විශේෂාංග

ලාංකීය අසම්මත සංස්කෘතීන් වල සුල මුල

ශ්‍රී ලංකාව නමැති මේ පුංචි දිවයින තුළ මේ වන විිට උද්ගතව ඇති අර්බුද රාශිය හා දිනෙන් දින පිරිහෙන සමාජ ක්‍රමය දෙස බැලූ විට මහා පුදුමයක් හා කලකිරීමක් ඇති වේ. හැට හැත්තෑවේ දශක වල රට තුළ පැවති සමාජ ක්‍රමය හා වර්තමාන සමාජ ක්‍රමය අතර දැවැන්ත වෙනසක් පවතී. එකල පැවැති ආර්ථික, සමාජික,දේශපාලනික,ආගමික, සන්දර්භයන්හි කිසියම් වැදගත් හා ජනවාදී බවක් තිබුණි.

එහෙත් 1977 න් පසු රට තුළ ඇති වූ දැවැන්ත දේශපාලන, ආර්ථික හා සමාජ පෙරළිය හරහා සමාජ සාරධර්ම පමණක් නොව සමස්ත ආර්ථික ක්‍රමයද කන පිට පෙරලුනි. විධායක ජනාධිපති ක්‍රමය, විවෘත ආර්ථිකය, පෞද්ගලීකරණය තුළින් රට තුළ මිනිස්කම වල් වැදි, මුදල, බලය, නිලය රජ කරන පාදඩ සංස්කෘතියක් බිහි වුනි.

හැත්තෑ හතට පෙර පැවැති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ පාලන ක්‍රමයද මෙම තත්ත්වයට සෘජුව වගකිව යුතු වෙයි. එකල වගා සංග්‍රාමය වැඩ පිළිවෙල හරහා අල, බතල, මඤ්ඤොක්කා වගා කිරිම, මිරිස් පොලු සහල් පොලු හා නොයෙක් ආර්ථික සීමා නිර්ණ තුළින් ජනතාව මහත් අසීරුවට පත් විය. එහි එක්තරා ධනේශ්වර පන්ති පරතරයක් හෙමින් නිර්මාණය විය, රටේ ජනයා පෝලිම් වල සිට ආහාර සඳහා හිඟා කන කල ධනේශ්වර පන්තිය, කොටින්ම සිරිමාවෝ ඇතුළු රජය සිය කෑම වේල් ප්‍රමාණය මහන්සියෙන් තොරව භුක්ති විඳින ලදී. මෙහිදී සමාජ අසහනකාරී තත්වය එක් අතකින් ආරම්භ වූ අතර, අනෙක් අතින් පීඩිත ජනයා තවත් වල පල්ලටම යෑම සිදුවුනි. මේ හේතුවෙන් ධනේශ්වර පන්තිය හා නිර්ධන පන්තිය අතර පුළුල් පරතරයක් නිර්මාණය විය. රටේ ජනතාවට විවිධ සීමා මායිම් මත පෝලිම් වල සිට ආහාර හිඟා කන්නට සිදුවිය. කිරිපිටි හිඟ වීම නිසා බොහෝ බිලිඳු දරුවෝ මන්ද පෝෂණයට ලක් වූහ. තේ කෝප්පය පානය කිරීමට සිදු වූයේ මැටි මිශ්‍ර හකුරු සමඟය. කෑම වේල අල බතල වලට සීමා විය.

එහෙත් පාලක පක්ෂය සමඟ අත්වැල් බැඳගත් ධනේශ්වර පන්තිය පුරුදු පරිදීම මහන්සියෙන් තොරව භුක්ති විඳින ලදී. පාන් ගෙඩිය පවා දුප්පත් ජනතාවට ලබා ගැනීමට කාඞ් පතක් හරහා පෝලිමේ සිටගෙන සිටීමට සිදු විය. පාන් ගෙඩියද නුසුදුසු පිටි වලින් සකස් කිරීම නිසා පරිභෝජනයේදී පාරිභෝගික ජනතාව මහත් අසීරුවකට ලක් වූහ. මෙහිදී සමාජ අසහනකාරී තත්වය තිව්ර විය. එනිසා තුනෙන් දෙකක බලයක් තුළින් ජේ.ආර්. ජයවර්ධන විධායක පාලන ක්‍රමය බිහි වීමට එය ප්‍රබල හේතුවක් විය.

එතැන් සිට මේ දක්වාම බලයට පත් වූ විවිධ දේශපාලන කණ්ඩායම් මෙම බහු බූත ධනපති ක්‍රමය දිගටම පවත්වා ගෙන යමින් මහාවරප්‍රසාද ලබන සුපිරි ධනපතීහු බවට පත්වී හා පත්වෙමින් සිටිති. ආගමික නායකයින් සිටිය ද ඔවුනට ද මෙම ක්‍රමය වෙනස් කිරීමට තරම් උවමනාවක් උනන්දුවක් නැත. අඩු වශයෙන් රටේ සියලුම ආගමික නායකයින් (බෞද්ධ, කතෝලික, ක්‍රිස්තියානි, හින්දු, මුස්ලිම් යන කොටස්) මේ රට විනාශයට ගෙන යන ධනපති ක්‍රමය වෙනස් කිරීමේ කතිකාවතක් හෝ අවංකව ආරම්භ කරන්නේ නම් කොතරම් තම තමන්ගේ දහම, ධර්මයට, සාක්‍ෂි දැරීමක් නොවන්නේද යැයි මම අසමි. මේ වන විට බුදුන් වහන්සේ දේශනා කළ ශ්‍රේෂ්ඨ දහමද මේ මිනිසුන් කෙළෙසා ඇත. “මේ බුද්ධ රාජ්‍යය, මේ බුදුන්ගේ දේශයයි” යනුවෙන් සමහර වාහන වල පොල් ගෙඩි අකුරින් කොටා ඇත. සියල්ල අත් හැරීම උගන්වන ශ්‍රේෂ්ඨ දර්ශනයකට රාජ්‍යයන් කුමකටද? අබුද්දස්ස කාලේ මෙවැනි දේ ගැන පුදුම විය යුතු නැත.

එමෙන්ම පසුගිය රජයේ “මහින්ද චින්තනය” හරහා “බුද්ධ චින්තනය” අතුරුදහන් විය. ඊට හේතුව මහින්ද චින්තනය බෞද්ධ දර්ශනය කරගද්දී බුද්ධ වචනය කෙහෙල් මල වෙලා තිබීමයි. චීවර ධාරීහු දේශපාලකයින්ගේ පහත වුවමනා කම් සපුරා ලීමට බෞද්ධ දර්ශනයට උකසට තැබූහ. එහෙත් ඊට විරුද්ධව සත්‍යයට සාක්ෂි දැරීමට උතුම් වූ සංඝ පීතෘ වරු සහ කිතුනු පූජක උතුමන්ලාද සිටියහ. ඒ අතලොස්සකි.

මහින්ද රාජ්‍ය පාලන සමය තුළ සිංහල ජාති වාදය හරහා උතුම් බෞද්ධ දර්ශනය හා ක්‍රිස්තු දර්ශනය හෑල්ලු‍වට ලක්විය. මේ චින්තනය හේතුවෙන් අදටත් රටේ බොහෝ ජනතාවගේ මනස විකෘති වී ඇති බවක් පෙනේ. ජේසු තුමන් සිය ගෝලයා විසින්ම අල්ලසට පාවා දුන් මොහොතේ අනෙකුත් ශ්‍රාවකයන් කඩු අමෝරාගෙන සතුරන් සමඟ සටනට සැරසුනත් එතුමා එය වලකා සතුරන්ට පවා ප්‍රේම කල යුතු ආකාරය ලොවට කියා දුන්නේය. “අවි ගත්තෝ අවියෙන්ම නසින බව” එතුමෝ ප්‍රකාශ කළහ. බුදුන්ද යුද්ධය ප්‍රතික්ෂේප කර සාමය ලඟා කර දීමට එදා භාරත සමාජයේ මූලිකත්වය ගෙන ඇත.

සැබෑ සාමය මේ දේශය තුළ උදා වීමට නම් කිතු තුමන් – බුදුන් පෙන්වා දෙන සමානාත්ම තාවය, ප්‍රේමය, යුක්තිය, සාධාරණත්වය, නිදහස රජ කරන සමාජයක් රටේ කඩිනමින් ස්ථාපිත විය යුතුය. ඒ සඳහා ඉහල සිට පහල දක්වාම ජාති වාදයෙන්, ආගම් වාදයෙන්, ගෝත්‍ර වාදයෙන් මිදුණු විශ්වයේ පරම සත්‍යය අවබෝධ කරගත් උතුම් වූ මිනිසුන් රටට අවැසි යුගයකි මේ.

සමහර වාහන වල “සිංහ ලේ” කියා කොටා ඇත. අහෝ තිරිසන් ලේ නිසාද මිනිසා අද තිරිසනුන් ලෙස ක්‍රියා කරන්නේ අනෙකා බැහැර කිරිමේ මානසිකත්වය අද මිනිසුන් තුළ බහුලව පවතී. මේ මානසිකත්වය රටේ ස්ථාවර භාවයට හා සහජීවනයට ද මහත් බාධකයකි. එබැවින් එකිනෙකාගේ සංස්කෘතික විවිධත්වය එකිනෙකා අතර වෛරය මානසිකත්වයක් ලෙස වර්ධනය කරන්නා වූ මෙවැනි විෂ පෙවූ අදහස් වලට විරුද්ධ මත දරණ ප්‍රගතිශීලීන් මේ යුගයේ මතු විය යුතුමය. සෑම ජන කොට්ඨාසයක්ම එකතුව සිටිම මිස වෙන්ව සිටීම කිසිම අතකින් මිනිස් ශිෂ්ටාචාරයට නොගැළපේ.

එමෙන්ම අප රටේ ඇති වූ ජාතිවාදී අරගලයෙන් දිනූ කිසිවෙක් නැත. සිදුවූ එකම දෙයනම් මනුෂ්‍යත්වය පරාජය වීමයි. අද දේශපාළුවන් විසින් හමස් පෙට්ටියට දමා ඇති, “උගත් පාඩම් කොමිෂන්” වාර්තා වලින් එය මනාව පැහැදිලි වෙයි. එහෙත් මේ අයුතු, ආසාධාරණ, තුච්ඡ ධනපති ක්‍රමය තුළ ඒවාට විසඳුම් නැත. එනිසා රටේ දිවි ගෙවන සිංහල, දෙමළ, මුස්ලිම්, පිඩිත දිළිඳු ජන කොටස් වලට ජාති, ආගම්, භාෂා බේදයෙන් තොරව සර්ව සාධාරණ ය ඉෂ්ඨ වන ක්‍රම වේදයක් වහා අවශ්‍යය. එබැවින් තව දුරටත් පවතින ධනේෂ්වර ක්‍රමයේ වෙනසක් ඇති කිරීමට රටේ සමස්ත ජනතාවට උවමනාවක් නොමැති නම් නොබෝ කලකින් මේ ශිෂ්ඨාචාරය වැනසි යනු ඇත.

පවතින යථාර්ථය එයයි.


ලූෂන් එඩ්වඩ් පෙරේරා

Tags
තව දුරටත් කියවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි