විශේෂාංග

ප්‍රභාකරන්ටත් ඉංග්‍රීසි උගන්වපු මධුමතීගේ කතාව

දශක තුනක් අපේ රටේ උතුරු ප්‍රදේශය තුළ වූ යුද්ධය මුළු රටම දැඩි ලෙස අර්බුද රැසක් තුළ ගිල්වා දමද්දී ජීවත්වන්නට ඇති ආසාවෙන් ජීවිත ඉල්ලූ දහස් සංඛ්‍යාත අසරණ ජීවිත මහපොළොවට ඇද වැටුණේ සිය ජීවිතවලට කිසිදු වටිනාකමක් ඒ කාලයේ නොලැබුණු නිසාමය. ඇඳිවත පමණක් අතැතිව ජීවිතය පමණක් රැකගත්, ජීවිතයේ අන්තයටම වැටුණු මිනිසුන් අද යළිත් ජීවිත ගොඩනගාගන්නා අයුරු යාපා පටුනේදී දුටිමි. මහපොළොවට ඇද වැටුණු ජීවිත නැවතත් වැටුණ තැනින් ගොඩ එන්නට දරන වෑයම සහ එම ජනතාවට නැවත නැගී සිටින්නට උතුරු පළාතේ රාජකාරි කරන යුද හමුදාව ඇතුළුව සමස්ත ත්‍රිවිධ හමුදාවෙන් ලැබෙන සහාය සුළුපටු නොවේ.

එදා රණවිරුවන්ට එරෙහිව අවි අමෝරාගෙන සමස්ත රටටම වින කරන්නට දැනුවත්ව හෝ නොදැනුවත්ව පෙරට ආ ත්‍රස්ත සාමාජිකයින් පවා අද සංහිඳියාවේ සුබ සිහින නිසා පුනරුත්ථාපනය වී නැවත ජීවිත අලුතින් පටන්ගෙන සතුටින් ජීවත් වේ. එලෙස ලොව භයානකම ත්‍රස්ත සංවිධානයක සාමාජිකාවක් ලෙස හිඳ දැන් නැවත ජීවිතය අලුතින් පටන්ගත් මධුමතී එලිලරසිගේ ජීවිත කතාව අප ඔබ වෙත ගෙන එන්නේ සැබවින්ම මානුෂීය සිත් ඇති මිනිසුන් ලෙස අපේ රටේ මේ සහෝදර ජනතාවට තවතවත් සහෝදරත්වයේ දෑත දිගුකිරීම සංහිඳියාව තුළින් ස්ථිරසාර සාමය ගොඩනැංවීමට මහත් රුකුලක් වන බැවිනි.
මධුමතීගේ ජීවිත කතාව අන් සෑම පුනරුත්ථාපනය වූ හිටපු ත්‍රස්ත සාමාජික සාමාජිකාවන්ගේ සේම දුක්බර වුවත් ඇය අධ්‍යාපනය තුළින් ජීවිතය ජයගත්, අදටත් තමන් සතු දැනුම දරුවන්ට බෙදා දෙන ආදරණීය චරිතයක් බව අප හට දැනගන්නට ලැබිණි. ඇය ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරිනියක් වන අතරම සංවිධානය තුළ බුද්ධි අංශ වගකීම් ඇයට පැවරෙද්දී වේළුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු ත්‍රස්ත නායකයින්ට ඉංග්‍රීසි දැනුම ලබාදීමට තරම් බුද්ධිමත් සාමාජිකාවක් බවට ඇය පත්වූවාය. ඒ නිසාම අපි මධුමතී සමග කතාබහ එතැනින් පටන් ගන්නට සිතුවා.

මධුමතී සංවිධානයේ හිටපු ඉංග්‍රීසි ගුරුවරියද?

මම LTTE සංවිධානයට බලෙන් බඳවගත්ත කෙනෙක්. ඇත්තටම මම සංවිධානයේ ප්‍රබලම සාමාජිකයින්ට ඉංග්‍රීසි උගන්වන්නට වරම් හිමි කරගත්තා. මම සංවිධානයේ ඉංග්‍රීසි ගුරුවරිය නම් නෙමෙයි. නමුත් 2000 වර්ෂයේ සාම ගිවිසුමත් සමග යුද හමුදාව සහ විශේෂයෙන් නෝර්වේ සාම කණ්ඩායම් සමග කිට්ටු සම්බන්ධතා ඇති කරන්නට නායකත්වයෙන් උපදෙස් ලැබී තිබුණා. ඒ සාම සාකච්ඡා සඳහා අවශ්‍ය වටපිටාව සකසගන්න. ඇන්ටන් බාලසිංහම් යුවළ සහ තමිල්චෙල්වම් ඇතුළු පිරිස වගේම පසුපෙළ හිටපු පොට්ටුඅම්මාන් සහ සුසෙයි ඇතුළු පිරිසට සටන් විරාමය තුළ සාම සාකච්ඡාවලට සම්බන්ධ වීමේ වගකීම පැවරිලා තිබුණා. මේ පිරිසෙන් සුසෙයි සහ පොට්ටුඅම්මාන් ඇතුළු තවත් කිහිප දෙනෙක්ට ඉංග්‍රීසි උගන්වන වගකීම මට පැවරුණා. සාකච්ඡා කරගෙන යනවිට භාෂා පරිවර්තක සහාය ලැබුණත් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීම ඔවුන්ට නායකයා විසින් අනිවාර්ය කරලයි තිබුණේ. ඒ වගේම සටන් විරාම ගිවිසුම අත්සන් කරපු දවසේ වගේම ප්‍රභාකරන් විදේශ මාධ්‍යවලට ප්‍රකාශ නිකුත් කරපු අවස්ථාවල මාව වන්නියට හා කිලිනොච්චියට කැඳවලා තියෙනවා. ඉන් එක් වතාවක පමණක් BBC ලෝක සේවයට නිකුත් කරපු මාධ්‍ය ප්‍රකාශයක් පරීක්ෂා කරන්න මට පැවරුණා. එදා ප්‍රභාකරන්ව දැකපු පළවෙනි හා අවසාන දවස වුණා. ඒ විදිහට මම පසු කාලයේ පසුපෙළ ත්‍රස්ත නායකයින්ටත් ඉංග්‍රීසි උගන්වන්න කටයුතු කළා. නමුත් ප්‍රභාකරන් සමග දුරකතන සංවාද කරලා තියෙනවා. ඔහුට ඉංගී්‍රසි ව්‍යාකරණ සම්බන්ධ ගැටලු පැන නැගුණු විට බොහෝ වෙලාවට මම ඒ ගැන කියලා දෙනවා. මට මතකයි දවසක් පැයක පමණ කාලයක් ඔහුට ඉංග්‍රීසි ව්‍යාකරණ පාඩමක් උගන්වන්නට මට සිදුවණා. ඒ විදියට තමයි සංවිධානය තුළ ඉංග්‍රීසි උගන්වන්න පටන් ගත්තේ.

ත්‍රස්තවාදී නායකයගෙන් ලැබුණු ප්‍රතිචාර කොහොමද ඔබට?

ඔහුට දෙයක් ගැන දැනගන්නට අවශ්‍ය නම් ඔහු කොහොමත් ඒ ගැන විශාල විදියට සොයන වග මට තේරුම් ගියා. කුමක් හෝ උගන්වන විට සාවධානව ඇහුම්කන් දෙන්නට ඔහු පුරුදුව සිටියා. මුල් කාලයේ මට එහෙම ප්‍රභාකරන්ට කතා කරනකොට බයට වචන පිටවෙන්නැති වෙනවා. ඒ වෙලාවට ඔහුට කියනවා බය වෙන්න දෙයක් නැහැ කියන්න කියලා. ඒ වගේම කීප වතාවක්ම ඔහු මට මුදල් තෑගි ලබාදී තිබෙනවා. ඒත් මට ඇත්තටම හිටියේ ලොකු දුකකින්, වෛරයකින්. මම ඉංග්‍රීසි ගුරුවරියක් වෙන්න හීන මැව්වා. ඒත් ත්‍රස්තවාදීන් එක්ක එකතුවෙලා එහෙම කරන්න නෙමෙයි. මගේ පවුල මට හැම තිස්සෙම මතක් වුණා. අම්මා විතරයි මට හිටියේ. මගේ අම්මා මතක් වෙන හැම වෙලාවකම මම ඇඬුවා.

LTTE සංවිධානයට ඔබ එකතු වුණේ කොහොමද?

1998 මැයි මාසයේ තමයි මාව ත්‍රස්තවාදීන් අරගෙන ආවේ චාවකච්චේරිවල අපේ මාමලාගේ ගෙදර ඉන්නකොට. මගේ පදිංචිය තිබුණේ කිලිනොච්චිවල. අපේ තාත්තා නැහැ. එයා ගැන මම දන්නැහැ. අම්මයි, මමයි තමයි ජීවත් වුණේ. අම්මත් අධික රුධිර පීඩනයෙන් පීඩා වින්දා. ඒ නිසාම අපි මාමලාගේ ගෙදර ඇවිත් හිටියා. දවසක් රෑ අපේ ගෙදරට ආපු LTTE එකේ අය සංවිධානයට බන්දගන්න අවශ්‍යයි කියලා ඇඳක් යට හැංගිලා හිටපු මාව ඇදගෙන ආවා. මගේ අම්මා, මාමා, ගෙදර හිටපු අය විරුද්ධ වුණා. පස්සේ උන් අහසට වෙඩි තියලා මාමාගේ ඔළුවට තුවක්කුව තියලා මම වාහනේට නැගපන් කීවා. අම්මා බිම පෙරළි පෙරළි ඇඬුවා. ඒත් එදා මාව පැහැරගෙන ආවා. ඇස් බැඳලා අපිව කිලෝමීටර් ගාණක් දුර අරගෙන ඇවිත් මන්නාරමේ වෙඩිතලතිව්වල පුහුණු කඳවුරක පුහුණු කළා. අපි ගොඩක් දුක් වින්දා. පුහුණු වෙන්න අකැමැති අයගේ අත, පය කඩලා මැරෙන්න ඇරියා. අපි දැක්කා ඒ දේවල්.

මධුමතී ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරිනියක්. අධ්‍යාපනය ලබපු කාලය ගැන අපි කැමතියි දැනගන්න.

මම ඉගෙන ගත්තේ කිලිනොච්චි මිශ්‍ර පාසලේ. සාමාන්‍ය පෙළ සමත් වුණත් උසස් පෙළ කරන්නට මට වාසනාව ලැබුණේ නැහැ. නමුත් මටම ඉස්කෝලේ ආසම කරපු විෂයක් තමයි ඉංග්‍රීසි. මට ඉංග්‍රීසි ඉගෙන ගන්න ආස නිසා ගොඩක් අමාරුවෙන් ඒ දවස්වල ඒ පළාතේ හිටපු කතෝලික පියතුමෙක් මාර්ගයෙන් විවෘත විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි ඩිප්ලෝමාව හැදෑරුවා. වව්නියාවෙ තමයි පංති තිබුණේ. මාස හයක් විතර වව්නියාවේ දේවස්ථානයක නැවතිලා මම පංතිවලට ගියා. ඉගෙන ගත්තා. මට ආසා හිතුණා ඉංග්‍රීසි ගුරුවරියක් වෙන්න. ඒත් යුද්ධය ඒ හැමද්ම අපිට නැති කළා. මම ඩිප්ලෝමා එක කරලා කිලිනොච්චි යන්න හදනකොට අම්මයි මාමයි ඇවිත් මාව එක්කගෙන ගියා චාවකච්චේරිවලට. ඒ අපේ පැත්තේ මිනිසුන්ට ත්‍රස්තවාදීන් බොහෝ ලෙස කරදර කරන්න පටන් ගත්ත නිසා අම්මා එදා මාව එක්කරගෙන ආවේ පං මල්ලකට අපේ තිබුණ වටිනා රත්රන් බඩු සේරම ටිකත් අරගෙන. මට හිතුණා ලොකු කරදරයක් වෙලා ඇති කියලා. ඒ වගේම ඒ දවස්වල අපේ ගෙවල්වල හිටපු තරුණ වැඩිහිටි ගොඩක් දෙනාව ත්‍රස්තවාදීන් පැහැරගෙන තිබුණා. ඒ නිසයි අම්මලා මාව වව්නියාවෙන් එක්කගෙන ගියේ. අපි එදා චාවකච්චේරි ගියේ කැලය මැදින්. පාරෙන් ගියොත් කිලිනොච්චියේදී අනිවාර්යෙන්ම අපිව අහුවෙන නිසා අපි එහෙම ගියේ.

LTTE සංවිධානය තුළ ඉංග්‍රීසි භාෂාව ඔබ ප්‍රගුණ කරලා තියෙනවා කියලා කොහොමද ප්‍රසිද්ධ වුණේ?

විශාල වශයෙන් ප්‍රසිද්ධ වුණේ නැහැ. නමුත් පුහුණු වෙන අතරතුරේදි විදේශ රටකින් ආපු පිරිසක් අපි සමග කතා කළා. ඒ කාලේ සාම සාකච්ඡා පටන්ගෙන තිබුණෙත් නැහැ. ඒ විදේශිකයෝ සංවිධානයට ආධාර කරන පිරිසක් කියලයි අපිට දැනගන්න ලැබුණේ. ඒදා මම ඒ පිරිස සමග ඉංග්‍රීසියෙන් කතා කළා. පසුව තමිලිනී මාව එක්කරගෙන එන්න කිව්වා කියලා මාව ඇය ළඟට ගෙනියව්වා. එතැනදි ඇය මගෙන් විස්තර අහලා මාව ලිපිකාරිනියක් විදියට තියාගත්තා. නෝර්වේ, කැනඩාව වැනි රටවලට ලිපි යවන්න මම ලිපි ටයිප් කළා. අත්අකුරුවලින් ලියලා එන ඉංග්‍රීසි ලියුම් තමයි ඒවා. එහෙම ඉන්න අතරේ තමයි සාම ගිවිසුම ගහලා සටන් විරාමය ආවේ. ඒ කාලයේ මාව නැවතත් කිලිනොච්චිවල තියෙන සාම මෙහෙයුම් කාර්යාලයට රාජකාරිවලට පිටත් කළා. එහෙම තමයි සංවිධානයෙන් මාව දැනගත්තේ.

ඔබ යුද හමුදාවට භාරවූ කෙනෙක් නේද?

මම පුදුමාතලන් ප්‍රදේශයේදී තමයි යුද හමුදාවට භාර වුණේ. ඒ වෙනකොටත් මට තුවාල වෙලා හිටියේ. මට වෙඩි තියන්න තරම් ශක්තියක් නැහැ. නමුත් තුවක්කුව ළඟ තියාගෙන මම ජීවිතය බේරගන්න පලා ගියා. ඒ වෙලාවේ LTTE එකේම නායකයෝ පැනලා යන අපිට වෙඩි තිබ්බා. මගේ වම් අතට වෙඩි වැදුණා. මම ඒත් නැගිටලා කැලෑවට ගිහින් දවස් ගාණක් හැංගිලා හිටියා. මට හිතුණා වෙඩි තියාගෙන මගේ ජීවිතේ නැති කරගන්න. ඒ වෙනකොටත් මගේ අම්මා මිය ගිහින් තිබුණේ. මම අම්මගේ මළගෙදර යන්න අවසර ලැබුණේ නැහැ. මොකද ඒ වෙනකොට මාවිල්ආරු සොරොව්ව වහලා යුද්දේ පටන්ගෙන තිබුණේ. කොහොම හරි හමුදාවෙන් ප්‍රතිකාර කරලා තමයි අද මම මේ තත්ත්වෙන් ඉන්නේ.

මධුමතී දැන් දෙදරු මවකි. ඇය ජීවිතයේ නොවිඳි දුක් ගැහැටක් නැති තරම්ය. එහෙත්, දැන් අය දෙපයින් නැගී සිටින්නේ උදාවූ සාමයේ අරුණලු නිසාවෙනි. පුතණුවන් දෙදෙනෙකුගේ මවක් වන ඇයගේ ආදරණීය සැමියා යාපනය නගරයේ ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යමින් දරු පවුල රකින්නේය.

ඔබේ ආදරණීය සැමියා මුණ ගැසුණේ කොහොමද?

පුනරුත්ථාපන කඳවුරේදී අපි මුණගැහුණා. අපි පුනරුත්ථාපනය වෙලා ඇවිත් විවාහ වුණා. එයා හොඳ කෝකියෙක්. රසට උයන්න පුළුවන්. ඒ වගේම අපි හොඳ ආදරණීය පවුලක් විදියට ජීවත් වෙනවා. හොඳ පියෙක්, හොඳ සැමියෙක් විදියට අපිව ආරක්ෂා කරනවා. මගේ දරුවෝ දෙන්නත් හොඳට ඉගෙන ගන්නවා. අපි දැන් ගොඩක් සතුටින් ජීවත් වෙනවා. අපි අපේ ජීවිත මෙහෙම සතුටින් ගත කරන්න පුළුවන් වෙයි කියලා නම් කවදාවත්ම හිතුවේ නැහැ. මොකද අපි හිතුවේ අපිට ජීවත් වෙන්නත් බැරි වෙයි කියලා. නමුත් අපිට දැන් සතුටින් ජීවත් වෙන්න පුළුවන්.

මධුමතී ආස නැද්ද නැවත ඉංග්‍රීසි උගන්වන්න?

මට ඇත්තටම ආසයි. ඒත් දැන් මම මගේ දරුවන්ට හොඳින් උගන්වනවා. එහෙම නැතිව ගුරුවරයෙක් විදිහට කටයුතු කරන්න මට කිසිම ආසාවක් දැන් නැහැ. මොකද මගේ ජීවිතයෙන් දැන් අඩකට වැඩි කාලයක් ගෙවිලා හමාරයි. තව තියෙන්නේ පුංචි කාලයක්. ඒ නිසා මට ඕන ඒ ටික කාලය තුළ සතුටින් අනාගතය ගොඩනගාගෙන සතුටින් ඉන්න විතරමයි. මම දැන් ඒ ඉලක්කය සපුරගනිමින් ඉන්නේ.

මධුමතී වැනි දහස් සංඛ්‍යාත අම්මාවරුන් පිරිසක් අඳුරු අතීතයෙන් මිදී නැවත ජීවිතය ජයගන්නට උත්සාහ කරන මොහොතක සමස්ත රටවැසියන්ට උතුරේ මේ ආදරණීය වූ ජනතාවට ආදරේ සහ සහෝදරත්වයේ දෑත් දිගුකර ඔවුන්ට දෙපයින් සිටගන්නට දිරිදීම කාලෝචිතය. ඒ හා සමානවම රටේ වගකිව යුතු මාධ්‍යකරණයක නියැළෙමින් ඉරිදා ජාතික පුවත්පත නිරතුරුවම උතුරේ අපේ ආදරණීය ජනතාව පිළිබඳව මතු මතුත් ලොවට කියන්නට සූදානම්. ඒ සංහිඳියාව තුළින් ස්ථිරසාර සාමයක් උදා කරලීමට එය ද රුකුලක් වන බැවිනි.

විශේෂ ස්තූතිය – ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ යාපනය සේවයේ යශෝදරා බාලසිංහම් මෙනෙවියට.


අකලංක රත්නායක

Tags
තව දුරටත් කියවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි