කලා

ජීවිතේ විඳින්න තියෙන හැමදෙයක්ම මම විඳලා තියෙනවා.

ප්‍රවීණ රංගන ශිල්පිනී දීපානි සිල්වා

චරිත බිහිවන්නේ තරු අතරින් නොවේ. සහෘදයාගේ ආදරය මතිනි. කාලය ගෙවී ගිය ද චරිතයෙහි වටිනාකම් හීනවන්නේ නැත. තරු මිලින වුව ද චරිත මිලින වන්නේ නැත. දීපානි සිල්වා නම් වූ අසහාය රංගන ශිල්පිනිය ලාංකේය කලා කෙතෙහි මිලින වූ තරුවක් නොව සහෘද සන්තානයෙහි සදාතනික චරිතයක් බවට පත් වන්නේ ද එහෙයිනි. මේ ඒ සදාතනික දීපානි සිල්වා සමග ගෙවුණු විනාඩි කිහිපයකි.

 

දීපානි සිල්වා රංගන ශිල්පිනියක් වෙන එක අහම්බයක් ද නැත්නම් බලාපොරොත්තු ඉටුවීමක්ද?

සම්පූර්ණ අහම්බයක්. මේ කලා ක්‍ෂේත්‍රයට, රඟපෑමට එන්න ඕන කියන කිසිම බලාපොරොත්තුවක් මට තිබුණෙ නෑ. එහෙම අහලකින්වත් ගිය බලාපොරොත්තුවක් තිබුණෙ නෑ.

 

මොකක්ද ඒ අහම්බය?

1975 මම විභාගෙ කරලා ගෙදර ඉන්න කාලේ අපේ වයසේ අය එකතු වෙලා සෙල්ලම් කරනවා. කතා කරනවා. ඒ වෙලාවේ මට වැඩිමල් අක්කලා රංග ශිල්ප ශාලිකාවට අයදුම් කරලා තිබුණා. මටත් කිව්වා. මම දැම්මේ නෑ. ඒත් එකේ ඉන්ටර්වීව් තිබ්බ වෙලාවේ ඒ අයත් එක්ක මම ලයනල් වෙන්ට්ඞ් රංග ශිල්ප ශාලිකාවට ආවා. එතන හිටියා තිලක් ගුණවර්ධන මහත්තයා ලේකම් කෙනෙක් විදියට. මම පැත්තකට වෙලා ඉද්දි එයා ඇහුවා ඔයා යන්නේ නැද්ද ඉන්ටවීව් කියලා. මම කිව්වා මම දැම්මේ නෑ තියලා. ඇයි දැම්මේ නැත්තේ එන්න එන්න මේක පුරවලා දාන්න කියලා මට ඇප්ලිකේෂන් එකක් දුන්නා. එවෙලේ පුරවලා ඉන්ටර්වීව් එකට ගියා. ඒ වෙද්දි හිතේ පොඩි ආශාවක් වගෙත් තිබුණා. සතියකට විතර පස්සේ අපි පස් දෙනාටම එන්න කියලා එවලා තිබුණා. අපි ගියා. එතනින් තමයි මේ ගමන පටන් ගත්තේ. ඒත් මට රඟපාන්න කියලා බලාපොරොත්තුවක් තිබුණෙ නෑ. ගෙදරට වෙලා ඉද්දි ජීවිතේ වෙනසක් වෙන්න තමයි හිතන් හිටියේ. ඒ පස් දෙනාගෙන් අවසානෙට ඉතුරු වුණේ මම විතරයි. අපි ඒකට සල්ලි ගෙව්වේ කඩදාසි විකුණලා. ඒ නිසා අපට හැම මාසෙම ගෙවන්න සල්ලි තිබුණෙ නෑ. එක මාසයයි ගෙව්වේ. ඊට පස්සේ ධම්ම ජාගොඩ මහත්තයා කිව්වා අපි ගෙවන්න ඕනෙ නෑ කියලා.

එතකොට වීදි නාට්‍යයට සම්බන්ධ වෙන්නේ?

ඔය කාලෙ වෙද්දි 74 කණ්ඩායම විදියට ගාමිණී හත්තොට්ටුවේගම මහත්තයා වීදි නාට්‍ය කණ්ඩායමක් පටන් අරන් තිබුණා. ඔහුගෙන් ලැබුණ ගුරුහරුකම් වඩාත් වටිනවා. ඔහු තමයි දැක්කේ මගේ රංගන ශෛලියේ නිදහස් බවක්, සැහැල්ලුවක් තියෙනවා කියලා. ඒ නිසා වීදි නාට්‍යයට සම්බන්ධ කරගත්තා. ඒ කාලේ හත්තොට්ටුවේගම මහත්තයාගේ වීදි නාට්‍ය කණ්ඩායම පාස්කු වෙනුවෙන් නාට්‍ය 2ක් කළා. සාමූහික අභිරූපන නාට්‍ය දෙකක්. රංග ශිල්ප ශාලිකාවේ හිටපු හැමෝම වගේ ඒකට සහභාගි වුණා. රංගනයක් කියලා මම පළමුව වතාවට ඉදිරිපත් කළේ ඒ නාට්‍යයේ. කොළඹ බණ්ඩාරනායක හෝල් එකේ එහා පැත්තේ ගල් පල්ලියේ තමයි ඒක තිබුණේ. එතනින් තමයි වීදි නාට්‍යවලට සම්බන්ධ වුණේ.

ඊට පස්සේ ජුනි මාසේ සංවත්සරයට දඹුල්ලට යන්න තීරණය කළා. මගෙන් කැමතිද ඇහුවා. මම හා කිව්වා. එතකොට මම බම්බලපිටියේ හිටියේ. එදත් වීදි නාට්‍ය කණ්ඩායමේ හිටපු හොඳ චරිතයක් කරපු නිළියක් අසනීප වුණා. දැන් මේකෙ චරිතයක් තියෙනවා. ඒකේ පිරිමි නළුවත් නෑ. මම විතරයි අමතර නිළියකට යන්නේ. ඒ නිසා දැන් මාව තමයි ඒ චරිතෙට දාන්න වෙන්නේ. ඒත් හත්තොට්ටුවේගම මහත්තයා ඒකට කැමති වුණේ නෑ.

 

ඒ ඇයි?

ඒ චරිතේ බටහිර පෙනුමක් තියෙන, ඒ විදියට ඉන්න චරිතයක්. හත්තොට්ටුවේගම මහත්තය කිව්වේ මට තියෙන්නේ දුප්පත් මූණක් කියලා. ඒක මට හොඳටම වැදුණා. ඒ වගේම ඒකෙන් මම වැටුණා. නමුත් වීදි නාට්‍ය කණ්ඩායමේ හිටපු එච්.ඒ.පෙරේරා, පරාක්‍රම නිරිඇල්ල, ගාමිණී හෙට්ටිආරච්චි වගේ ප්‍රබල අය කිව්වා දීපානිව පුරුදු කරන්නම් කියලා. මටයි, ලින්ටන් සේමගේටයි එදා රෑ ඒ චරිත පුරුදු කළා.

 

ඊට පස්සේ?

පහුවදා උදේ ගියා. නාට්‍ය තියන්න තිබුණේ දඹුල්ල ගල පාමුල. පළමු දර්ශනයේ ඉන්නේ මමයි ලින්ටන් සේමගේයි. අපි දෙන්නගෙම පළවෙනි අවස්ථාව. මිනිස්සු ළඟටම ඇවිත් බලන් ඉන්නවා. කටපාඩම් කරන් ඒක කළා. ඒක හොඳ රඟපෑමක් නෙවෙයි. හත්තොට්ටුවේගමත් කිව්වා දුර්වල රඟපෑමක් කියලා. හවස පෙන්වද්දි එතනට පොලිසියෙන් ඇවිත් ඇහුවා කෝ අපේ ලයිසන් කියලා. ඒ පාර එච්.ඒ.පෙරේරා නැගිටලා ලයිසන් තියෙනවා කියලා මෝටර් සයිකල් ලයිසන් එකක් දුන්නා. පස්සේ පොලිසිය කිව්වා එතනින් ටිකක් එහාට ගිහින් නාට්‍යය කරන්න කියලා. ඒ දේවල්වලින් මම ලොකු වින්දනයක් ලැබුණා. මම ගෙදර අයටත් ඒ ගැන ඇවිත් කිව්වා. එයාලත් ඒකට කැමති වුණා. ඊට පස්සේ ගෙදර අය එකතුවෙලා අපේ ගමේ වීදි නාට්‍ය සංදර්ශනයක් පවත්වන්න කටයුතු කළා.

 

වේදිකාවට සම්බන්ධ වීමත් අහම්බයක් නේද?

ඔව්. ඒ කාලේ ධම්ම ජාගොඩ මහත්තයගේ ජනප්‍රිය වේදිකා නාට්‍යයක් තිබුණා වෙස් මුහුණු කියලා. එකේ හදිසියේ නිළියක් නැතිව මම හවස රංග ශිල්ප ශාලිකාවේ ඉද්දි මට ඒකට කතා කළා. මට හරි ආස හිතුණා. මම හා කියලා වැඬේ භාර ගත්තා. ස්ක්‍රිප්ට් එක ගෙදර අරන් ගිහින් පාඩම් කළා. ගම්පහ පාසලක තමයි ඒකේ ප්‍රදර්ශනය තිබුණෙ. ස්ටේජ් එකට ගොඩවෙද්දි මාව වෙව්ලනවා. මාළුවෙක් ගැහෙනවා වගේ. මගේ වචන භාගෙට පිටවෙලා තියෙන්නෙත්. එතන හිටපු ප්‍රවීණයො මට බය වෙන්න එපා කියලා පුහුණුවීම්වලට එක්කන් ගියා. ධම්ම ජාගොඩ තමයි පුහුණුවීම් කළේ.

 

ධම්ම ජාගොඩ මහත්තයත් එක්ක වැඩ කරපු අතීතය කොහොමද?

ධම්ම ජාගොඩ යටතේ නාට්‍ය පුහුණුවීම් කළා කියන්නේ ඕනම කෙනෙක් යටතේ නාට්‍ය පුහුණුවීම් කරන්න පුළුවන්. බණින්න ගියාම හොඳට බණිනවා. තරහ ගියාම කුණුහරුපෙනුත් බැණලා එළවනවා. ඒ එළවලා ටික වෙලාවකින් ආයෙ අඬ ගහනවා. එයාගේ හිත උණුවෙනවා. මටත් දෙබස් මතක නැතිව අම්ම මතක් කරල බැණල තියෙනවා. මම අඬ අඬා යද්දි ගාමිණී හෙට්ටිආරච්චි තමයි මාව බෑ බෑ කියද්දි එක්කරන් ගියේ. පස්සේ ජාගොඩ මහත්තයා මට පොත් දෙකක් දුන්නා කියවන්න කියලා.

දේශපාලනය කියන දේ ඔබට ගෙදරින්ම ලැබුණ දෙයක්ද?

මගේ තාත්තා ගුරුවරයෙක්. ගුරු සංගමයේ වෘත්තීය සමිතිය නියෝජනය කළේ ඔහු. සමුපකාරේ හදන්න ගත්ත මහන්සිය මට තාම මතකයි. තාත්තා ඒ දවස්වල කියනවා ගුරුවරුන්ට ණයක් ගන්න පුළුවන්කමක්වත් නෑනේ කියලා. තාත්තගේ දේශපාලනය මගේ ඇඟෙත් තිබුණේ. වීදි නාට්‍ය තුළින් ඒක තවත් ඔපමට්ටම් වුණා. ඒ කාලේ සුනිලා අබේසේකරගේ කාන්තා සංගම්වලින් අපට ලොකු මෙහෙයක් වුණා. වීදි නාට්‍ය තුළින් මම සමාජය දැක්කා. කාන්තාවක් විදියට මොකක්ද කරන්න ඕනේ කියන එක එතනදි තමයි මම තිීරණය කළේ. ඒකෙදි හත්තොට්ටුවේගම මහත්තයාගෙන් ලැබුණ පන්නරය අති විශේෂයි. ඔහුගේ නාට්‍ය ක්‍රමවේදය තුළින් ඔහු ජනතාවාදී කලාකරුවෙක් කියලා අපට දැනුණා. ඒ නිසා තමයි අපිත් එතනට ඇදිලා ගියේ.

එක වෙලාවක විජිත ගුණරත්න කියන නිර්මාණ ශිල්පියා පිටරට ඉඳන් ඇවිත් “දැති කියත” කියලා නාට්‍යයක් කළා. ඒක වීදි නාට්‍ය කණ්ඩායමේ සාමාජිකයන් යොදාගෙන තමයි කරන්න හැදුවේ. නමුත් අපි ඒකට සම්බන්ධ වෙනවට හත්තොට්ටුවේගම කැමති වුණේ නෑ. අපි සම්මත වේදිකාවට යනවට එයා විරුද්ධයි. එයා දැඩි නීතියක හිටියා සම්මත වේදිකාව කියන්නේ කුණු ගොඩක් කියලා. එයා වේදිකා නාට්‍ය විචාරය කරපු කෙනෙක්. ඒත් එයා බය වුණා වීදි නාට්‍ය ශිල්පියෝ වේදිකා නාට්‍යවලට ගියොත් වීදිය අත් අරියි කියලා. ඔය හේතුව හින්දා පරාක්‍රම නිරිඇල්ල එක්කත් අමනාපෙන් හිටියා.

 

ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන්නේ?

මුලින්ම පරාක්‍රම නිරිඇල්ලගේ “ඇබැද්දිය” කියලා ටෙලි නාට්‍යයක් කළා රූපවාහිනිය ආරම්භ කරපු කාලෙම. ඒක තමයි රූපවාහිනියෙන් එළියට ගිහින් කරපු පළවෙනි නාට්‍යය. ඊට පස්සේ ළමා නාට්‍ය ගොඩක රඟපෑවා. ඒ විදියට තමයි ටෙලි නාට්‍ය නිළියක් විදියට සම්බන්ධ වුණේ. මුල්ම ප්‍රාසාංගික ටෙලි නාට්‍යය විදියට සම්බන්ධ වුණේ ලූෂන් බුලත්සිංහලගේ තාරාදේවි නාට්‍යයට. ඒකෙ ගොලු චරිතයක් මම කළේ. ඒක ගොඩක් ජනප්‍රිය වුණා. ඒ ජනප්‍රියතාව තමයි අද වෙනකල් පවත්වාගෙන තියෙන්නේ. 88 තමයි චිත්‍රපටියකට සම්බන්ධ වුණේ. ඒ “මී හරකා” චිත්‍රපටයට. චිත්‍රපට නම් ගොඩක් අඩුයි රඟපාලා තියෙනවා. වීදි නාට්‍ය තමයි මගේ ජීවිතේ වුණේ.

ඔබ වීදි නාට්‍යයට ඒ තරම් ආදරය කළත් එක කාලෙකදි වීදි නාට්‍යයෙන් ඉවත් වෙනවා?

ඒ අයින් වුණේ හත්තොට්ටුවේගම සර් එක්ක ඇති කරගත්ත ප්‍රශ්නයක් නිසා. ඒක ප්‍රතිපත්තිමය ගැටීමක්. ඒක සමහර වෙලාවට අද මට වලංගුයි. සර් ජේ.වී.පී. එකට ඡන්දය දෙන්න කියලා අපට කිව්වා. ඒ ගැන තර්ක කරන්න ගිහින් මම සර්ට බැණලා මම අයින් වුණා. හැබැයි සර් මාව කවදාවත් අයින් කළේ නෑ. පස්සේ සර් නැතිවුණායින් පස්සේ සර් බොහෝ අවස්ථාවලදී වීදිනාට්‍ය කණ්ඩායම භාරගන්න කියල මගෙන් ඉල්ලපු ඉල්ලීම මම ඉටු කළා. අදටත් ඒක කරනවා. ඒක භාරගනිද්දි මට පැරණි අයත් උදව් කළා. විශේෂයෙන් එච්.ඒ.පෙරේරා පුහුණුවීම් පවා කළා අලුත් අයට.

 

වර්තමානයේ ජ.වි.පෙ. වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටින ඔබ ඒ වෙලාවේ ඡන්දෙ දෙන්න කියපු එකට විරුද්ධ වුණේ?

මම කොමියුනිට්ස් පක්‍ෂයට ගියේ කිසි අවබෝධයක් නැතිව. අපි මිනිස්සුන්ට වෛර කරපු එක විතරයි කළේ. ජනතා විමුක්ති පෙරමුණ ගැන හොඳ චිත්‍රයක් නෙවෙයි අපට දීල තිබුණෙ. අපි ඔවුන්ව දැක්කෙ නරුමයො විදියට. මාධ්‍යවලින් එහෙම තමයි අපිට පෙන්වලා තිබුණේ. අපේ අයියා ඒ කාලේ ජේ.වී.පී. කලා ක්‍ෂේත්‍රයට ආවයින් පස්සේ මගේ දේශපාලන දර්ශනය පුළුල් වුණා. නමුත් ජේ.වී.පීයට භක්තියක් තිබුණෙ නෑ. නමුත් පොඩි කැමැත්තකුත් තිබුණා. වීදි නාට්‍ය සංවිධානය කරන්නෙ කැම්පස්වල. ඒ කාලේ සුනිල් හඳුන්නෙත්ති, විජිත හේරත් වගේ අය හම්බ වෙනවා. ඒත් මම ඡන්දෙ දුන්නෙ නෑ. එක පාරක් ඡන්දෙ දුන්නා එච්චරයි. හැබැයි මම වීදි නාට්‍ය එහෙම කරන නිසා ගොඩක් අය හිතන් හිටියේ මම ජේ.වී.පී. කියලා. ඒත් මම ජේ.වී.පී නෙවෙයි. ඊට පස්සේ තමයි ඡන්දෙ දෙන්න පටන් ගත්තේ. පවතින පක්‍ෂ දේශපාලනයට එන්න කලින් පුරවැසි බලය කණ්ඩායමත් එක්ක එකතු වුණා. ඒකෙන් වැඩ කර කර ඉද්දි පිරිසක් යූ.ඇන්.පී. එකට ගියා. ඒ වෙලාවේ තමයි මම ජ.වි.පෙට සම්බන්ධ වුණේ. ඒ වෙද්දි මම පක්ෂෙ කීපදෙනෙක් එක්ක සාකච්ඡා කරලා තිබුණේ. මහ ඡන්දෙදි තමයි මුලින්ම කිරිබත්ගොඩ රැස්වීමට ගොඩ වුණේ. ඊට පස්සේ තමයි ඒ සහෝදරයො ටික මට ළංවුණේ.

 

ඔබ විවාහ නොවී ඉන්නත් හේතුව ඔය සමාජවාදී දේශපාලනයද?

නෑ එහෙම එකක් නෑ. ඒක මම හිතන්නේ අහම්බයක්. මම ගෑනු ළමයෙක් හැටියට ඉද්දි විවාහ වෙලා ගෙවල් දොරවල් හදාගෙන ඉන්න ඕනේ කියලා ආශාවක් තිබුණෙ නැතිව නෙවෙයි. එහෙම ආසාවල් තිබුණා. ප්‍රේම සම්බන්ධතා තිබිලා නැතිවෙලා තියෙනවා. ජීවිතේ විඳින්න තියෙන හැම දෙයක්ම මම විඳලා තියෙන්නේ. නමුත් මම විවාහය කියන දේ අර්ථාන්විතව දැක්කේ වීදි නාට්‍යයට ආවට පස්සේ. ඒ සම්ප්‍රදායට මගේ විරුද්ධත්වයක් තියෙන්න ඇති. වීදි නාට්‍යයට ආවාට පස්සේ, කාන්තා සංවිධානවලට ආවට පස්සේ තමයි කාන්තාවගේ තත්ත්වය තේරුම් ගත්තේ. කාන්තාවට සම තැන තිබිය යුතුයි. අපි විවාහය කියන්නේ අයිති කරගැනීමක්. ඇයි අපි අයිතිවාසිකමක් ලබා ගන්නේ. ඒ ලයිසන් එක ගත්තාම තමයි ආරවුල් වැඩි වෙන්නේ. මම විවාහ වෙන්න කැමතියි. හැබැයි ලයිසන් එකක් නැතිව. නමුත් අපේ රටේ විවාහ වෙන්නේ දරුවො හදන්න. මම ආදරය ඉහවහා යන්න ලබලා තියෙනවා. කලා ක්ෂේත්‍රයේ විශේෂිත පුද්ගලයෝ මට හිටියා. එහෙම දේවල් නෑ කියන්න තරම් බොරු සුචරිතවාදියෙක් වෙන්න ඕනෙ නෑ.

 

ඔබ නිසා කවුරු හෝ විවාහ නොවී ඉඳලා තියෙනවද?

නෑ එහෙම නෑ. සමහර අය මාව අත් ඇරලා ගිහින් විවාහ වෙලා තියෙනවා. තවත් අය තරහ වෙලා ගියා. ඒක ඒ අයගේ අදහස.


අසංක ධර්මශ්‍රී

Tags
තව දුරටත් කියවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *