විශේෂාංග

ලංකාවේ තේ ඇමරිකාවේ හිට් කරපු අපේ ශෂී

ශෂී චන්ද්‍රන් ජීවත් වෙන්නේ ඇමරිකාවේ. හැබැයි ඇය ශ්‍රී ලාංකීය සම්භවයක් තියෙන 32 හැවිරිදි තරුණියක්. ඇගේ තාත්තා ශ්‍රී ලංකාවේ උපන් පුද්ගලයෙක් වන අතර අම්මා චීන ජාතික කාන්තාවක්. ඔවුන් දෙපල ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පදිංචි වන්නේ 70 දශකයේ අගභාගයේදීයි. ශෂී චන්ද්‍රන් උපත ලබන්නේත් එහිදී වීම විශේෂත්වයක්.

අපේ කතා නායිකාව වන ශෂී තමයි කැලිෆෝනියා ප්‍රාන්තයේ අතිශය ප්‍රසිද්ධියට පත් වුණු ටී ඩ්‍රොප්ස් (Tea drops) ව්‍යාපාරයේ හිමිකාරිනිය. එහෙම වෙන්නේ ඇයගේම ස්ව උත්සාහය නිසා.

තමන්ගේ ජීවිත අත්දැකීම්, උත්සාහය මත ජයග්‍රහණය කරා ගිය සුවිශේෂී කාන්තාවන්ට, ලෝකයේම ප්‍රසිද්ධ “Forbes” සඟරාවේ වෙන් වූ පිටුවද පසුගිය දිනෙක ඇය වෙනුවෙන්ම වෙන් වී තිබුණා.

“මගේ උසස් අධ්‍යාපන කටයුතුවලින් පස්සේ මුලින්ම රැකියාව සඳහා යොමු වුණේ Internet එක හරහා භාණ්ඩ අලෙවි කරන Website එකකට. ඒ Website එක ලෝකය පුරාම ජනප්‍රිය එකක්. ඒ නිසාම අපේ රාජකාරී වැඩ එන්න එන්නම වැඩි වුණා. විවේකයත් අඩු වුණා. ඒ වෙනකොට මගේ අම්මයි තාත්තයි ආර්ථික අපහසුතා රැසක තමයි හිටියේ. රැකියාවේ ආතතිය එක්කම වෙනත් අභියෝග ගැටලු එක්ක ඇමරිකාවේ ජනතාව නිදහසේ තේ කෝප්පයක් බීම අත්‍යවශ්‍ය ජීවන රටාවක් බවට පත්කරගෙන තිබුණා. මමත් ඒ නිසාම කාර්යාලයේ වගේම ගෙදරදීත් නිතරම තේ පානයට පුරුදු වුණා. හැබැයි වෙලාවකට තේ එකක් හදාගන්න එකත් හරි කම්මැලි වැඩක් කියලා මට හිතුණා. ඒ නිසා පහසුවෙන් තේ එකක් හදාගන්න උවමනාව මට තදින් දැනී තිබුණා. ඒකට හොඳම සහ පහසුම විකල්පය තේ බෑග් (Tea bags) කියලා මට හිතුණා.

ඒත් සමහර වෙලාවට අවශ්‍ය ප්‍රමාණවලින් සීනි, තේ කොළ දාලා තේ එකක් හදාගන්න අපිට උවමනා වෙනවා. තේ බෑග් එකට වඩා පහසුව ඒක කරගන්න ක්‍රමයක් තමයි මම සොයා ගත්තේ. ඒ තමයි තේ කැට එහෙමත් නැත්නම් ටී ඩ්‍රොප්ස් (Tea drops).

තේ කැටයක් අතට ගත්තම එක කෙළින්ම කෝප්පයට දාලා උණුවතුර එක්කරලා බීමට ගන්න පුළුවන්. ස්වභාවික තේ කොළ කැටයක් ආකාරයට සම්පීඩනය කිරීමක් තමයි මම සිදුකළේ. ඒ තේ කැටවල අවශ්‍ය ප්‍රමාණවලට සීනි එකතු කරලා තියෙනවා. ඊට අමතරව විවිධ රස වර්ග මුසු කරපු තේ කැටත් මම නිෂ්පාදනය කළා.

මගේ තාත්තා බොහෝ කාලයකට කලින් ශ්‍රී ලංකාවේ තේ ව්‍යාපාරය එක්ක සම්බන්ධ වෙලා සිටීම මට බොහොම රුකුලක් වුණා. අද කැලිෆෝනියා ප්‍රාන්තයේ වගේම අනෙකුත් ප්‍රදේශවලත් බොහෝ ජනප්‍රිය Tea drops ක්ෂණික තේ කැටය මගේ හීනයක් මල්පල දැරීමක්.

ඒ වගේම තමයි ඇමරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමාගේ බිරිඳ වන මිෂෙල් ඔබාමාත් මගේ තේ නිෂ්පාදනය ගැන වර්ණනා කරලා මට ස්තුති කළා.”

මෙන්න මේ විදියට තමයි අපේ ශෂී චන්ද්‍රන් Forbes සඟරාවට ඇයගේ ව්‍යාපාරය ගැන අදහස් පළකරලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button