විශේෂාංග

“අපිටම කියලා අපේම වාහනයක් අපි හදනවා”

- රොහාන් පල්ලෙවත්ත

ලංකාවේ වාහන ව්‍යාපාර අංශයේ පළමු පෙළේ ව්‍යාපාරිකයෙක් විදිහට ඔබතුමාගේ මතය අනුව මෙම සඟරාව කොයි විදිහේ බලපෑමක් වාහන ක්ෂේත්‍රයට සිදුකරයිද?
ඔව්.. ඇත්තටම මම හිතන්නේ ලංකාවේ සමාජ ක්‍රමය තුළ පාසල නිමා කරලා එළියට එන ඕනෑම කෙනෙක්ට තියෙන ප්‍රධාන හීනයක් තමා තමන්ට කියල වාහනයක් ගන්න එක.. නමුත් මම දකින කාරණාවක් තමයි ඒ ආශාවට සාපේක්ෂව වාහන සම්බන්ධව අපේ අයට තියෙන දැනුම ඉතාම සීමිතයි.. ඉතින් මම හිතනවා ඒකට අවශ්‍ය දැනුම මේ තුළින් ලබාදීම අනිවාර්යෙන්ම මහඟු පිටිවහලක් කියලා..

 

අපි දෙවන ලෝක යුද්ධය තිබුණ කාලය දිහාවට ගියොත් අපි දකිනවා ඒ කාලේ තිබ්බ වාහන අපි හැඳින්වූවෙ ලයිෆ් ටයිම් වාහන කියලා. නමුත් අද වෙද්දි ඕනෑම වාහනයක් වසර කිහිපයකට සීමා වෙලා තියෙනවා.. ඒකට හේතුව ලෙස ඔබ දකින්නේ කුමක්ද?

දැන් වාහනයකට දෙන වගකීම් කාලය වසර දහයයි. මම නිෂ්පාදනය කරන මෙවලම සම්බන්ධව වුණත් එහි පාවිච්චිය දීර්ඝකාලයක් වුණත් මම වගකියන්නේ අවුරුදු දහයක සීමාවකට විතරයි.. වසර දෙකෙන් දෙකට වගේ වාහනය අලුත් කරමින් නවමු වූ මාදිලියෙන් වාහනය නිර්මාණ කරලා තමන් අප්ග්‍රේඞ් එකකට යායුතුයි කියන තැනට මිනිසාගේ මනස නිර්මාණය කරන්න මුලින්ම පෙලඹුණේ ජපානය.. එහෙම නොවී අපි එකම වාහන පදිනවා කියන්නේ ඒ තුළ කිසිම වාණිජකරණයක් නැහැ.. ලෝකයේ හැම ක්ෂේත්‍රයම පාහේ වාණිජකරණ වුණ කාලයක වාහනයක් පවා කාලසීමාවකට අදාළව එන්න හේතුව විදිහට මම දකින්නේ මේ වාණිජකරණය වීම කියන කාරණාව..

අපි දන්නවා අපි සාමාන්‍යයෙන් වාහනයක නඩත්තුව සිදුකළත් එහි එයාර් බෑග් සිස්ටම් එක තුළ කිසිදු නඩත්තුවක් කරන්නෙ නැහැ.. ඉතින් ලෝකයේ රටවල් ගණනාවකට එයාර් බෑග් සෙන්සර් එක සපයන ව්‍යාපාරිකයා විදිහට ඔබතුමාගේ දායකත්වය සහ වගකීම කොහොමද?

ඇත්ත වශයෙන්ම වාහනයක් ඇතුළේ තියෙන එයාර් බෑග් එක පිරිසිදු කිරීම හෝ නඩත්තු කිරීමට කිසිම අවශ්‍යතාවක් වෙන්නේ නැහැ.. මම අර කලින් කිව්වා වගේ මගේ ආයතනයෙන් නිෂ්පාදනය කරනු ලැබූ එයාර් බෑග් සිස්ටම් එකක් නම් මම ඇතුළේ වසර දහයක බැඳීමක් සහ වගකීමක් ගොඩනගාගෙන තියෙනවා.. කුමන හෝ හේතුවක් නිසා මගේ ආයතනයේ නිපදවූ එයාර් බෑග් එකක් ඕපන් වුණේ නැත්තන් මට පුළුවන් ඒ අදාළ කාණ්ඩ අංකය හරහා ඒ ගැන පරීක්ෂණයක් කරන්න.. මොකද ව්‍යාපාරය තුළ මම සිස්ටම් හදලා තියෙන විදිහ අනුව එම කාණ්ඩ අංකය යෙදූ සැණින් නිපදවූ පුද්ගලයා, ස්ථානය, වෙලාව, උෂ්ණත්වය සහ ඒ අවස්ථාවට අදාළව තව නොයෙක් දේවල් දැනගන්න මට පුළුවන්කමක් තියෙනවා.. ඉතින් ඒ ඔස්සේ තමා මම වගකීම ඇතුව බැඳිලා ඉන්නෙ..

 

ඔබතුමාගෙන් මම ඇහුවොත් ව්‍යාපාරය ආරම්භ කරපු කාලයේ ඉඳලා අද වෙනකන් එයා බෑග් සෙන්සර් නිෂ්පාදනය සදහා යොදාගන්නේ එකම තාක්ෂණයක්ද?

ඔව්.. අපි මේවනතෙක් තාමත් යොදාගන්නේ එකම තාක්ෂණයක්.. නමුත් ආයතන තුළින් ලැබුන විවිධ යෝජනා ඔස්සේ කාලයත් සමග විවිධ වෙනස්කම්වලට භාජනය කරනු ලැබුවා.. නමුත් ප්‍රධාන තාක්ෂණය ගත්තොත් අද වෙනකන් භාවිතයට ගන්නෙ එකම තාක්ෂණය තමා..

 

ලෝකයේ වාහන නිෂ්පාදනය කරනු ලබන ආයතන කොපමණ සංඛාවකට ඔබතුමාගෙන් සේවය සපයනවද?

මම හිතන්නේ සේවය සපයන්නේ නැති ආයතන ගැන කතා කළා නම් අපිට ලේසියි.. ප්‍රධාන වශයෙන් ගත්තොත් ටොයෝටා, හොන්ඩා, මැස්ඩා, මිට්සුබිෂි, ඇස්ටන් මාටින්, කූපර්, බීඑම්ඩබ්ලිව් වගේම තව බොහෝ ආයතනවලට සේවය ලංකාවේ අපි විසින් සපයනවා..

ඒ අතරින් වැඩිම වගකීමක් බලාපොරොත්තු වෙන සහ නිසියාකාරව අවුට් පුට් එක බලාපොරොත්තු වන ආයතනය කුමක්ද?

හොන්ඩා..

 

මෑත කාලයේදි ආරංචි වුණ දෙයක් තමා ඔබතුමා මේ ඔටෝමොබයිල් ක්ෂේත්‍රයට පමණක් සීමා නොවී දේශපාලනයට එන්න හදනවා කියන කතාව.. ඇත්තද මේ කියන්නෙ?

ඔව්.. ඒ තීරණයේ කිසිදු වෙනසක් වෙලා නෑ.. මේ රටේ පවතින තත්ත්වය සහ ආර්ථිකය හොඳ තත්ත්වයකට හැරවෙනවා නම් මට දේශපාලනයට එන්න කිසිදු අවශ්‍යතාවක් නැහැ. නමුත් එහෙම වෙන්නෙ නැත්තන් ඒ වෙනුවෙන් මම දේශපාලනයට එනවා..

 

මෑතකදී ඇතිවුණ ගැටලුවක් තමා රුපියල අවප්‍රමාණය වීම සහ LC හරහා ලංකාවට වාහන ගෙන්වීම තහනම් වීම.. ඉතින් මේ කියන කාරණාව පාරිභෝගිකයාට කෙසේ බලපායි කියලද ඔබතුමා හිතන්නෙ?

මම හිතනවා රුපියල අවප්‍රමාණය වීමට හේතුව තමා ලංකාව තුළ කිසිදු නිෂ්පාදනයක් සිදු නොවීම.. ඉතින් අපිට බැරි නැහැ විදේශ ආයෝජනය මෙරටට ගෙන ඒමට සහ, ලංකාවේ මුදල් පිටරටට යාම අවම කිරීම සඳහා ලංකාව තුළම යමක් නිපදවන්න. ඒකෙන් අපිට පුළුවන් වෙනවා ලංකාවේ මුදල් විශාල සංඛ්‍යාවක් පිටරටට ගලායෑම නවත්වන්න.. මොකද ලංකාව ඇතුළේ ඒකට අවශ්‍ය තාක්ෂණය උපරිම තලයක තියෙනව.. රුපියලේ අවප්‍රමාණය ගැන රජය ඔය තරමටම හිතනවා නම් ඒ අයට කරන්න තියෙන පහසුම සහ සුදුසුම විසඳුමක් විදිහට මම මේ දේ දකිනවා..

ඒකට ඔබතුමාගේ මැදිහත්වීමක් නැද්ද?

ඇත්තටම මේ දවස්වල මම මයික්‍රෝ ආයතනය මිලදී ගැනීම සඳහා සාකච්ඡා කටයුතු සිදුකරමින් යනවා.. ඒ වැඩපිළිවෙළ යටතේ පළමු පියවර වශයෙන් අපි ජපානයෙන් භාණ්ඩ ගෙන්වා ලංකාව තුළ ෆුලි ඉලෙක්ටි්‍රක් ත්‍රීවීල් එකක් නිර්මාණය කරලා තියෙනවා.. මෙම ත්‍රීවිල් රථය සම්පූර්ණ ජපන් තාක්ෂණයෙන් ලංකාවේ නිෂ්පාදිත එකක්. මෙහි විශේෂත්වය වන්නේ ත්‍රීවිල් රථයේ සූර්යකෝෂ මගින් ධාවනයට අවශ්‍ය ශක්තිය ලබාදීම. පළමු පියවර විදියට ලබන වසරේ මුල් භාගයේ එම ත්‍රීවිල් රථය අපේ රටට හඳුන්වා දෙනවා. අපේ බලාපොරොත්තුව එම ත්‍රි රෝද රථය කුඩා මෝටර් රථයක් දක්වා නිර්මාණය කරන්න..

 

දැන් ලංකාව ගත්තොත් පුද්ගලයෙක් මිලියන පහක හයක වාහනයක් ගත්තත් අපි දකින දෙයක් තමා ඒ අයගේ වාහනයේ සාමාන්‍ය නඩත්තුව ගැන තියෙන දැනුම අඩුයි.. ඒකට ඔබතුමාගේ සරල විසඳුම කුමක්ද?

ඕනෑම වාහනයක් අලුතින් ගන්නවා නම් ඒකට එනවා මැනුවල් එකක්.. වර්ක් ෂොප් මැනුවල් එක නොවුණත් කෙනෙක්ට පුළුවන් නම් ඕනර් ෂිප් මැනුවල් එක කියවන්න මම හිතනවා ඒක මගඟු පිටිවහලක් කියලා. ඒ වාහනය සෙකන්ඞ් හෑන්ඞ් එකක් නම් අද වෙනකොට නෙට් එකේ සර්ච් කරලා මැනුවල් එක ගන්න බැරිකමක් නෑ. වාහනයේ හිමිකරුට හරි සරල විදිහට එදිනෙදා අවශ්‍ය දැනුම ඒ තුළින් ලබාගන්න පුළුවන්.. මේ මැගසින් එකෙනුත් ඒ දේ කරන්න පුළුවන් නම් මම හිතන්නෙ ඒක වටිනවා..

 

ලංකාව ඇතුළේ අපි දැකපු දෙයක් තමා මේ රියදුරන්ගේ විනය බොහෝ සෙයින් අඩු වීම.. අවසාන වශයෙන් මම කැමතියි බොහෝ අත්දැකීම් තියෙන පුද්ගලයෙක් හැටියට ඔබතුමා එය දකින්නෙ කොහොමද කියල දැනගන්න..

ලංකාව කියන්නෙ හරි හිත හොඳ මිනිස්සු ඉන්න රටක්.. මේකට හේතුව විදිහට නම් මම දකින්නෙ අපේ අය ජීවත් වෙන්නෙ ප්‍රශ්න එක්ක.. ඉතින් ඔය අස්සේ වෙන පොඩි සිදුවීමක් පිට වෙන්නෙ ඒ හැමදේම එක්ක.. නමුත් පොඩි වෙලාවකින් ඒ දේ අමතකවෙලා යනවා..


තීක්ෂණ ශ්‍රී විජේසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button