විශේෂාංග

පිරිමි එක්ක හතර වටේ ගිය ලංකාවේ අනුලා වගේ රෝමයේ වැලේරියා

ලෝකයේ ට්‍රෙන්ඩ් බිහිවෙන්නේ අමුතුම ආකාරයකටය. එකා පසුපස එකා ගොස්, ඒවා කොපියක් වී පසුව කාලානුරූපීව ක්‍රමයෙන් එය අප පා තබන ට්‍රෙන්ඩ් එකක් වන්නේ සමාජ ක්‍රමයන්හි පවතින ආනුභාවයෙනි. නමුත් මේ කියන්නට තනන්නේ කාලානුරූපීව ගොඩනැගුණ ට්‍රෙන්ඩ් එකක් ගැන නොවේ. යම් කලක මෙය ට්‍රෙන්ඩ් එකක් බවට පත්වේදැයි කියන්නට අප තවමත් වේලාසන වැඩිය. මේ තුළින් කියැවෙන්නේ ආශාවන් ගැනය. සමානතා ගැනය. ආශාව සංසිඳුවා ගැන්මට ප්‍රයත්න දැරීමේදී එය පුරුද්දක් බවට පත්වීම කිසිදු අයෙකුට වැළැක්විය නොහැකි කරුණකි. ආශාවන් මත බිහිවන පුරුදු අතිශය ප්‍රබලය. මෙකී ආශාවන්ගෙන් ගහන පුරුදු මත සිදුවන නොයෙකුත් ක්‍රියාවලීන් බොහෝවිට ඉතිහාසගත කතාවන්, රටාවන් බිහි කරන්න සමත් වන්නේ ද නිරායාසයෙනි.

ඔබ දන්නවාද වැලෙරියා මෙසලිනා යනු කවර තැනැත්තියක්ද යන්න එය යම්කිසි විටක බහුතරයක් දෙනා නොදන්නා නමක් වුව ද රෝමය ගිනි ගනිද්දී වීණාව වාදනය කළ නිරෝගේ නම ඔබ අප සියල්ලන්ටම හුරු නමකි. නීරෝ, එසේත් නැතිනම් නීරෝ ක්ලෝඩියස් සීසිර් ඔගස්ටර් ජර්මනික්ස් සමග විවාහව සිටියේ අප කතා කරන්නට සූදානම් වන වැලෙරියාගේ දියණිය වන ක්ලෝඩියා ඔක්ටේවියා සමගයි. කෙසේ වෙතත් වැලෙරියා යනු අසීමිත කාම ආශාවන් සහිත බහුපුරුෂ සේවනයේ යෙදුනු තැනැත්තියකි. ඔබට නිසැකවම මේ ලිපිය කියවන විට සිහියට නැගේවි ලංකාවේ අතිමහත් ජනප්‍රියත්වයට පත් අනුලා දේවිය ගැන. මේ මොහොත වනතුරුත් සමාජ සම්මත ක්‍රමයන් කවරක් වුවද සෑමදෙනාම කතා කරන්නේ ඇය සම්බන්ධයෙන් පවතින බහුපුරුෂ සේවනයට දැක්වූ අතිමහත් කැමැත්ත සම්බන්ධයෙනි. කාලපරාස දෙකක් මත සිදුවූ සිද්ධීන් වුව ද ලංකාද්වීපයේ අනුලා බිසවට කිසිදු විටක නොදෙවෙනි වන්නට රෝමයේ සිව්වැනි අධිරාජ්‍යයා ලෙස හැඳන්වෙන ක්ලෝඩියස්ගේ තෙවැනි බිරිඳ වූ වැලෙරියා මෙසලිනා උපන් හපන්කම් දක්වන්නට විය.

වැලෙරියා ක්ලොඩියස් අධිරාජ්‍යයේ සමග විවාහ වීමත් සමගම ඇය රෝමයේ අගරැජිණ බවට ද පත්වූයේ නිරායාසයෙනි. මේ කෙළිලොල් තරුණිකගේ ස්වාමියා එසේත් නැතිනම් ක්ලෝඩියස් අධිරාජ්‍යයා ඇයට වඩා විසිහත් වසරක්වත් වැඩිමහලු වන්නට වුණා. දඟකාර, කටකාර වැලෙරියා දුටු කෙනෙක් සිටී නම් නිරායාසයෙන්ම ඇය පිළිබඳව සිතක් පහල වනවා නොඅනුමානය. ඇයගේ නෙතගින් හෙළන බැල්ම නිවැරැදිවම කියනවා නම් ලංකාද්වීපයේ අනුලා දේවිය සම්බන්ධයෙන් පවතින වර්ණනාවලට සම්බන්ධ වන්නේ ද ඒ අයුරිනි. අනුලාගේ කාමාශාවන්ගෙන් පිරුණු බැල්ම යම් පුරුෂයෙකුගේ රාගය ගිනි දල්වන්නට සමත්වන්නේ යම්සේද ඒ අයුරින්ම වැලෙරියාගේ නෙතගින් හෙළන බැල්ම වයස්ගත පුරුෂයෙකුගේ හැඟීම් දවන්නට සමත් වන්නක් විය. විසිහත් වසරක් වයසින් අඩු වැලෙරියා, ක්ලෝඩියස් අධිරාජ්‍යයා හා විවාහ වනවිට මහානාග එසේත් නැතිනම් චෝරනාග අපේ අනුලා බිසව හා විවාහ වනවිට ඇයට වඩා විසිපස් වසරක් වැඩිමහලු වන්නට විය. කිසිදු විටක නොසංසිඳෙන ආශාවන්ගෙන් පිරි වැලෙරියාත්, අනුලා බිසවත් රෝමයේත්, ලංකාද්වීපයේත් අග්‍රමහේෂිකාවන් වනවිට තත්ත්වය ඒ ආකාරයෙන් වන්නට විය.

වැලෙරියාගේ කාම ආශාවන් කෙසේද යත් ජන සම්මතයේ නොවූ පිළිගත් සමාජයෙන් බැහැර කරන කරුණු මුල්කරගෙන පවා ලිංගික කටයුතුවල යෙදෙන්නට ඇය ඉටාගත්තාය. එහි එක් සලකුණක් ලෙසින් වැලෙරියා තමන්ගේ සොහොයුරා සමග පවා තම ආශාවන් සන්තර්පණය කරන්නට කටයුතු යොදාගත්තේ ඇයගේ අසීමිත ආශාවන්හි ප්‍රතිඵලයක් ලෙසිනි. වරක් ඇයට තම මවගේ තෙවැනි පුරුෂයා ලෙසින් සඳහන් වෙන අපියස් සීලනස් සමග අනියම් සබඳතාවක් ඇතිකරගැන්මට ආශාවක් ඉපදුණු මුත් අපියස් ඒ සඳහා තමන්ගේ දැඩි විරෝධත්වය පෙන්නුම් කරන්නට විය. එහි ප්‍රතිඵලය වූයේ වැලෙරියා සමග අනියම් සබඳතාවක් ඇතිකර නොගැනීමේ හේතුවෙන් ඔහුට විරුද්ධව රහස් කුමන්ත්‍රණයක් දියත් කරවා අගරැජිණිය කියනා සියලු කරුණුවලට එකඟ වන ලෙස දැනුම්දීමක් ක්ලෝඩියස් අධිරාජ්‍යයා ලවා ඒත්තු ගැන්වීමයි. මේ සියල්ල අවසානයේ ඔහුට සිදුවූයේ වැලෙරියාගේ තවත් එක් අනියම් සැමියකු බවට පත්වීමයි. සෙනෙට් සභාවේ සියලු බලතල පවා තිබුණේ ඇය අතයි.

එය හරියටම කියනවා නම් අනුලා බිසවගේ අතමත මහානාග රජතුමාගේ ඇමති මණ්ඩලය කටයුතු කළා හා සමානය. මහානාග රජු වුව ද සියල්ල පාලනය කළේ අනුලාය. තමන්ට රිසි තැන රිසි සේ ඕනෑම අයෙකු සමග රමණයේ යෙදීමට සූදානම් වැලෙරියා මෙසලිනාත්, අනුලාත් අතර කිසිදු වෙනස්කමක් නොවීය. වරක් රජ මාලිගවේ දර පලමින් හුන් හැඩිදැඩි තරුණයෙකු වූ සිව සමග රමණයේ යෙදුණේ සිවගේ බලවත් භය සංත්‍රාසය මුසු අකැමැත්තත්, අනුලාගේ දැඩි පෙරැත්තය සහ බලවත්කමත් නිසා තුරු වදුලක් තුළදීය. ඒ ඇයගේ රාජ අණයි. වැලෙරියා වරක තම මල්ලී සමග ලිංගික සබඳතාවක් පැවැත්වූවාක් මෙන්ම අනුලා බිසව තම ඥාති පුත්‍රයෙකු වූ කුඩාතිස්ස සමග රහසිගත සබඳතාවක් පවත්වාගෙන ගියාය. මෙය සියල්ලන්ටම විවෘත රහසක් වූ නමුත් මහානාග රජුට පමණක් ආවෘතයක් පමණක්ම විය. එය වැලෙරියාගේ කටයුතුවලට වඩාත් සමානත්වයක්ම විය.

අනුලා බිසව තම ඥාති පුත්‍රයා වූ ආරක්ෂක අංශයේ සේවය කළ කුඩාතිස්ස සමග අනියම් සබඳතාවක් ගොඩනංගාගෙන ප්‍රීති ප්‍රමෝදයෙන් ජීවත්වන කල්හි වැලෙරියා ක්ලොඩියස් අධිරාජ්‍යයාගේ පාලක සභාවේ සෙනට් සභිකයෙකු ලෙසින් හැඳින්වෙන අයකු සමග පෙම් සබඳතාවක් ගොඩනංවාගෙන තිබුණාය.
කාලවකවානු, අක්ෂාංශ, දේශාංශ, සීමා කවරක් වුවද සිදුවිය යුතු දෑ ඒ ආකාරයෙන්ම සිදුවන බව නොරහසකි. මේ දෙදෙනාම අනියම් සම්බන්ධතාවන් පැවැත්වූ පුරුෂයන්ට තමන්ට හැකි ඉහළින්ම පුද සත්කර පවත්වන්නට කටයුතු කළ අතර අනුලා බිසව මහානාගගේ අභාවයෙන් පසුව කුඩාතිස්සට රජකම පවා ලබාදෙන්නට කටයුතු කරනා විට වැලෙරියා සෙනට් සභාවේ අනියම් සැමියාට තම ධනය වියදම් කරමින් නව මාලිගාවක් පවා ඉදිකර දෙන්නට කටයුතු කළේ එහි කෙතරම් ප්‍රබලත්වයක් තිබේදැයි යන්න මනාව පසක් කරමිනි.

අනුලා බිසව ලංකාවේ පළමු අගරැජිණ ලෙසින් හැඳින්වෙන අතර ක්‍රි.පූ.48 සිට 77 දක්වා වූ කාලය තුළ ඇය පුරා සිව් වසරක් ලංකාවේ අගරැජිණ ලෙසින් ද කටයුතු කළාය. මේ හා සමානත්වයෙන් සැලකිය හැක්කේ ලෝක චරිත අතරින් ගත්කළ ක්‍රි.ව.48දී පමණ රෝමයට අධිරාජිණයක් ලෙසින් කටයුතු කළ අප කතාබස් කරමින් හිඳිනා වැලෙරියා මෙසලිනා ය.

මේ දෙදෙනාටම ඇත්තේ එකම උන්මාදයකි. මෙකී කාම උන්මාදය හැඳන්වෙන්නේ නිම්ෆොමේනියා නමින් වන අතර මෙහි ලක්ෂණ ලෙසින් හැඳින්වෙන්නේ ඕනෑම අයකු සමග ලිංගික සබඳතා පැවැත්වීමට ඇති ආශාවත්, සමාජ සම්මතයන් ගැන කිසිදු සැලකිලිමත්භාවයක් නොදැක්වීමත් හා කෙසේ හෝ තමන්ගේ ආශාවන් විඳගැනීමටත් ඔවුන් කටයුතු කිරීමත්ය. පැරණි සෙල්ලිපිවල අනුදි නමින් හැඳින්වෙන අනුලා බිසවටත් රෝමයේ වැලෙරියාටත් වැලඳී තිබුණේ එකම උන්මාදයකි.

“නිම්ෆොමේනියා” රෝගයේ තවත් ලක්ෂණයක් වන්නේ කාන්තාවකට ලිංගික කටයුත්තක් සිදුකිරීමට පිරිමියෙකු නැති නම් කාන්තාවක් හෝ ඒ සඳහා යොදාගැන්මට කටයුතු කිරීමයි. පරණවිතාන සූරීන් නම් සඳහන් කරන්නේ අනුලා බිසව තමන්ගේ කාම ආශාවන් සන්තර්පණය කරගැනීම සඳහා අවසානයේ බවලතුන් දෙතිස් දෙනෙකු ඇතිව සිටි ඇති බවයි. රෝමයේ වැලෙරියාගේ අවසානය සිදුවන්නේ 28 හැවිරිදි වියේදී කිරිච්චියකින් ඇණ ඝාතනය කිරීමෙනි. රෝමයේ කාමධේනුවගේ අවසානය සිදුවූයේ එසේ දුක්ඛිත අයුරිනි.

කෙසේ වෙවත් අනුලා බිසවට මෙන්ම වැලෙරියාටත් “නිම්ෆොමේනියා” ලෙසින් හැඳින්වෙන කාම උන්මාදය වැලඳී තිබුණු බව නම් නොරහසක්. අනුලා මෙන්ම වැලෙරියාත් කාලානුරූපීව අප ජීවත්වන ජන සමාජයේ කෙතෙක් නම් සැඟව ඇත්දැයි අප තවමත් දන්නේ නැත. මන්ද ඒ සියල්ල සිදුවන්නේ සියල්ලන්ටම රහසේ බැවිනි. කොහොම වුණත් කරුණු කාරණා කෙසේ වුවද අපේ අනුලාගේ ළඟින්ම ගිය ලෝක ඉතිහාසයේ චරිතය වැලෙරියා මෙසෙලිනා බව නම් නොරහසක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button