විශේෂාංග

“රටේ වර්තමාන තත්වෙට අපි හැමෝම වග කියන්න ඕනි” – දුවීන් කුලරත්න

ලංකාවේ දේශපාලනය වර්තමානය වනවිට ඇතුළතත් ගිනි පිටතත් ගිනි ඇවිළෙන තත්ත්වයකට පත්වෙලා හමාරයි. බලය රැක ගන්නත් බලය ලබාගන්නත් පොරකන දේශපාලන ගිරයට හසුවුණු ඡන්දදායකයින් වන අපත් මේ වනවිට කළ යුත්තේ කුමක්දැයි සිතාගත නොහැකි මට්ටමටම පත්ව තිබෙන කාලවකවානුවක් තුළ දේශපාලනය ගැන කතා කරන්න අපි එකතු කරගත්තේ ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ වෙනස්ම ආරක් සොයා යන තරුණ කලාකරුවෙක් වන දුවීන් කුලරත්නව. මෙ ඔහු දේශපාලනය පිළිබඳ දරන මතය.

ලංකාවේ දේශපාලනය තුළ අපිට වැරදුණේ කොතැනද?

ලංකාවේ දේශපාලනය තුළ අපිට වැරදුණේ ජාතිය, ආගම, දේශපාලනික වර්ණ වාදය තුළින් තීරණ ගැනීම තුළ.

 

පාතාලය නැවත හිස ඔසවලා, මිනීමැරුම් දැන් සාමාන්‍ය දෙයක් වෙලා?

පාතාලය පාලනය කරන්න නම් දැඩි පාලනයක් සහ නීති පද්ධතියක් රටට අවශ්‍යයි සහ නීතිය ස්වාධීන වෙන්නත්, දේශපාලනය තුළින් නීතිය පාලනය නොකරන්නත් ඕනෙ.

 

වර්තමානයේ ලංකාවේ නීති පද්ධතිය ගැන මොකද හිතන්නේ?

පක්ෂග්‍රාහී දුර්වල නීති පද්ධතියක් තියෙන්නෙ මම දකින විදිහට නම්.

 

ලංකාවේ දේශපාලනය තාමත් සාම්ප්‍රදායිකයි. ඒ වගේම ඡන්ද දායකයා ඒ සාම්ප්‍රදායික රාමුව තුළම කොටු වෙලා. ඒ ඇයි?

ඒකට හේතුව උපතින් ආගම, ජාතිය, කුලය වගේම පක්ෂයත් නළලේ කොටාගන්න අපි පුරුදු වෙලා නිසා.

 

දේශපාලකයන්ගේ වැරදි වහන්නෙත් ඡන්ද දායකයන්. ඒ වැරැද්දට ඔබත් මමත් හවුල් කියලා ඔබ පිළිගන්නවද?

කාගේ වුණත් වරද වරදමයි. ඒක කවුරු කළත් පිළිගන්න අවශ්‍යයි. හැබැයි මම දකින විදිහට දේශපාලනික තෝරාගැනීමකදී ඡන්දදායකයොන්ට සීමිත පිරිසක් අතරින් වඩා හොඳ කෙනා තෝරගන්න වෙන නිසා සාපේක්ෂව තීරණ ගන්න වෙනවා. ඒත් එතැනදි ඒ තීරණ එළියට එන්නෙ අදාළ අයට සුදු හෝ කළු පාට වැදිලා. දේශපාලකයෝ තේරුම් ගන්න ඕනේ වැඩි ඡන්ද ප්‍රමාණයක් ලැබෙනවා කියන්නේ තමන් උපරිම හොඳයි කියන කාරණය නොවෙයි, වැරදි නිවැරදි කරගන්න ලැබෙන අවස්ථාවක් බව.

 

ලංකාවේ සෑම අංශයක්ම දේශපාලනීකරණය වෙලා. කලාවත් එහෙමයි?

කලාකරුවන් කියනෙත් මිනිස්සු සහ ඒ අයටත් කැමැත්තක්, තෝරගැනීමක් තිබිය හැකියි, මොකද රටේ පුරවැසියන් විදිaහට ඒක ඔවුන්ගේ අයිතියක්. මම හිතනවා ඒ අය සාමාන්‍ය ජනතාව අතරට මාධ්‍ය හරහා යන නිසා තම මතයන් වගකීමෙන් සහ බුද්ධිමත්ව ප්‍රකාශ කළ යුතුයි කියලා.

 

මාධ්‍යවේදියෝ අතුරුදහන් කරද්දි, කලාකරුවන්ට තර්ජන හිරිහැර කරද්දි, තවත් පිරිස් ඔවුන් ඉදිරියේම දණින් වැටෙනවා. ජනතාව ප්‍රතික්ෂේප කරපු නායකයන් ගේන්න දත කනවා. මේක චෝදනාවක්?

කලින් ප්‍රකාශ කළ දේම තමයි. දේශපාලනික තෝරාගැනීමකදි ඡන්ද දායකයොන්ට සීමිත පිරිසක් අතරින් වඩා හොඳ කෙනා තෝරගන්න වෙනවා.

 

තිස් වසරක යුද්ධය තාමත් සුව නොවුණ තුවාලයක්?

මම හිතන්නේ යුද්ධය අපි සන්නද්ධ වශයෙන් ඉවර කළා. නමුත් ඒකෙන් මතුවුණ මානසික ව්‍යාකූලතාවන්, පසුබැසීම්, විශ්වාසය පළුඳුවීම් වගේ තුවාල සුව වෙන්න තව කාලයක් යයි. ඒකට අවශ්‍ය පසුබිම හදන එක පාලකයොන්ගේ වගකීම.

 

යුද්ධය තිබුණු ප්‍රදේශයන්වල යුද හමුදා කඳවුරු ඉවත් කළා කියලා සංහිඳියාවක් ඇති වෙයිද?

කොහෙත්ම නෑ මං දකින විදිහට නම්. අපි කතා කරන්නේ අවුරුදු 30 ක් තිස්සේ තිබුණු යුද්ධයක් ගැන. මේ ගතවෙන්නේ යුද්ධයෙන් පසු ගෙවෙන සංක්‍රාන්ති සමයක් වගේ. මේ කාලයේදී විමසිලිමත් බව ඉතා වැදගත් මං දකින විදිහට නම්.

 

ලෝකයේ තරුණ පිරිස් දූෂිත පාලකයන්, දේශපාලන system එක වෙනස් කරන්න උනන්දුයි. ඒත් අපේ තරුණ ප්‍රජාව?

මං හිතන්නේ අපේ තරුණ පරම්පරාවත් ඉඩක් දුන්නොත් ඒ දේ කරයි. නිවැරදි මග පෙන්වීමක් තුළින් හොඳ ගමනක් යන්න පුළුවන් බුද්ධිමත් තරුණ පරපුරක් අපිට ඉන්නව කියලා මම විශ්වාස කරනවා.

 

ලංකාවේ වමේ පක්ෂ ගැන දරන අදහස මොකක්ද?

වම දකුණ උතුර නැගෙනහිර ඔය ඔක්කොම දේශපාලන පක්ෂ පිරිසිදු විය යුතුයි මුලින්ම. ඒකයි මගේ මතය. රටට අවශ්‍ය පාටට, පැත්තට පුද්ගලයින්ට කියලා බෙදුනු දේශපාලන සංස්කෘතියක් නොවෙයි. රට හදන , ගොඩනගන, සුරකින දේශපාලන දැක්මක්.

 

මේ පවතින system එක වෙනස් කරන්න ආරම්භය ගන්න ඕනි කොතැනින්ද?

පවතින system එක වෙනස් කරන්න නම් මිනිස්සුන්ගේ ඔළු එක්ක දේශපාලකයින්ගේ ආකල්ප, මේ දෙකම එක වර වෙනස් වෙන්න ඕනේ එක හා සමාන වේගයකින්.

 

පවතින ආර්ථිකය එන්න එන්නම බිඳ වැටෙනවා. මෙයට විපක්ෂය ආණ්ඩුවට චෝදනා කරද්දි ආණ්ඩුව විපක්ෂයට චෝදනා කරනවා. ඒත් ජනතාවට වගකියන්න ඕනි කවුද?

රටේ වර්තමාන තත්ත්වයට අනිවාර්යෙන්ම වර්තමාන පාලකයෝ වග කියන්න ඕනේ. මොකද බලයට එනකොට එයාලා කියන්නේ හිටපු රජය රට වැනසුවා අපි ඒ රට හදනවා කියලනේ. ඒ කියන්නේ ඇත්තටම හිටපු රජය රට වැනසුවා කියල හිතුවොත්, අලුත් අය ජනවරම ඉල්ලන්නේ ඒක හදන්න. එහෙම නං එයාලා බලයට එන්න ඕනේ ඒවට සැලසුම් හදාගෙන… මේක ආයේ කාලෙක තවත් අලුත් ආණ්ඩුවක් ආවොත් ඒකටත් අදාළයි… එයාලටත් සැලසුම් තියෙන්න ඕනේ පවතින තැනින් රටට පණ දෙන්න.

 

71දීත් 83දීත් තව තව අවස්ථාවන්වලදී අපි අපිටම වරද්දගත්තා. හැබැයි ඒ කිසි දෙයකින් අපි පාඩම් ඉගෙන ගත්තේ නෑ?

ඒ හැමතැනකම අපි වරද්ද ගත්තේ ආකල්පමය වැරදි නිසා සහ අපේ මිනිස්සුන්ට බොහොම ඉක්මනට අමතක වෙන නිසා. ඒ වරද නොවෙන්න නම් ඇස් ඇරන් ජීවත් වෙන්න ඕනේ… පක්ෂයට පාටට නෙමේ රටේ අනාගතය වෙනුවෙන් යහපැවත්ම වෙනුවෙන් තීරණ ගන්න ඕනේ… දේශපාලනික ආගමික වහල් බවින් මිදිලා නිවහල් නිරවුල් රටක් වෙනුවෙන් රටවැසියො විදිහට තීරණ ගන්න පුරුදු වෙන්න ඕනේ… උගත් පාඩම් මතක තියාගෙන ඒ වැරදි ආයේ නොවෙන්න පරිස්සම් වෙන්න ඕනෙ. ‘මම’ ‘මට’ පෙර ‘රට’ කියන මානසිකත්වයට බහුතරය ආව දවසට මගේ රට, අපේ රට බැබළේවි.


හෂාන් අනුරාධ

Tags
තව දුරටත් කියවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි