විශේෂාංග

“අපි පාර්ලිමේන්තුවට යවන්නේ 8 පාස් නැති කුඩු රස්තෝ”

පොලිටිකල් එපා වෙලාද ඉරාජ්....?

ඉරාජ්ට මුලින්ම දේශපාලනය කියන දේ Feel වුණේ කොයි කාලේද?

පොඩි කාලේ ඉඳලම දේශපාලනය කියන දේ මට තදින්ම දැනුනා. ඒ හින්දම තමයි මම හදපු සිංදුවලත් දේශපාලනය ගැන හා සමාජයේ කියන දේවල් එකතු කරගෙන ඒවා නිර්මාණය කළේ.

දේශපාලනය ගැන අවධියෙන් හිටිය නිසා ඒ කාලේ මැති ඇමැතිවරුන් දුන්න පොරොන්දු දැන් ඉෂ්ඨ වෙලා කියලා හිතනවද?

නෑ. මෙහෙමයි, කව්රු මොනවා කිව්වත් කියන හැම එකක්ම වෙන්නේ නෑනේ නේද? අපි හරි නායකයන් පත් කරගන්න ඕනි. ඒ කියන්නේ මගේ නම් මතය දැන් අපි අලුත් තරුණ නායකයන් ඉදිරියට ගේන්න ඕන කාලය ඇවිල්ලා තියෙන්නේ.

හරි, එහෙම නම් ඒ අය දුන්න පොරොන්දු ඉෂ්ඨ නොවෙන්න හේතු මොනවා කියලද හිතන්නේ?

මුල්ම හේතුව තමයි වැරදි පුද්ගලයොනේ අපි පාර්ලිමේන්තුවට යවන්නේ. 8 පාස් නැති කුඩු රස්තෝ, එහෙම මිනිස්සු සිමෙන්ති කොට්ටයක් හරි, ඇස්බැස්ටෝස් සිට් එකක් හරි දුන්නම එයාලට ඡන්දේ දෙනවා. අපේ මිනිස්සුන්ට කිසිම Vision එකක් නෑ. හිතන්නෙත් නෑ. හොඳ මනුස්සයෙක්ට ඡන්දේ දීලා, ඒ මනුස්සයාගේ දිගු කාලීන Plan වලින් රට දියුණු කරන්න, ඒ මිනිහව පාර්ලිමේන්තුවට යවන්න ඕනි කියලා. මිනිස්සු ඡන්දේ දෙන්නේ එදා වේලට. ඉතින් ඒ හින්දා හැමදාම අපිට මේ තත්ත්වේ නිසා සුද්දා රට දාලා ගිය එකත් අපරාදේ කියලා හිතෙනවා දැන්.

ඉරාජ් මුලින්ම ඡන්දේ දුන්නේ දේශපාලකයෝ කියපු කතා අහලද, එහෙම නැත්නම් පවුලේ බලපෑමටද?

නෑ. නෑ. මම එහෙම දුන්නේ නැහැ. දෙන්නෙත් නෑ. ඡන්දේ ඉල්ලන මිනිස්සු කරන වැඩ බලලා, රටේ වෙන දේවල් ගැන බලලා තමයි මම ඡන්දේ දෙන්නේ.

ඇත්තටම දේශපාලකයෝ, ඡන්දෙට Limit එකක් නැතුව සල්ලි වියදම් කරන්නේ රට දියුණු කරන්නම කියලා විශ්වාස කරනවාද?

අපෝ නෑ. කොමිස් ගහන්නනේ ඒ තරම් වියදම් කරන්නේ. Advertising වලටම ලොකු ගාණක් වියදම් කරනවා. Advertising වලට යන Budgut එක මමත් දන්නවා. ඡන්දයක් කාලෙට එක TV චැනල් එකකට විතරයක් ලක්ෂ 200, 300 වියදම් කරපු අය ඉන්නවා. එහෙම ලොකුවට සල්ලි වියදම් කරන්නේ ඇයි? අපිට ආදරේටද නෑනේ. ජනතාවට ආදරේ නම් ඒ අයට ජනතාව වෙනුවෙන් ඔය සල්ලි වියදම් කරන්න පුළුවන්නේ.

එහෙනම්, බලයට එන්න හදන්නේ ඒ ගොල්ලන්ගෙම යහපතට?

ඔව්. ඔච්චර ගාණක් වියදම් කරගෙන බලයට එන්න හදන්නේ බලයට ආපු ගමන් එයාලට ඔක්කොම හම්බෙන නිසානේ. ගෙවල්, වාහන, ෆෝන් බිල් වල ඉඳන් රජයෙන් ගෙවනවා.
ලක්ෂ 06 පඩියක් නම් හම්බ වෙනවා. ලක්ෂ 6 පඩිය එයාලට පොඩි ගාණක්. ඔය දැන් පිට රටකින් අපේ රටේ ආයෝජනයට ආවොත් ඒ මිනිස්සු හුරගෙන කාලා දත් ගලවලා නැති කරලම දානවනේ. මගේ තියරි එක නම් රටේ හරි නායකයෙක් පත් වෙන්න ඕනි. මිනිස්සු දැන ගන්න ඕනි හරි මිනිස්සු පත් කර ගන්න.

දේශපාලකයෝ දෙන පොරොන්දු ඉෂ්ඨ නොවුනම ඡන්ද දායකයෙක් විදිහට ඒ ගැන මොකද හිතන්නේ?

දේශපාලකයෝ පොරොන්දු 100ක් දුන්නට අපි බලන්න ඕන ඒ පොරොන්දු වලින් 60ක් වත් කරයි කියලා හිතන කෙනාට ඡන්දේ දෙන්න. දැන් මේ ආණ්ඩුව ආව දවසේ ඉඳලා අද වෙනකන් කිසිම දෙයක් අපිට කරලා නෑනේ. මිනිස්සුන්ට බදු පැටෙව්වා විතරනේ.

බණ්ඩාරනායක මහත්තයා පංච මහා බලවේගයක් එකතු කරගෙන පක්ෂයක් හදාගෙන ඔවුන්ට සාධාරණයක් කරන්න පාරට බැස්සා. ඉරාජ් හිතන විදිහට ඒ පක්ෂයෙන් සහ අනිත් පක්ෂ වලිනුත් ඔවුන්ට සාධාරණයක් වෙලා තියෙනවාද?

කිසිම සාධාරණයක් ඉටු වෙලා නෑ. රට දැන් බොහොම පහත් තත්ත්වෙකට වැටිලා තියෙන්නේ. නීතිය හරියට ඉෂ්ට වෙන්නේ නෑ. මිනිස්සුන්ගේ මනසත් අවුල්. හැබැයි මම හිතනවා මෙහෙම ගිහිල්ලා මේ රට විනාශ වෙලා මිනිස්සු එක තැනකදී වෙනස් වෙයි. මිනිස්සුම කැරැල්ලක් දවසක ඇති කරයි. දැක්කද Ground වල දැන් කුණු දාන්නේ නෑ ඒවා Clean කරනවා. පසුගිය දවස්වල Kite Festival එක තිබුණා. මිනිස්සු ලක්ෂ ගාණක් ආවා. හැබැයි කිසිම කුණු පොදක් පහුවෙනිදා තිබුණේ නෑ. මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙමින් යනවා. දවසක මිනිස්සු පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොම පාරට ඇදලා දායි.

ඇත්තටම දේශපාලකයාම විතරක් රට හදන්න ඕනි කියන මතයේද ඉරාජ් ඉන්නේ?

නෑ. මිනිස්සු තමයි සංවර්ධනය කරගන්න ඕනි. හැබැයි Leader Ship කියන දේ අවශ්‍යයි. අපිට අනිවාර්යෙන්ම හොඳ නායකයෙක් අවශ්‍යයි.

මේ විදියට බලනකොට හැමදාම වුණේ අපි දේශපාලකයන්ට අහු වුණ එක. මේක වෙනස් වෙන්න ඕන මොන විදියටද කියලද හිතන්නේ?

ඒක ජනතාව විසින්ම ඕන වෙනස් කරන්න. ඒත් දැන් එහෙම බෑනේ. එහෙම ක්‍රමයක් නෑනේ. අපිට Leader කෙනෙක් ඕනේ. ඇමරිකාව ගත්තොත් ඔවුන්ට ඩොනල්ට් ට්‍රම්ප් ඉන්නවා. අපි 2020ට හරි නායකයෙක් අරගන්න ඕන. අනික මිනිස්සු නොදන්න දේවල් ගොඩාක් තියෙනවා. Media වුණත් ඒක හරියට කතා කරන්නේ නෑ. දේශපාලකයන් තමන්ගේ පටු අරමුණු වලට ජාතිවාදය ඇති කරලා මිනිස්සු අපිත් එක්ක තරහා කරවලා රටේ නැති ප්‍රශ්න ඇති කරනවා. දැන් බලන්න ඉන්දියාව ගත්තොත් අපේ රටට බුද්ධි අංශ එවලා විවිධ ප්‍රශ්න ඇති කරනවා. හැබැයි මිනිස්සු ඒක දන්නේ නැහැ.

ඉරාජ් අවසන් වතාවට ඡන්දයට පාවිච්චි කළේ කවදා වගේ කියලා තියෙන්නෙ ?

අවසන් වතාවට ඡන්දය පාවිච්චි කළේ අන්තිමට තියපු පුංචි ඡන්දෙට. මම කොහොමත් අනිවාර්යෙන් ඡන්දේ දානවා.

එහෙම ඡන්දේ දීලා බලාපොරොත්තු වුණු දෙයක් තියෙනවාද?

හරි පුද්ගලයන් නිසි තැන්වල යැවීම තමයි ඉතින්.

හැමෝම කියනවා ලංකාවේ System එක අවුල් කියලා ඉරාජ්ටත් මේ System එක අවුල්ද?

System එක අවුල්. ඒ හින්දනේ මම පසුගිය දවස්වල සිංදු හදලා ඒවට පහර ගැහුවේ. ඒ නිසානේ මිනිස්සු මාත් එක්ක තරහ වෙලා මට කෑගැහුවේ.

එහෙමනම් ඔයා හිතන්නේ ලංකාවට හරියන්නේ මොන වගේ System එකක්ද?

මම නම් හිතන්නේ ලංකාවට ඕන හොඳ නායකත්වයක්. නිවැරදි තීරණ ගන්න පුළුවන් මහතීර් මොහොමඩ් වගේ, පිලිපිනයේ ජනාධිපති වගේ, ට්‍රම්ප් වගේ කෙලින් තීරණ ගන්න පුළුවන් හොඳ නායකයෙක්.

ඉරාජ් කියන්නේ ජනප්‍රිය පුද්ගලයෙක්. ඒ වටා රසික ජනතාවක් පෙළ ගැහිලා ඉන්නවා. ඉතින් ඔවුන් එකතු කරගෙන System එක වෙනස් කරන අදහසක් ඉරාජ්ගේ ඔළුවේ නැත්ද?

ඒක අපි හැම තිස්සෙම කරන වැඩක්. මගේ සිංදු කරනකොට හැම තිස්සේම බලන්නේ මේ වෙන දේවල් වලට පහර ගහන්න. හිනාවෙලා, බැලුවාට ඒක ඇතුළේ ලොකු දේවල් තියෙනවා.

ඒ කියන්නේ ඉරාජ්ට මේ හැම දෙයක්ම නිසා දේශපාලනය එපා වෙලා තියෙනවාද?

එපා වෙලා නෙමෙයි. හැබැයි මිනිස්සු ගැන ලොකු කළකිරීමක් තියෙනවා. මිනිස්සු හරි තීරණ ගන්නේ නැති එක තමයි ලොකුම ප්‍රශ්නේ. මිනිස්සු හරි තීරණ ගත්තා නම් මේක මෙහෙම වෙන්නේ නෑ.


හෂාන් අනුරාධ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button