දේශපාලන

“මේ අය මල්වත්තේ සර්පයෝ වගේ”

- ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී - පියල් නිශාන්ත

භාරකාර ආණ්ඩු සම්බන්ධයෙන් කෙරෙන සාකච්ඡාවලදී තත්ත්වය කොහොමද මන්ත්‍රීතුමා ?

තවමත් ඒ සාකච්ඡා පවත්වමින් යනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අපේ කණ්ඩායම රැස්වෙලා කළ සාකච්ඡාවලදී පරිගණක සහ රට ගැන වගකීමෙන් හිතන දේශපාලනඥයෝ විදියට ඒ භාරකාර ආණ්ඩුව පිළිබඳ යෝජනාව කැමැත්ත පළ කළා. රට ගැන සහ ජනතාව ගැන හිතලා මහින්ද රාජපක්ෂ මහත්තයට එහි වගකීමත් භාර දුන්නා. පක්ෂ නායකයෝ එක්ක සාකච්ඡා කරලා එතුමා ඉදිරි තීන්දු තීරණ ගනිවි.

ඔබතුමාලා කියලා තිබුණ විකල්පයක් තියෙන නිසයි මේ විදියට සම්මුතිවාදී ආණ්ඩුවෙන් ඉවත් වෙලා භාරකාර ආණ්ඩුවකට යන්නෙ කියලා ඒ විකල්පය මොකක්ද කියලා හෙළි කරන කැමති නැද්ද ?

විකල්පය කියන්නේ ඉතිං අද වෙනකොට මේ රට දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දීලා තියෙන එකට විසඳුමක් දෙන එක තමයි. ආණ්ඩුවේ අමාත්‍යවරුම කියනවා ලබන අවුරුද්ද වෙනකල් රට ගෙනියන්න බෑ කියලා මේ යන විදියට. අපි නම් කියන්නේ ලබන අවුරුද්ද තියා මේ අවුරුද්දවත් ගෙවා ගන්න බැරිවෙයි මේ විදියට රට සවාරි ගිහින් උත්සව තිය තියා බොරු වියදම් කළොත්. රට කාපු, ගම කාපු, බැංකු ගිලපු ආණ්ඩුව පන්නලා රට හදන ආණ්ඩුවක් පත් කර ගන්න එක තමයි විකල්පය. මේ අය තවදුරටත් හිටියොත් දක්වන ඉරණම ඛේදනීය නිසා අපිට විකල්පයකට යා යුතු වෙනවා. හැබැයි එහෙම යන්නේ කාවවත් සතුටු කරන්නවත්, කොන්ත්‍රත් වලට යටවෙලාවත් නෙවෙයි. සැබෑ ලෙසම රට ගැන හිතලයි.

ඔබතුමාලා ඔහොම කිව්වට ඔවුන් කියන්නේ රාජපක්ෂ මහතා වගේ පවුල් පිටින් සවාරි යන්නෙත් නෑ. රුපියල මස්තබාල්දු වෙන්න හේතුවත් පසුගිය ආණ්ඩුවමයි කියලනේ?

රුපියලේ අගය කොහොමද තිබුණේ. ඩොලරය කොහොමද තිබුණේ කියන එකයි එදා රට සවාරි ගිය එකයි අද එකයි අතර වෙනසයි ජනතාව හොඳින් දන්නවා. මේ ගොල්ල මොනවා කිව්වත් ඒ අය එදා සවාරි යන එක වැරදියි කියලා දැක්ක නම් අදත් ඒ ගොල්ල ඒකම කරන්නේ මොකටද ? රට අද අරාජික තත්ත්වයකට පත් කරලා නායකකයි උපනායකයයි දෙන්නම පිටරට සවාරි යනවා. එහිදී නම් කිව්වේ මමයි මගේ ලේකම් සහ තව අත්‍යවශ්‍ය දෙතුන් දෙනෙක් විතරයි යන්නේ කිව්වට පවුල් පිටින් ගිහින් ඥාති සංග්‍රහ කර ගන්නේ නැද්ද? මට නම් ඔවට කියන්න තියෙන්නේ බොරු කයිවාරුව විතරයි මේ අයට තියෙන්නේ. අපි රටට කරපු දෙයින් කාලක්වත් තමන්ට කර ගන්න බැරි වුණ දුකටයි ඔය කියවන්නේ කියලා.

හැබැයි ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කියන්නේ ජනතාව පෙරට කියලා රට, ජනතාව වෙනුවෙන් සියල්ල කරන්නේ කියලයි?

ඔව්. ආණ්ඩුවකට අවුරුදු 4ක් වෙන්න යන වේලාවේ ඔය ආර්ථික ඔස්තාර්ලව ජනතාව වෙනුවෙන් කරපු එකම දේ රට අනාථ කරලා රට කුජීත කරලා දාපු එක විතරයි. සවාරි වලින්වත් මෙහෙ ඉඳලවත් රටට කරපු දෙයක් නෑ. මේ නායකයෝ ප්‍රායෝගික නෑ. සිරිසේන හීනෙන් නැගිටලා වගේ එකත් කියනවා.
ආර්ථික ඔස්තාර් කියන බය නැති අගමැති එකක් කියනවා. මැති ඇමැතිවරු තව එකක් කියනවා මේ සේරම පරස්පරයි. ඉතිං එකඟතාවයක් නැති නායකයෛා් ඉන්න රටේ ජතාවට කටින් සේවය කරනවා කිව්වට වැඩක් නෑ. ජනතාවට අබසරණයි කියලා තමයි මට නම් හිතෙන්නේ.

සජිත් අමාත්‍යවරයා පහුගිය දවසක කිව්වා ඔය භාරකාර ආණ්ඩු කතාවක් ඔබතුමාලාගේ ජනතාව මුළා කරන වැඩ පිළිවෙළේ කොටසක්මයි කියලා. ඇත්තද ඒ කතාව?

සජිත් කියන කතා දැන් කවුරුවත් විශ්වාස කරන්නේ නෑ. සජිත් කියන චරිතේ ගැන මම පෞද්ගලිකවම දන්නවනේ. මෑත කාලෙක රනිල් එක්ක වැඩ කළාට මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ එයාගේ වාසියට අභ්‍යන්තරව රාජපක්ෂ මහතා එක්ක සම්බන්ධතා තියාගත්තු කෙනෙක්. එයා මොනවා කියනවද කියලා අපිට වැඩක් නෑ.

ඔය චෝදනාව කරන්නේ වගකීමෙන්ද මන්ත්‍රීතුමා ?

පැහැදිලිවම ඔව්. ඒ ගොල්ලන්ට ඒ කාලේ ලොකු කේස් ගාණක් තිබුණා. තමන්ගේ සහෝදරියගේ හොර සල්ලි ප්‍රශ්නය වගේ ඒ වගේ බේරෙන්න ඒ කාලෙත් ඉන්න නායකයව ෂේප් කරගෙන ඉන්නයි හැදුවේ. අද රනිල් එක්ක හිටියට රනිල්ට විශ්වාසභංගය ගේනකොට මෙයා යටින් සහාය වුණේ මෛත්‍රීපාල සිරිසේනට. ඒ කෙනුත් හැදුවේ රනිල් ගෙදර ගියොත් ගොඩයන්න. හරිගියේ නැති නිසා දැන් ආයෙත් ඉන්නවා රනිල් ළඟට වෙලා. ඒ වගේ ප්‍රතිපත්තියක් නැති වේදිකාවල වාචාලකම් කියවන නායකයෙක් විදියටයි මම සජිත්ව දකින්නේ.

මන්ත්‍රීතුමා කිරි පැකට් ප්‍රශ්නේදී තමන්ට අපහාස කළා කියලලා මුජිබර් ඇමැතිතුමා නඩු දාන්න යනවා. මේ ප්‍රශ්නේ මොනවා වෙයිද ?

අද ගොඩක් ආහාර නිෂ්පාදන වගේම විවිධ නිෂ්පාදන ආයතනවලට රජයේ දේශපාලන හස්තය යොමුවෙලා තියෙනවා. ඒ හස්තයත් එක්ක තමයි මේ විෂ මිශ්‍ර කිරි පැකට් එක විෂ නැති එකක් වුණේ. රස පරීක්ෂක වාර්තාවක් එන්න මාසෙකට ආසන්න කාලයක් යනවාද ? ඊළඟට කිරි පැකට් නිෂ්පාදන ආයතනය පැහැදිලිවම කියනවා පිටින් කවරය හිල් කරලා කුමක්හෝ යොදලා තියෙනවා කියලා. ඉතින් එහෙම නෙවෙයි නම් ඒ කිරි පැකට් සමාගම කිරි ඒකට වගකියයන්න එපැයි. එහෙම නැතිව දැන් මේ බොරුවට රඟපානවා. මෙතැන වුණේ මෙච්චරයි. අපේ උද්ඝෝෂණය මේ අයට අභියෝගයක් වුණා. ඕන වෙලාවක අපේ ජනතාවට මේ අයව වටලලා ගෙදර යවන්නත් පුළුවන්. ඕන දෙයක් කරන්නත් පුළුවන් කියලා දැනගත්තම ඒකට බය වුණ අය තමයි ඔය රස පරීක්ෂක වාර්තා පවා වෙනස් කර කර දඟලන්නේ. ඔය වාර්තා වෙනස් කරන හැටි සහ වෙනස් වෙන හැටි අපි ඉතිහාසසේ ඉඳන්ම දන්නවනේ. ඉතින් අපිට බොරු කරන්න බැහැ.

ඒ කියන්නේ ඔබතුමාලත් එවැනි දේවල් කරලා තියෙනවාද?

නෑ. මම නම් නෑ. මම තවම නවක මන්ත්‍රී වරයෙක්. හැබැයි ඉතිහාසයේ මෙවැනි දේ දැකලා තියෙනවා. පෙනි පෙනී මේවා කරන එකනේ ප්‍රශ්නේ.
දැන් ඉන්ධන මිල, ගෑස් මිල, බඩු මිල වගේම බස් ගාස්තුත් වැඩි වුණා. අවුරුදු 10කට පස්සේ දුම්රිය ගාස්තු වැඩි වුණා. මොකද හිතන්නේ මේ සේරම වැඩි වෙන එකෙන් සිද්ධ වෙන්නේ රට නාස්ති වෙන ජනතාව හාමතේ වැඩි කාලයක් උදාවෙන එකයි.
මේ ඇමැතිවරුන්ට, ජනාධිපති අගමැතිට ඒවා ගාණක් නෑ. ඒ අය සැප විඳිනවනේ. රට සවාරි යනවනේ. හොඳට වැඩිපුර ලක්ෂ තුන හතරක වැටුප්. යාන වාහන ලැබෙන එයකි හරියටම වෙනවනේ.

මේ දුම්රිය ගාස්තු ඉහළ යෑම සාධාරණද මන්ත්‍රීතුමා ?

මේක 15% කින් වැඩි කරනවා කිව්වට 40% කින් සමහර ඒවා වැඩි වුණා කියලා සංඛ්‍යා ලේඛන එක්කම පෙන්නලා තියෙනවා. දැන් ඒ අයට කියනවා කිලෝ මීටරයටයි 15%ක් වැඩි කළේ කියලා. මොනවද මේ කතා. මේ ආණ්ඩුව දුම්රිය ගාස්තුවට කළ දේම තමයි යහපාලන ආණ්ඩුව 2015 ජනවාරි 15 ආපදු ඉඳලම රටට කරන්නෙත්. පෙන්නේනේ එකක්. ක්‍රියාත්මක කරන්නේ ඊට වඩා ඉතාම භයානක දෙයක්. ඔව්වට කියන්නේ හැංගි හොරා ගහනවා කියලා. මේ අයත් මල් වත්තේ සර්පයෝ වගෙයි. මල් වත්ත ලස්සන වුණාට වැඩක් නෑනේ. මිනිස්සුන්ට සුන්දරව පෙනුනට වෙන්නේ ජනතාව නැති කරන එක.


චාමිකා මුණසිංහ 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button