විශේෂාංග

දුම්වැටි අලෙවිය නතරකළ දොඩම්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අපූරු වික්‍රමය

වෙළෙඳසැල් 675යි, හෝටල් 175යි....

යුද්ධය රිය අනතුරු ස්වාභාවික ආපදා දිනපතා මිනිස් ජීවිත බිලිගන්නා ප්‍රධානම මාරකයක්ය. එහෙත් ලෝකයේ දිනපතා වැඩිම ජීවිත ගණනක් බිලිගන්නා නිහඬ ඝාතකයා වන්නේ දුම්වැටියයි. දුම්වැටිය භාවිතයෙන් හටගන්නා රෝගාබාධ හේතුවෙන් ලෝකයේම වර්ෂයකට මිලියන ප්‍රමාණය මිලියන හයකි. දුම්වැටි භාවිතය හේතුවෙන් ඇති වන රෝගාබාධ හේතුවෙන් ශ්‍රී ලංකාවේ වාර්ෂිකව මියයන ගණන 25000ක් පමණ වේ. මේ අයගෙන් 5% ක් මිය යන්නේ දුම්වැටි භාවිත නොකර අන් අය භාවිත කරන දුම්වැටිවල දුම් ආඝ්‍රාණය කිරීම හේතුවෙනි.

එසේම පිළිකා රෝගීන්ගෙන් 40%කට රෝගය වැලඳී සඳහා ප්‍රධානම හේතුව බවට පත්ව ඇත්තේ දුම්වැටි සහ දුම්කොළ භාවිතය බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවල සඳහන් වේ.

දුම්වැටි භාවිතය ගැන මේ ආකාරයෙන් ලිවීමට හේතු වූයේ කළුතර දොඩම්ගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලකදී ඇති වූ සංවාදයක් කන වැකීම හේතුවෙනි. වෙළෙඳසැලේ හිමිකරුවා හා තරුණයෙකු අතර ඇති වූයේ මෙවැනි දෙබසකි.

“මුදලාලි මට සිගරට් එකක් දෙන්න.”

“සිගරට් නැහැ.”

“මේක හරි වැඩක්නේ කොහේවත් සිගරට් නැහැ.”

එසේ කියමින් තරුණයා ආණ්ඩුවට බණින්න විය.

“ආණ්ඩුවට බැණලා වැඩක් නැහැ. මේක ආණ්ඩුවේ වැඩක් නෙමෙයි. අපේ වැඩක්”

තරුණයා පිටව ගිය පසු මම වෙළෙඳසැලේ හිමිකරුගෙන් විමසා සිටියේ මොකක්ද මේ අපේ වැඩේ කියාය. “මේකයි මහත්තයෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් දොඩම්ගොඩ ප්‍රාදේශීය බල ප්‍රදේශයේ සියලුම වෙළෙඳසැල් හිමියන් ගෙන්වලා සිගරට්වල බලපෑම ගැන දේශනයක් කරලා කරලා අපෙන් ඇහැව්වා අපේ වෙළෙඳසැල්වල සිගරට් විකුණන එක නවත්වන්න කැමතිද කියලා. මේක හොඳ වැඩක් නිසා අපි එකඟ වුණා.”

“ඒ කියන්නේ දැන් දොඩම්ගොඩ කවුරුවත් විකුණන්නේ නැද්ද” කවුරුවත් විකුණන්නේ නැහැ. හොරෙන් විකුණන අය ඇති. ඒත් පේන්න කවුරුත් විකුණන්නේ නැහැ.

මේ වැඩේ හින්දා අපිට හරි පහසුවක් වෙලා තියෙනවා. මොකද හවසට වැඩි හරියක් සිගරට් ඉල්ලගෙන එන්නේ කචල්කාරයෝ. සමහරු ඉල්ලන්නේ ණයට. සිගරට් හතරක් ණයට දුන්නොත් බණ්ඩලය විකිණෙන ලාභය ඉවරයි. මේ වැඩේ හින්දා වෙනදා වාගේ හන්දියේ රස්තියාදුකාරයොත් අඩු වෙලා.

මොහුගේ කතාවට සවන් දුන් මම මේ අලුත් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන පිළිබඳව තොරතුරු දැන ගැනීම සඳහා දොඩම්ගොඩ ප්‍රාදේශීය ලේකම් දර්ශනා රණසිංහ මහත්මියට කතාකොට පසුවදාම ඇයව හමුවුණෙමු. දොඩම්ගොඩ ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශය තුළ දුම්වැටි අලෙවිය නතර කිරීම සඳහා ලේකම්වරිය කළ මෙහෙයුම අප සමග විස්තර කළේ මේ ආකාරයටය.

“මේක අපි මුලින්ම පටන්ගත්තේ ජනාධිපතිතුමාගේ මතින් නිදහස් රටක් සංකල්පයට අනුව. අපි මුලින්ම තුඩුගල හන්දියේ ස්ථිර කටවුට් එකක් ප්‍රදර්ශනය කළා. පස්සේ අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලට ඇතුළු වෙන තැන කටවුට් එකක් ප්‍රදර්ශනය කළා. ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය මතින් තොර කලාපයක් කියලා. ඊට පස්සේ අපි කල්පනා කළා මේක මීට වඩා දුරක් යන්න පුළුවන් කියලා. ඒ අනුව අපි ප්‍රාදේශීය මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු හදලා මේ ගැන සාකච්ඡා කළා. අපිට තේරුණ දෙයක් තමයි දේශන තියලා සම්මන්ත්‍රණ කරලා විතරක් මත්ද්‍රව්‍ය නිවාරණය කරන්න බැහැ කියලා. සමහරවිට ඒ අවස්ථාවලදී වෙන්නේ අලුත් මත්ද්‍රව්‍ය හඳුනා ගන්න එක.

ළමයෙක් මුලින්ම මත්ද්‍රව්‍ය භාවිතයට පෙලඹෙන්නේ දුම්වැටියෙන්. ඒක නතර කරන්න තමයි අපි මුලින්ම අවධානය යොමු කළේ. මුලින්ම අපි නිලධාරින් හතර දෙනෙක් තමයි මේ වැඩේට මහන්සි වුණේ.

දොඩම්ගොඩ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. ඒ දොඩම්ගොඩ, බෝම්බුවල, නෑබඩ වශයෙන්. දොඩම්ගොඩට ග්‍රාමසේවා වසම් 18ක් තියෙනවා. බෝම්බුවලට 17යි. නෑබඩට 10යි. අපි මුලින්ම කළේ කඩහිමියන් ගෙනැල්ලා දැනුවත් කරලා මේ වැඩේට එකඟ කරගැනීම. මේක බලෙන් කරන්න පුළුවන් දෙයක් නොවේ. ඊට පස්සේ අපේ නිලධාරින් ගිහිල්ලා වෙළෙඳසැල් හිමියාගේ අවසරය ඇතුව වෙළෙඳසැලේ ස්ටිරයක් අලවනවා. මෙම වෙළෙඳසැලේ දුම්වැටි අලෙවි කරන්නේ නැහැ කියලා.

දෙවන අදියර බෝම්බුවල කළා. මේ සඳහා ග්‍රාම නිලධාරි, සංවර්ධන නිලධාරි, සමෘද්ධි නිලධාරි කිහිපදෙනෙකු හා තවත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් දෙදෙනෙක් ඇතුළුව නිලධාරින් හත්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ගියා. වැඩේ මුලින්ම පටන්ගත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදිරිපිට තියෙන කඩයෙන්. මේකෙදී අපි ගරුකරන්න ඕන වෙළෙඳසැල් හිමියන්ට මේකට කැමති වීම ගැන.

විශේෂයෙන් මේ ප්‍රදේශයටම තොග බඩු සපයන සේන කඩේ සම්පත් මහත්තයට ගරුකරන්න ඕනේ. මේක ක්‍රියාත්මක කළා වගේම පවත්වාගෙන යන එකත් ලොකු අභියෝගයක්. මේ සඳහා අපි ප්‍රාදේශීය මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු බලාත්මක කරලා තියෙනවා. ඒකට දොඩම්ගොඩ බල ප්‍රදේශයේ තියෙන විහාරස්ථාන 33නේම දායකත්වය ලැබෙනවා. අනිත් එක මේ වැඩේදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් ලැබෙන සහයෝගය ද අගය කළ යුතුයි.

මේ වැඩසටහනේදී අපි කරන තව දෙයක් තමයි ග්‍රාමීය මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු පිහිටුවලා ඒවා බලාත්මක කරන එක. මේක අපි බොහෝ විට කාන්තාවන් දැනුවත් කිරීමත් කරනවා. මේකෙන් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා නීති විරෝධි මත්පැන් මත්ද්‍රව්‍ය ප්‍රශ්නයටත් විසඳුම් හොයන්න.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් නික්මුණ අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට ඇති වෙළෙඳසැලේ හිමිකරු වන අජිත් කුමාර හමු වී දුම්වැටි අලෙවිය නතරකිරීම ගැන කරුණු විමසුවෙමු.

මේ සිගරට් අලෙවිය නතර කළාට පස්සේ මම සිගරට් බොන එකත් නතර කළා. අලෙවිය නතර කරපු එක එකපැත්තකින් අපිට ලාභයක්. මේක කරදරයක් වෙලා තිබුණේ. මොකද සමහරු කඩේ ඇතුළෙම සිගරට් බොනවා. කිව්වට අහන්නේ නැහැ. සමහර වේලාවට බොන්නේ පොලිසියේ අය. මේ ළඟදී පොලිසියට ආපු නීතිඥ මහත්තයෙක් කඩය ඇතුළට ඇවිල්ලා සිගරට් එකක් පත්තු කළා. එතන හිටපු අනිත් අයටත් ඒ දුම කරදරයක් වුණා. දැන් ඒ වගේ ප්‍රශ්න නැහැ.

කේ. ඒ. හර්ෂනී ලංකා අප සමග පැවසුවේ සිගරට් අලෙවිය නතර කිරීම කාන්තාවක් හැටියටත් ගෘහණියක් හැටියටත් වෙළෙඳසැල් හිමිකාරිනියක් හැටියටත් තමා ලැබූ ජයක් බවයි. මේකෙන් මට වෙච්ච ලොකුම ලාභය තමයි මහත්තයා සිගරට් බොන එක නතර කරපු එක. සිගරට් අලෙවි කිරීමෙන් අපි ලැබුවේ පාඩුවක්. මොකද දවසකට මහත්තයා රුපියල් 500ක විතර සිගරට් බොනවා. කඩේ වැඩ වැඩි වුණාම කරන්නේ සිගරට් එකක් බොන එක. කඩේ වැඩ අඩු වෙලා විවේකෙන් ඉන්නකොටත් කරන්නේ සිගරට් එකක් බොන එක. කාලා ඉවර වෙලා තව එකක් බොනවා. වැසිකිළි යනකොට එකක් පත්තු කරගන්නවා. වැසිකිළියට යන්න බැහැ සිගරට් ගඳයි. දැන් ඒ එක ප්‍රශ්නයක්වත් නැහැ. මාසෙකට රුපියල් 15000ක විතර ලාභයක් තියෙනවා. මේක නතර කරපු එක මට පුද්ගලිකව ලොකු සහනයක්. මොකද කඩේ ඉන්න කොට අපි ඉන්නවා කියලා නැහැ. සිගරට් බොන අය පත්තු කරගෙන බොනවා. ඒක පාරක් මට බබෙක් හම්බවෙන්න ඉන්නකොට කඩේ කුස්සියට ඇවිල්ලා එක්කෙනෙක් සිගරට් එකක් බිව්වා. දැන් ඒ ප්‍රශ්නේ නැහැ.
අනතුරුව අපි ගියේ දොඩම්ගොඩ නෑබඩ බෝම්බුවල ඇතුළු ප්‍රදේශ ගණනාවකට. සියලුම පාරිභෝගික භාණ්ඩ සපයන තොග වෙළෙඳසැලේ හිමියා වන සේන කඩේ සම්පත් මහතා හමුවීමටය. දිනපතා ලක්ෂ ගණනක් පාඩු කරගෙන මෙම සත්ක්‍රියාවට දායක වූ සම්පත් මහතා මේ ඒ පිළිබඳව දැක්වූයේ මෙවැනි අදහසක්.

ප්‍රාදේශීය ලේකම්තුමිය ඉල්ලීම් කළා මම මේකට කැමති වුණේ මේක හොඳ වැඩක් නිසා. මම දවසකට රුපියල් ලක්ෂ පහක විතර සිගරට් විකුණනවා. කඩේට දිනපතා වැඩිම සල්ලි ප්‍රමාණයක් එන්නේ සිගරට් හා ෆෝන් කාඩ් අලෙවියෙන්. දොඩම්ගොඩ ප්‍රදේශයේ සිගරට් විකුණන්නේ නැති නිසා පිට ප්‍රදේශ වෙළෙඳසැල් හිමියන් කඩේට බඩුගන්න එන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ එන්නේ ඔක්කොම බඩු ටික එකතැනකින් ගෙනියන්න. සිගරට්වලින් ලොකු ලාභයක් නැති වුණාට බඩු ගන්න එන වෙළෙඳසැල් හිමියන් රුපියල් 50000වත් බඩු එකසැරේ ගන්නවා. දෙසැම්බර් 31 කියන්නේ ලක්ෂ 10ක 15 වන සිගරට් විකිණෙන දවසක්. මේ ජනවාරි 31 මේ ප්‍රශ්නේ හින්දා වෙළඳාම අඩු වුණා. සමහරු කිව්වා දොඩම්ගොඩ ප්‍රදේශයේ නැතිව බල ප්‍රදේශයෙන් පිට කඩවලට සිගරට් බීඩි තොග අලෙවි කරන්න කියලා.

අපි දොඩම්ගොඩ අලෙවි නොකළත් කඩේ තියාගෙන ඉන්න එක හරි නැහැ. ඒ නිසා මම පාඩු විඳගෙන හරි මේ වැඩේට සහයෝගයක් දෙනවා. අපිට සිගරට් කම්පැනිවලින් ලොකු බලපෑමක් කරනවා අලෙවි කරන්න කියලා. කම්පැනිවල ඉහළ නිලධාරිනුත් ඇවිල්ලා කියනවා. අනතුරුව සුදර්ශනාරාම විහාරස්ථානයට ගිය අපි එහි විහාරාධිකාරී පස්යොදුන්කෝරලයේ ප්‍රධාන සංඝනායක දොඩම්ගොඩ උදිත හිමියන්ගේ මේ දුම්වැටි විරෝධී වැඩසටහන පිළිබඳව කරුණු විමසුවෙමු.

ප්‍රාදේශීය ලේකම්තුමිය මේ සාර්ථක කරගෙන තියෙන්නේ ලෙසියෙන් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මේකට ගොඩක් අභියෝග එන බව අපි දන්නවා. දුම්වැටිය ශරීර සෞඛ්‍යයට වගේම ගෙදර ආර්ථිකයටත් ලොකු බලපෑමක් කරනවා. මේ වැඩේ ගැන. ප්‍රදේශයෙන් ජනතාවගේ ලොකු පැහැදීමක් තියෙනවා. විශේෂයෙන්ම කාන්තාවන් මේකට ගොඩක් කැමතියි. මොකද තමන්ට කරන්න බැරිවුණ තමන් බලාපොරොත්තු වෙච්ච දෙයක් තමයි මේ කරලා තියෙන්නේ. මේ වැඩේට දොඩම්ගොඩ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ උපරිම සහයෝගයක් ලබා දෙනවා. ප්‍රදේශයේ තොග වෙළෙඳසැලේ හිමියෙකු වන කමල් රණවීර ද විහාරස්ථානයේදී අප සමග කරුණු දැක්වීමට එකතු විය.

“මේ වැඩෙන් අපිට පාඩු වුණත් හොඳ වැඩක් නිසා ප්‍රාදේශීය ලේකම්තුමියට අපි සහයෝගය දුන්නා. මේකෙන් අපිට පුද්ගලිකව පාඩු වුණත් අනාගතය ගැන හිතලා කරන හොඳ වැඩක්. සමහරු සිගරට් නැහැ කිව්වහම අපිටත් බැණලා යනවා. ඒ වුණත් අපි දිගටම මේ වැඩේට සහයෝගය දෙනවා.”

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය නිශෝක සඳරුවන් අපට හමුවුණේ සිල්සමාදන් වූ උවසු උවැසියන්ට ගිලන්පස පිළිගැන්වීම සඳහා විහරස්ථානයට පැමිණ සිටියදීය. ඔහු මෙම ක්‍රියාව ගැන කතාකළේ තෘප්තියෙන් යුතුව. මේක ඉතාම හොඳ වැඩක්. මොකද මේ වගේ වැඩපිළිවෙළකට එකඟ කරගන්නවා කියන්නේ ලොකු දෙයක්. මොකද බොහෝ දෙනෙක් වැඩ කරන්නේ විචාරයක් නැතිව. ඊයේ රෑ දොඩම්ගොඩ නගරයේ සංගීත සංදර්ශනයක් තිබුණා උදේ බලන විට නගරය පුරාම හිස් වතුර බෝතල් පොලිතින් පිරිලා. මිනිස්සු මේ විදිහට අපද්‍රව්‍ය දැම්මේ ප්‍රතිඵල දන්නවා වුණාට ඒවා කරනවා. එහෙම වාතාවරණයක් යටතේ ප්‍රදේශයේ සියලුම වෙළෙඳසැල් හිමියෙක් මෙයට එකඟතාවකට ගෙනපු එකත් ලොකු දෙයක්. මම ප්‍රදේශයේ තරුණ රසවින්දන වැඩසටහන්වලදීත් මත්ද්‍රව්‍යවල බලපෑම ගැන කතා කරනවා. මේ වැඩසටහන අපි ඉතාම අගයනවා. අපිට දෙන්න පුළුවන් උපරිම සහයෝගය දෙනවා.

මෙම වැඩ සටහනේදී ප්‍රාදේශීය ලේකම්වරිය සමග උරෙන් උර ගැටී වැඩ කරන නිලධාරියෙක් වන්නේ ප්‍රජාපාදක විශෝධන දෙපාර්තමේන්තුවේ උපුල් රාජපක්ෂය. ඔහු තමන් මුහුණ දුන් අභියෝගය පැහැදිලි කළේ මේ ආකාරයටය.

මේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇතුළත කඩ 675ක් හෝටල් 175ක් තියෙනවා. අපි මේ සියලුම වෙළෙඳසැල් දැනුවත් කරලා වෙළෙඳසැල්වල ස්ටිකර් අලවලා දුම්වැටි අලවිය නතරකරලා තියෙනවා. මේ වැඩේදී අපි වෙළෙඳසැල් හිමියන්ට ගරු කරන්න ඕන වැඩේට එකඟ වීම ගැන. මේ වෙනකොටත් දුම්වැටි අලෙවිකරණ සමාගම්වලින් ලොකු බලපෑමක් තියෙනවා. මේ ළඟදි යට‍ෙදාළ හිමකර හෝටලයට ප්‍රදේශයේ සියලුම වෙළෙඳසැල් හිමියන් ගෙන්නලා කන්න බොන්න දීලා දේශනා තියලා ගිහිල්ලා තියෙනවා. කඩවලට ඇවිල්ලා විවිධාකාරයේ බලපෑම් කරනවා. හෝටල්වලට වාහනවලින් කණ්ඩායම් එවලා කෑම ඹ්ඩර් කරලා සිගරට් නැහැ කිව්වහම ආපහු යනවා. ලොකු අභියෝගයක් ඒ සඳහා සියලුදෙනාගේම සහයෝගය බලාපොරොත්තු වෙනවා.

හිටපු ජනාධිපති (නව අගමැති) මහින්ද රාජපක්ෂ මතට තිත සංකල්පය හඳුන්වා දුන්නද ඔහුගේ කාලය තුළදී මත්පැන් අලෙවිය වැඩිවූවා මිස අඩු වූයේ නැත. ඒ කාලය තුළ සිදුවූයේ ජොන්ස්ටන් ප්‍රනාන්දු, ලක්ෂ්මන් වසන්ත වැනි ඇමැතිවරුන් මහා පරිමාණ මත්පැන් ව්‍යාපාරිකයන් බවට පත් වීමය. එසේම කළුතර ප්‍රදේශයේ රත්තරන් ඇමැතිවරයෙකු රටටම රා බෙදන, හොරට රා පෙරීමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන් යාම ප්‍රසිද්ධ රහසක් විය. මේ කාලයේදී මතට තිත වෙනුවට තිතට මත්වන්නට ඇමැතිවරුන් මත්පැන් බෙදුවේ ඡන්ද ලබාගැනීමේ අරමුණෙනි.

වත්මන් ආණ්ඩුවේද මත්පැන්හල් අලෙවිකරුවන් හා ස්කාගාර අයිති ඇමැතිවරුන් බොහෝමයක් මතට තිත මගින් නිදහස් රටක් යන සංකල්පයන් සංකල්ප වලට පමණක් සීමා වී ඇති විටක දොඩම්ගොඩ ප්‍රාදේශීය ලේකම්වරිය වෙළෙඳසැල් හිමියන් සමග එකතුව දී ඇත්තේ රටටම ආදර්ශයකි. ඒ සිල්ලර කඩ 675කත් හොටල් 175කත් දුම්වැටි අලෙවිය නතර කරමිනි. මතින් නිදහස් රටක් වෙනුවට දුම්වැටියෙන් නිදහස් වූ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයක් නිර්මාණය කිරීමට මොවුන්ට හැකියාවක් ලැබී ඇත. රටටම ආදර්ශක් ලබාදුන් ද හෙට දිනයේදී මේ සිදුවීම හේතුකොට ගෙන ප්‍රාදේශීය ලේකම්වරියට ස්ථානමාරුවක් හෝ වෙනයම් බලපෑමක් එල්ලවිය හැක. ඒ බහු ජාතික සමාගම්වල සල්ලි බොහෝ බලවත් බැවිනි. කෙසේ වුවද මතින් නිදහස් රටක් නිර්මාණය කිරීමට ජනාධිපතිවරයාට අවංක උවමනාවක් ඇත්නම් ඒ සඳහා දොඩම්ගොඩින් ආදර්ශයක් ගත හැක. ඒ රජයේ ප්‍රතිපාදන රුපියලක්වත් නොමැතිව වෙළෙඳසැලේ 850ක දුම්වැටි අලෙවිය නතර කර දුම්වැටියෙන් නිදහස් රටක් බිහිකළ හැකි බව ප්‍රායෝගිකව ඔප්පු කර හැකි බව ප්‍රායෝගිකව ඔප්පු කළ ඇති බැවිනි.


ජනක විජේගුණතිලක

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button