දේශීය

ආසනික්, රසදිය, ඊයම් වැඩි ක්‍රීම් වර්ග අලෙවිය තහනම්

සමෙහි ආලේප කරනු ලබන ක්‍රීම් හා දියර වර්ගවල අඩංගු විය හැකි බැර ලෝහ වර්ගවල උපරිම ප්‍රමාණය නියම කිරීමේ නීතිය නොවැම්බර් පාමු වැනිදා සිට ක්‍රියාත්මක වන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා.

නව නීතිය අනුව ක්‍රීම් වර්ගයක හෝ දියර වර්ගයක ඊයම් අඩංගු විය හැකි උපරිම ප්‍රමාණය කිලෝග්‍රෑමයක මිලිග්‍රෑම් 10 කි. ආසනික අඩංගු විය හැකි උපරිම ප්‍රාමාණය කිලෝග්‍රෑමයක මිලිග්‍රෑම් තුනකි. රසදිය අඩංගු විය හැකි උපරිම ප්‍රමාණය කිලෝග්‍රෑමයක මිලිග්‍රෑම් එකක් වන අතර කැඩියම් අඩංගු විය හැකිවන්නේ කිලෝග්‍රෑමයක මිලිග්‍රෑම් තුනකි.

මෙම ප්‍රමාණය ඉක්මවා බැර ලෝහ අඩංගු වන ක්‍රීම් හා දියර වර්ග නිෂ්පාදනය, ආනයන, බෙදා හැරීම, ඇසුරුම් කිරීම, ගබඩා කිරීම හෝ තොග හෝ සිල්ලර වශයෙන් විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම හෝ විකිණීමට ඉදිරිපත් කිරීම තහනම් වන බව අධිකාරිය කියයි.

දැනට වෙළඳපොලේ පවතින ආලේපන හා ක්‍රීම් වලින් හරි අඩකටත් වඩා අධික ලෙස රසදිය යෙදූ ඒවා බව පරිසර යුක්ති කේන්ද්‍රය කළ පරීක්ෂණයකදී හෙළි වී තිබෙනවා.

සමෙහි ආලේප කරන ක්‍රීම් හා දියර වර්ග ලෙස සලකනු ලබන්නේ මේකප් දියර වර්ග, ක්ලේන්සින් ක්‍රීම් හා දියර වර්ග, මොයිස්චරයිසින්, රෝම ඉවත් කිරීමේ ක්‍රීම් හා දියර වර්ග, හිරු රශ්මියෙන් සම පිළිස්සීම වැළක්වීමේ වලක්වන ක්‍රීම් හා දියර වර්ග, සුදුවීම සඳහා භාවිතා කරන ක්‍රීම් හා දියර, සමෙහි අඳුරු පැහැය නොපෙන්වීමට භාවිතා කරන ක්‍රීම් හා දියර, ශීත ක්‍රීම් හා දියර සහ අදාළ නියමයන් විසින් සමෙහි ආලේප කරන ක්‍රීම් හා දියර වර්ග ලෙස හඳුනා ගනු ලැබූ වෙනත් ක්‍රීම් හෝ දියර වර්ගයක් වේ.

එමෙන්ම 2002 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරියේ පනතෙහි 10 (01) වගන්තියට අනුව මෙම වර්ගයන්ට අයත් නිෂ්පාදන සිදු කරන්නන් විසින් සෑම පැකට්ටුවකම නිෂ්පාදකයන් හෝ ආනයනය කරන්නන් විසින් නිෂ්පාදකගේ නම හා ලිපිනය, ආනයනය කරන්නේ නම් ඔවුන්ගේ නම හා ලිපිනය, නිෂ්පාදිත රට, සන්නාම නාමය, පරිමාව, කාණ්ඩ හෝ කේත හෝ තොග හඳුනා ගැනීමේ අංකය, නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වීමේ දිනය, උපරිම සිල්ලර මිල, අමුද්‍රව්‍ය ලයිස්තුව, භාවිත කිරීම සඳහා උපදෙස්, අවශ්‍ය වන්නේ නම් අනතුරු ඇඟවීමේ ප්‍රකාශන යන තොරතුරු සඳහන් කළ යුතු බවද එම ගැසට් පත්‍රයේ සඳහන් වෙනවා.


විනීතා එම්. ගමගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button