ක්‍රීඩා

පාකිස්තානයේ ක්‍රිකට් වංචා කප් එක ලංකාව උස්සයි

ශ්‍රී ලංකා ක්‍රිකට්වලට දැන් නම් හතේ හත වැදී ඇති බව හොඳටම පැහැදිලිය. එහි නවතම ජවනිකාව වූයේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන නිලධාරීන් විසින් ශ්‍රී ලංකාවට ටෙස්ට් තත්ත්වයත් අහිමිවීමේ අවදානමක් ඇති බව ප්‍රකාශ කිරීමය. අන්තර්ජාතික ක්‍රිකට් ලෝක කුසලාන දෙකක පහස ලැබූ රටකට එවන් පුවතක් අසන්නට ලැබීම පවා කෙතරම් ශෝකජනකදැයි අපට වඩා ක්‍රීඩාලෝලී ඔබ හොඳින්ම දන්නවා ඇත.

පසුගිය දින කිහිපයේදීම මාධ්‍ය මගින් වර්තාවූයේ ක්‍රිකට් තරග පාවාදීම අතින් ශ්‍රී ලංකාව පෙරමුණේ පසුවන බවත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන නිලධාරීන් ශ්‍රී ලංකාවට පැමිණ මෙරට ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ ක්‍රීඩා ඇමතිවරයා හමුවී සාකච්ඡා කළ බවත්ය. එහිදී හැකි ඉක්මනින් ක්‍රිකට් වංචාවන් පිළිබඳ විමර්ශන අවසන් කර ඔවුනට දැඩි දඬුවම් ලබාදිය යුතු බවද පවසා ඇති අතර ඔවුන් විසින් සිදුකරන පරීක්ෂණයට ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගයද අපේක්ෂාකර තිබුණි.

විශේෂයෙන්ම පසුගිය සමයේදී අල් ජසීරා රුපවාහිනී නාළිකාව ගාල්ල තණතීරුව ක්‍රිකට් තරග වංචාවන් සඳහා මුදලට යොදාගත් ආකාරය පිළිබඳව අනාවරණය කරන ලද කරුණු මෙන්ම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඇමෙරිකානු ඩොලර් බිලියන 5.5 මුදලක් විදේශයක පිහිටි සිය පුද්ගලික ගිණුමකට බැරකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවය කළ නිලධාරියෙකු උත්සාහ කිරීම සම්බන්ධව ද මෙහිදී වැඩි අවධානයක් යොමු වනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් හි සිදුවන මෙම අත්තනෝමතික ක්‍රියාවන් පිළිබඳව අප විසින් මීට පෙරද කිහිපවරක්ම අනාවරණය කළද අයි.සී.සී.යෙන් පැමිණ මෙරට ක්‍රිකට් දූෂණ හොයන තුරු අපේ අයට ඒ පිළිබඳව හොයාගන්නට බැරි විය. පසුගිය සැප්තැම්බර් 23 වැනි දිනද අප පුවත්පතේ ප්‍රධාන සිරස්තලය මගින්ද අනාවරණය කරනු ලැබුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් හි මේ වනවිට පවතින දූෂණ හා ඒ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පැවැත්වීමට නියමිත බවය. සඳහන් කළ ආකාරයටම ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් මේ පිළිබඳව පරීක්ෂණ සිදුකිරීම සඳහා රහස් පොලිසියට භාරදී ඇති අතර, ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පසුගිය 04 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබිණි.

පාලකයිනි, රටක් වශයෙන් ශ්‍රී ලංකාවට අන්තර්ජාතිකව රැකගැනීමට නම්බුවක් ඉතිරිවී ඇත්දැයි දැන්වත් සිතාබලන්නේ නම් මැනවි. තරග පාවාදීම්, ක්‍රිකට් වංචා හා දූෂණවලින් ලෝකයේ ඉදිරියෙන්ම සිටියේ පාකිස්තානුවන්ය. ඔවුන්ගෙන් එම වාර්තාව ඩැහැගැනීමට මෙතෙක් කිසිවෙකුට හැකිවූයේ නැත. එහෙත් දැන් එයට ආසියාවෙන්ම තර්ජනයක් එල්ලවී තිබේ. ඒ ශ්‍රී ලංකාවෙන්ය.
මෙහි අනෙක් බරපතළ තත්ත්වය වන්නේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ ශාඛාවක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට නියමිත වීමය. මෙවැන්නක් සිදුවීමට නියමිත බව අප සඳහන් කළේ මීට වසරකට පමණ පෙරය. දැන් එම සිහිනය ද ඉටුවීමට නියමිතය. දැන් ඉතින් ඉතිරිවී ඇත්තේ අමාරුවෙන් ලබාගත් ටෙස්ට් තත්ත්වයත් අහිමිකර ගැනීම පමණකි.

අකලට ක්‍රිකට් විනාශ කරගත් බොහෝ රටවල් එම තත්ත්වයට පත්වූයේ දේශපාලකයන් ක්‍රිකට්වලට අතපෙවීම නිසාය. වසර ගණනාවක් තිස්සේ මෙරට සිදුවූයේද එයමය. එහි ප්‍රතිඵල දැන් ඇස් පනාපිටම දක්නට ලැබේ. මෙවන් තත්ත්වයක් යටතේ අසීමිත නිදහසක් ලබාදී, අති විශාල මුදලක් ගෙවමින් හතුරුසිංහ වැන්නවුන් මෙරට ප්‍රධාන පුහුණුකරු කර මාස 9ක් ගතවුවද තවමත් හොඳ ප්‍රතිඵල දක්නට නොමැත්තේ එනිසාය. අපට යළිත් ලෝකයේ අංක 01 බවට පත්වීමට සිහිනයක් ඇත්නම්, එයට නිවැරදි දැක්මක් ඇතිකරගත යුතුය. ඒ සඳහා පැලැස්තර විසඳුම්වලින් වැඩක් නැත.

පළමුව කළ යුත්තේ දේශපාලකයන්ට ක්‍රිකට්වලට අතපෙවීමට ඇති අවශ්‍යතාව අහිමි කිරීමය. මෙය ක්‍රිකට්වලට පමණක් නොව සෑම ක්‍රීඩාවකටම පොදු වූවක් විය යුතුය. ක්‍රීඩා සමාජ ඡන්දවලින් නිලවරණ පැවැත්වීමේ ක්‍රමවේදය විධිමත් සහ සාධාරණ කළ යුතුය. කාලයෙන් කාලයට පත්වන නිලධාරී මණ්ඩලවලට සිතු සිතු සේ වෙනස් කළ නොහැකි වන ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් මේ සඳහා ඇති කළ යුතුය. අන්න එදාට යළිත් ක්‍රිකට් ගැන අපට සතුටින් හිතන්නට හැකි වනු ඇත. මහත්වරුනි අප තවම ප්‍රමාද නැති බව ඔබට අවසන් වරටත් මතක් කර සිටින්නෙමු.


සචිත් යාපා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button