විශේෂාංග

අරලියගහ මන්දීරයේ නොදන්න රහස්

මේක රාජකීය උෂ්ණය වැදුණු ස්කාගාරයක්

බහුතරයක් දෙනා කතා කරන විදියට නම් ලංකාවේ දේශපාලන පෙරළි ඇතුළෙ ලොකු – පොඩි හැම ගේමක්ම බැලන්ස් කරපු තැනක් තමයි අරලියගහ මන්දිරය කියන්නේ. අරලියගහ මන්දිරය නම්, කතාවේ හැටියට ලෙහෙසි පහසු විදියට සාමාන්‍ය පුරවැසියෙක්ට පය තබන්නටවත් හැකියාවක් ලැබෙන්නේ නෑ. මොකද ඒ තරමට ඒක රාජකීය උෂ්ණය තියෙන තැනක් වෙලා හමාරයි. කොටින්ම කියනවා නම් වර්තමානය වෙනකොට ලංකාවේ අගමැතිවරයාගේ නිල නිවස වෙලා තියෙන්නෙත් අරලියගහ මන්දිරය.. ඒ කියන්නේ ඒක හරි දේශපාලනිකයි.

කොහොම වුණත් කොළඹ නගරයේ තියෙන පෞරාණික ගොඩනැගිලි ගැන කතා කරනකොට අරලියගහ මන්දිරය ගැන කතා නොකරම බැහැ. මොකද අනික් ගොඩනැගිලිත් එක්ක සසඳන කොට අරලියගහ මන්දිරයත් පෞරාණික බවින් යුක්ත වන නිසා. බැලූ බැල්මට අලංකාර විදියට ගොඩනගලා තියෙන නවීන පන්නයේ සුවිසල් මන්දිරයක් විදියට පේන්න තිබුණත් මේකෙ ඉතිහාසය නම් ගොඩක් අෑතට ගමන් කරනවා. හරියටම කියනවා නම් දැක්ක ගමන් කිසිම දෙයක් විශ්වාස කරන්න එපා කියනවා වගේ වැඩක් තමයි මෙතනත් තියෙන්නේ. ඒ හින්දා හෙමින් ආපස්සට අඩිය තියලා අපි ඇවිදලා බලමු අරලියගහ මන්දිරේ ඉතිහාස කතාවේ හැඩය මොන වගේද කියලා.

අපි මේ කතා කරන අගමැති නිල නිවස අද වෙන කොට අරලියගහ මන්දිරය විදියට හැඳින්වුවත් මුල්ම කාලෙදී මේක හඳුන්වලා තියෙන්නේ හරි අපූරු නමකින්. ඒ කියන්නේ “ඩී බ්‍රැන්ඩරි” කියලා. ඒ නම අහපු ගමන්ම හිතෙනවා නේද මේ මොකක්ද මේ නමේ තේරුම කියන්නේ කියලා වගේ අදහසක්. හරි ඒකත් කියන්නම්කෝ. මේ නමේ අර්ථය විදියට දැක්වෙන්නේ “ස්කාගාරය” කියලා. මේ නම ඒ විදියට තියෙන නිසා ගොඩක් දෙනෙක් විශ්වාස කරන්නේ මේ ගොඩනැගිල්ලේ මත්පැන් ගබඩාවක් තියෙන්න ඇති කියලයි එක් පිරිසක් ඒක විශ්වාස කරනකොට තවත් පිරිසක් කියන්නේ අද අපි කතා කරන අරලියගහ මන්දිරයේ අතීතයේදී මත්පැන් නිෂ්පාදනාගාරයක් ස්ථාපිත කරලා තියෙන්න ඇති කියලයි. මේ අදහස් සහ විශ්වාස එහෙම වෙනකොට අරලියගහ මන්දිරය කියන නම හැදුනේ කොහොමද කියලත් බලමු.

අරලියගහ මන්දීරයේ නොදන්න රහස්

අරලියගහ මන්දිරයේ නම ඒ විදියට භාවිත කරන්නට කටයුතු යෙදිලා තියෙන්නේ මේ කියන විශාල භූමියේ තිබුණු අරලිය ගස් දෙකක් නිසයි. එය මූලික කරගෙන තමයි අරලියගහ මන්දිරය කියන නමින් එදා විතරක් නෙවෙයි අදටත් හැමෝම මේ විශාල මැදුර ඒ විදියට නම් කරන්නේ. වර්තමානයේ ගොඩනැගිලිවලින් වටවෙලා අරලියගහ මන්දිරය නිරාවරණය වෙලා නොතිබුණත් අපි මේ කතා කරන එක්දහස් අටසිය ගණන්වල අරලිය ගහ මන්දිරය සම්පූර්ණයෙන්ම වගේ මුහුද දෙසට නිරාවරණය වෙලයි තිබුණේ. ඉතින් ඒ මුහුදු හුළඟින් ස්පර්ශ වුණු අරලියගහ මන්දිරය එදා නම් කරලා තිබුණේ “ටෙම්පල් ටී්‍රස්” කියලා. හරියටම කියනවා නම් ඉතිහාසගත තොරතුරුවල සඳහන් වෙන විදියට මුල් කාලයේ කොල්ලුපිටිය හඳුන්වා ඇත්තේ බරදෙණිය ලෙසින් කියලයි අතීත විස්තරවල සඳහන් වෙන්නේ. ඒ කොහොම වුණත් ලන්දේසි නමකින් හඳුන්වපු “ඩි බ්‍රැන්ඩරි” නිවසේ මුල්ම අයිතිකරුවා කවුද කියලා නිශ්චිත ලෙසින්ම හොයාගන්න බැරි වුණත් මේ නිවස සුදු ජාතිකයන් සතුව තිබූ බව තමයි පැරණි පොත පතවල සඳහන් වෙන්නේ. තවත් විදියකින් කියනවා නම් මේ නිවස සහ ඒ අවට පොල්වත්ත සම්පූර්ණ වශයෙන්ම අයත් වෙලා තිබුණු සුදු ජාතිකයා බි්‍රතාන්‍ය රජපවුලේ ඥාතියෙකු බවත් කියැවෙනවා. එතකොට කව්ද මේ සුදු ජාතිකයා. මේ සුදු ජාතිකයා තමයි රැන්සොවිහි කවුන්ට්වරයා විදියට හඳුන්වන ඩැනියල් ඩිට්ලොජ්. මුලින්ම සඳහන් කරපු විදියට මෙහි ස්කාගාරයක් මුල්ම කාලයේ තිබුණත් බි්‍රතාන්‍ය ජාතිකයන් ලංකාවට ආවට පස්සේ අරලිය ගහ මන්දිරය තුළ තිබුණු ස්කාගාරය ඉවත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මුලින් සඳහන් කළ විස්තරය එහෙම වුණත් තවත් විස්තරයක සඳහන් වන්නේ ඉන් එහාටත් ගිය සිදුවීම් කිහිපයක්. ඒ දේවල්වල සඳහන් වෙනවා. මෙන්න මේ වගේ විස්තර ටිකක්.

අරලියගහ මන්දිරයේ ඉතිහාසය 19 වන ශත වර්ෂයේ මුලටම දිවගෙන යනවා. ඒ වෙන කොට මේකෙ හිමිකාරීත්වය දරලා තියෙන්නේ මුල් පෙළේ එංගලන්ත පරිපාලකයන් කීපදෙනෙක් සහ ව්‍යාපාරිකයන් කීප දෙනෙක්. කොහොම වුණත් 1830- 1834 කාලය වෙනකොට අරලිය ගහ මන්දිරයේ භාරකාරත්වය අතට අරගෙන ඉඳලා තියෙන්නේ එංගලන්ත සිවිල් සේවයේ වැඩකටයුතු කරපු “ජෝන් වල්බේෆ්” කියන පුද්ගලයා.

ඉන් පස්සේ කාලෙකදී තමයි ඒ කියන්නේ 1848 දී “ක්‍රිස්ටෝපර් එලියට්” අරලිය ගහ මන්දිරය විදියට නම් කරපු මේ නිවස මිලදී අරගෙන තියෙන්නේ. පසුකාලීනව ඒ කියන්නේ 1856දී තවත් විදේශීය ජාතිකයෙක් මේ සුන්දර නිවහන තමන්ගේම මුදලින් මිලදී අරගන්න සමත් වෙලා තියෙනවා. ඔහුව හඳුන්වලා තියෙන නම තමයි “ජෝන් පිලිප් ග්‍රීන්”

මුලින් කියපු විදියට බ්‍රිතාන්‍යයන් ලංකාවට අවට පස්සේ අරලිය ගහ මන්දිරය තමන්ගේ භාරයට අරගෙන යටත් විජිත ලේකම්වරයා සිටින නිවස විදියට මේක නම් කරලා තියෙනවා. ඉතින් ඒ විදියට විදේශීයයන් අතර හුවමාරු වෙමින් තිබුණු අරලිය ගහ මන්දිරය ලාංකිකයන් අතට පත්වුණාට පස්සේ ලංකාවේ ප්‍රථම අගමැතිවරයා විදියට කටයුතු කරපු ඩී.එස් සේනානායක මහතා තමයි මුල්ම වරට අගමැති නිල නිවස විදියට මෙය භාවිත කරලා තියෙන්නේ.

ඉතින් ලංකාවේ දේශපාලනික ගමන් මාර්ගයට මෙන්න මේ විදියට තමයි අරලියගහ මන්දිරය සම්බන්ධ වෙන්නේ. ඒ වුණත් ලංකාවේ පක්ෂ දේශපාලනයේ හැසිරීම කවරාකාර වුණත් බොහෝ තැන්වලදී අරලියගහ මන්දිරයේ සිදුවන කතා බස් සහ උණුසුම් තීරණයන් ලංකාවේ සිදුවන දේශපාලන ගැටුම්වලට මෙන්ම අනෙකුත් සිදුවීම්වලටත් සෘජුවම බලපාන බව නොරහසක්.


මේධාවි ජයතිලක

Tags
තව දුරටත් කියවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි