දේශීය

ප්‍රංශ කෝචිචියෙන් කොට උඩ ගිය අපි ඉලෙක්ට්‍රික් බසයෙනුත් කොට උඩ යයිද?

භාණ්ඩ හෝ මගීන් එක ස්ථානයක සිට තවත් ස්ථානයකට රැගෙනයාම අපි ප්‍රවාහනය ලෙස සරලව හඳුන්වමු. වර්තමානයේ ප්‍රවාහනය ගත්කල විවිධ මාධ්‍යන් ඔස්සේ ඉතා විශාල දියුණුවක් ඇති මිනිසාගේ එදිනෙදා ජීවිතයට ඉතා සමීප මාධ්‍යයකි.

ප්‍රවාහන මූලික වශයෙන් මගී ප්‍රවාහනය හා භාණ්ඩ ප්‍රවාහනය යනුවෙන් කොටස් දෙකකට අර්ථ දැක්විය හැකි අතර මගී ප්‍රවාහනය සම්බන්ධයෙන් අද ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක කිරීමට යන විශේෂ ව්‍යාපෘතියක ආයෝජනයේ සාපේක්ෂ වාසිය මහජනයා වෙත ලැබේද යන්න ක්‍රියාත්මක කිරීමට පෙර අදාළ බලධාරීන් දෙවරක් සිතිය යුතුය.

ප්‍රවාහනය අතින් ඉතා ඌන සංවර්ධිත අප වැනි රටකට එම ක්ෂේත්‍රය වැඩි දියුණු කිරීමේ අරමුණින් රජය මිලියන 750ක පමණ වියදමින් නාගරික බස් රථ සේවාව සඳහා වායුසමනය කළ ඉලෙක්ටි්‍රක් බස් රථ 15ක් ප්‍රවාහන පද්ධතියට එක් කිරීමට යෑම ශ්‍රී ලාංකික ජනතාව වශයෙන් බැලූ බැල්මට කාගේත් උද්දාමයට පත්විය හැක. නමුත් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටකට මෙම ව්‍යාපෘතිය කෙතෙක් දුරට දරාගත හැකිද යන්න තවත් සිතිය යුතු කරුණකි.

නාගරික බස්රථ සේවාව සඳහා මෙකී ඉලෙක්ටි්‍රක් වායුසමනය කළ බස්රථ 15 යොදා ගතහොත් එයින් වාසිය අත්වන්නේ සමස්ත ජනගහණයෙන් 0.1% කටත් අඩු ජනතාවටය. තවද ඉලෙක්ටි්‍රක් බස්රථ මාර්ගවලට මුදවා හැරීමම ප්‍රමාණවත් නොවන අතර ඒවා නැවත ප්‍රතිරෝපණය කිරීමට විද්‍යුත් ආරෝපණ මධ්‍යස්ථාන පිහිටුවීමටද කටයුතු කිරීමට සිදුවන අතර එක්වරක් සම්පූර්ණ ආරෝපණයකින් ගමන් ගත හැක්කේ 200km වන බැවින් එවැනි මධ්‍යස්ථාන කීයක් ස්ථාපනය කිරීමට වනු ඇත්ද යන්න තවත් ගැටලුවකි.

වඩාත් වැදගත් වන්නේ වැඩි ජනතාවකට පහසුකම් සැලැස්වීම අරමුණු කරගත් ව්‍යාපෘති සඳහා කරන ආයෝජන කෙරෙහි මුල්තැන දීමය. මන්ද ඒ සියලු දේ සඳහා අවසානයේ යොදවන්නේ පොදු ජනතාවගේ බදු මුදල් නිසාය. තවද විශේෂ කරුණක් වනුයේ රජය විසින් මෙම බස්රථවලට ආයෝජනය කරන මිලියන 750 නැවත ප්‍රතිපූරණය කරගැනීම සඳහා වසර 12ක් පමණ ගත වේ.

නාගරික බස් රථ සේවයට යෙදවීමට අපේක්ෂිත මෙම බස් රථ රාත්‍රී කාලයේදී ධාවනය කිරීමට නොහැකි වීම හා උපරිම ආයු කාලය වසර 12ත් 15 ත් අතර වීම දැකිය හැකි විශේෂිත ඍණාත්මක ලක්ෂණ වේ. සාමාන්‍ය වායුසමනය කළ බස් රථයක් සාමාන්‍යයෙන් වසර 20-25 ත් අතර කාලයක් ධාවනය කළ හැකි අතර එයින් ඉතා විශාල ජනතාවකට සේවය උදෙසා යෙදවිය හැක.

මීට වසර 20 කට පමණ පෙර දුම්රිය ප්‍රවාහනය සවිමත් කිරීමේ අරමුණින් එවකට සිටි රජය ALSTOM M 9 වර්ගයේ දුම්රිය එන්ජින් තොගයක් මිලියන 200 පමණ වැය කර ප්‍රංශයෙන් ආනයනය කරන ලද අතර අදටත් එහි ප්‍රතිඵල දක්නට ඇත්තේ කොටන් උඩ පමණි. ජනතාවගේ බදු මුදල්වලින් එවැනි අසාර්ථක ව්‍යාපෘති ක්‍රියාත්මක නොකර සමස්ත මහජනයාටම ප්‍රයෝජනවත් වන ලෙස කටයුතු කිරීම රජයක වගකීමකි. ඉතා දියුණු රටවල පවා ඉලෙක්ටි්‍රක් බස් රථ තිබෙන්නේ තවමත් පර්යේෂණ මට්ටමේ වන අතර ශ්‍රී ලංකාව වැනි ඌන සංවර්ධිත රටකට එයින් ලැබෙන ඵලදායිකත්වය කෙතරම් වේද යන්නත් විශ්ලේෂණය කළ යුතය.

එමෙන්ම රජය මිලියන 750ක් පමණම මෙම ව්‍යාපෘතිය සඳහා වැයකිරීමට අපේක්ෂා කරයි නම් එයින් සාමාන්‍ය වායුසමනය කළ බස් රථ 60 ක් පමණ මගී ප්‍රවාහනයට යොදවාගත හැකි අතර එමගින් ශ්‍රී ලංකා මගී ප්‍රවාහනය ස්ථාවර මට්ටමකට ගෙනයා හැකි බව නොඅනුමානය.
විදුලියෙන් ධාවනය වන බස්රථ තුළින් පරිසර හිතකාමීත්වය ශ්‍රී ලංකාව වැනි රටවල 100% කින් සම්පූර්ණ කළ නොහැකිය. මන්දයත් විද්‍යුත් ජනනය සඳහාද ඉන්ධන දහනයෙන් උත්පාදිත විදුලිය ජාතික විදුලිබල පද්ධතියට ආධාරකයක් වන නිසාය. එබැවින් පරිසර හිතකාමී සංකල්පය පෙරදැරිව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම “පරිසර හිතකාමී” යන්නම අර්ධ සත්‍යයකි.

පැවති ආණ්ඩු සමයේදී පවා වැඩි අවධානයක් නොතිබුණු මෙවැනි ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කිරීම පිළිබඳ අතිගරු ජනාධිපති,අගමැතිතුමන් ඇතුළු බලධාරීන්ට ශ්‍රී ලාංකික ජනතාව වශයෙන් අපගේ හදපිරි ප්‍රණාමය පුද කරන්නෙමු. මෙවැනි විශාල අයෝජනක් කිරීමේදී දූරදර්ශීව කටයුතු කර එහි උපරිම වරප්‍රසාද මහජනතාව වෙනුවෙන් ලබාදීමට කටයුතු කරදෙන ලෙස සිහිපත් කරන්නෙමු. ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු නිසි බලධාරිනි, මේ ඔබේ අවධානය පිණිසයි.

Tags
තව දුරටත් කියවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි