සතා වාසනාවන්ත නම් කුණු හොය හොයා පාරක ජීවත් වෙන්නේ නැති වගත්, මිනිස්සු වගේම සත්තුන්ගෙත් ජීරණ ක්‍රියාවලියක් සිද්ධ වෙන බවත් අමතක කරලා දානවා.

මිනිසුන් බහුතරයකගේ පර්ස් එකට එබුණොත් සල්ලි ගොඩකට වඩා පිම්බිච්ච ලොතරැයි කොළ කෑලි බලාගන්න පුළුවන්. සීමා රහිතව ටිකට් රංචු පිටින් හිර වෙලා තියෙද්දි ඒ ටිකට්වලට ගියපු මුදල, මාසයකට ඒවායේ එකතුව එකතු කළත් අර ලක්ෂරි හීනවලට පාර කපාගන්න පුළුවන් බව දැන දැනත් තවදුරටත් එකම දේ කරන්න පෙලඹෙනවා. හෙම්බත් වෙවී හම්බ කරගන්න දත කනවට වඩා ටිකට් එකක් ඇදෙයි කියන බලාපොරොත්තුව මිනිස්සුන්ට වටින නිසා වෙන්න ඇති. මොකද අඩුවෙන් මහන්සි වෙලා වැඩියෙන් හම්බ කරන්න තියන කැමැත්ත අද ඊයෙ නෙමෙයි පරිණාමයේ ඉඳන්ම එන එකක් නිසා.

හරියටම කියන්න බෑ ලොතරැයිය මිනිස්සුන්ව රවට්ටනවා කියලා. හැබැයි හැම ලොතරැයි කඩදාසියකම මිනිස්සුන්ගේ ලක්ෂරි හීන කන්දක් එළියට ඇදලා දාලා තියනවා. ඒ තුළින් තව තවත් මිනිස්සුන්ට ආසාව ඇති කරවනවා. දරුවන්ට රට කජු ගොට්ටක් අරන් යන්න තියාගත්තු අන්තිම රුපියල් විස්සත් සමහර තාත්තලා දීලා බලනවා දරුවට රට කජු ගොට්ට වෙනුවට ජීවිතේ දෙන්න පුළුවන් වෙයිද කියලා. නොදැනුවත්ව හෝ දැනුවත්ව මිනිස්සු තමන්ගෙ හීන එක්ක නොතේරෙන සූදුවක පැටලෙන්නෙ හරි සංවේදී බලාපොරොත්තුව එක්ක.

හැම ලොතරැයි කූඩුවකටම සමාන පොදු සාධකයක් තියනවා. ඒ කුණු බාල්දිය. උදේට ටිකට් සිය ගාණක් ගිලගන්න ආශාවෙන් බඩගින්නේ ඉන්න මේ බාල්දිය හවස් වෙද්දී මිනිස්සුන්ගේ කෝටි ගාණක හීන කන්දරාව ගිලිහෙච්ච පීඩනය නිසාමදෝ ගුලි වෙලා පිරෙන්න පටන් ගන්නවා. අතෑරිච්ච හීනය ආයෙමත් ජීවත් කරවන්න ආසාවෙන් පර්ස් එක ඇරලා ආයෙමත් සල්ලි දීලා අලුත් කරගත්තු හීනය සාක්කුවේ දාගන්නවා. ආයෙමත් පුරුදු විදිහට කුණු බක්කියෙ කුස පුරවනවා. එකම දේ ආයෙ ආයෙ සිද්ධ වෙනවා. මොහොතකට නැවතිලා හිතුවොත් අර පිරෙන හිස් වෙන කුණු කූඩය මහා යථාර්ථයක් පැහැදිලි කරනවා. ඒ තමයි මිනිස්සුන්ගෙ මේ පොදි බඳින හීන හැබෑ වුණා නම් ලොතැරැයි කූඩුවකට හිස් වෙන පිරෙන කුණු කූඩයක් අත්‍යවශ්‍ය නැහැයි කියන කාරණාව.


මිෂෙල් ඈන් රොබට්ස්

Tags
තව දුරටත් කියවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි